1150 x 80 px
සොඳුරු මරණය 06 - ජීවිතයට ආදරය කරමුද?

මරණයට ආදරය කරන්නේ කොහොමද ජීවිතයටවත් ආදරය නොකරන කොට? අපි හිතන් ඉන්නේ අපි ජීවත් වෙනවා කියල. ඒත් අපි තාමත් ජීවිතයට ආදරය කර නැහැ විතරක් නෙවෙයි, ජීවිතයට ආදරය කරන්නට දන්නෙත් නැහැ කියලයි මට නම් හිතෙන්නේ.

ජීවිතයට ආදරය කරනවා කියන අදහස පවා බොහෝවිට නුහුරු නුපුරුදු දෙයක් වෙන්න පුළුවන්. අනෙක ජීවිතයට ආදරය කිරීමමත් එකිනෙකාට සාපේක්ෂයි. කොහොම වෙතත් අපි සමාජයක් ලෙසත්, කණ්ඩායමක් ලෙසත්, මානව වර්ගයා ලෙසත් මේ යන ගමනනම් ජීවිතයට ආදරයක් ඇති ගමනක් ලෙස කොහෙත්ම පෙනෙන්නට නැහැ. ඇයි මම එහෙම කියන්නේ? අපිට ඉතාමත් සමීප පුංචි කාරණා කිහිපයක් අරන් බලමුකෝ... අපි සතුටින් සුවෙන් හා සැපෙන් ජීවත්වෙන්න හිතාගෙන හදාගන්න ගෙවල් අපේ සහ ඉපදෙන්න සිටින අපේ දරුවන්ගේ ජීවිත සුව පහසු කරනවාද? අපි පොඩි කාලේ ජීවත්වුණු නැත්නම් අපේ ගම් පළාත්වල අපි දැකපු ගෙවල් සම්බන්ධයෙන් අපිට මෙහෙම ප්‍රශ්න අහන්න අවශ්‍යතාවයක් ඇති වුනේ නැහැ. කලබල වෙන්න එපා, මේක අතීතකාමය එහෙම නෙවෙයි. හැබැයි අපි 'මොඩර්න්' කියල හිතාගෙන සල්ලිත් යහමින් වියදම් කරලා කරගෙන තියෙන නස්පැත්තිය ගැන පොඩ්ඩක් විමසා බැලීම වටිනවා.

ඉස්සර අපේ ගෙවල්වල වහල හෙවිල්ලුවේ ගම ඇතුළෙන්ම, නැතිනම් වටාපිටාවෙන්, එහෙමත් නැතිනම් රට ඇතුලේ අපි දන්නා ප්‍රදේශයකින් සොයාගත් පොල් අතු, ඉලුක්, මාන, පිදුරු වැනි දේවලින්. ඒවායේ කාලය ඉකුත් වෙලා අලුතින් වහල හෙවිල්ලද්දී පරණ දේවල් දිරායන්න කුණු ගොඩට එකතු වුනා. ඒවා පොහොර වුනා. මේ වහලවල් යට ජීවත් වූ කිසිවෙකුට වහල නිසානම් සෞඛය ප්‍රශ්න ඇති වුනේ නැහැ. වහල නිසා ස්වභාවධර්මයට කිසිම හානිකර බලපෑමක් වුනෙත් නැහැ. වහලවලට උළු හෙවිල්ලීමේදීත් ඒ නිසා කිසිවෙකුට හානිදායක බලපෑම් වුනේ නැහැනෙ! උළු මෝල්වලින් පරිසරයට එකතු වූ දුම විතරයි. ඒකෙත් කිසිම රසායනික බැහැර කිරීමක් සිදු වුනේ නැහැ. ඒත් ඊළඟට අපිට ආපු ඇමෙරිකන් ස්ටයිල් ගෙවල් සමග ආ ඇස්බැස්ටෝ ඇබ්බැහිය හොඳටම නැගල ගියා. වෙනකක් තියා හුඟක් උළු මෝල් වහන්න වුනා. අපි හුඟක් දෙනෙක් තවමත් ජීවත් වන්නේ ඇස්බැස්ටෝස් වහලවල් යට. ඒ විතරක් නෙවෙයි වාහනවල බ්‍රේක් පෑඩ්වල ඉඳන් ටොයිලට් ෂීට් දක්වා අපේ නිවෙස් තුල බොහෝ දේ ඇස්බැස්ටෝස් මිශ්‍රයි. මොනවද මේ ඇස්බැස්ටෝස්? ඇස්බැස්ටෝස් කියන්නේ මේ වන විට ලෝකයේ රටවල් පනස් පහක පමණ සම්පූර්ණයෙන් තහනමට ලක්වූ, පො‍ළොවෙන් හාරාගන්නා ඛනිජ විශේෂයක්. අපි මේ පාවිච්චි කරන ඇස්බැස්ටෝස් ෂීට් ඒ ඛනිජ සමග සිමෙන්ති හා තවත් බොහෝ දේවල එකතුවක්. ආසියාතික රටවල තවමත් හිතූ මනාපේ පාවිච්චි වන ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු තහනමට ලක්වූ රටවලනම් ගලවා අයින් කරන්න පවා විශේෂඥ පිහිට ලබා ගන්නවා! මොකද එහෙම නොවුනොත් ඇසට නොපෙනෙන ඉතා කුඩා කෙඳි ශරීරගත් වුවහොත් මාරාන්තික රෝග වැළඳීමට ඉඩ ඇති බව තහවුරුව ඇති නිසා!

ඊළඟට ගෙබිම. ඉස්සර අපිට තිබුනා ගොම සමග අනා ගෑ මැටි පො‍ළොව. මාර කූල්. මැටි කියන්නේ මහ පොළොවමයි. අපේ පොළොව එක්ක තියෙන ගනුදෙනු නැති වුනෙත් නෑ, මැටි පොළොවේ ජීවත්වුන කිසිවෙක් ලිස්සලා වැටිලා ඔළුව පලා ගත්තෙත් නෑ. අනික ගොම කියන්නේ විෂබීජ නාශකයක්! ඒත් මැටි පොළොව සිමෙන්ති පොළොවෙන් නොනැවතී ටයිල් පොළොවක් දක්වා අපි පරිණාමය වෙද්දී මොඩර්න්වීමේ විපාකය අපිට විදින්න සිද්ධ වෙනවා. ඇත්තටම අපේ වගේ රටකට ටයිල් කළ පොළොවක ඇති අවශ්‍යතාවය මොකක්ද? ලෙඩ ගොඩක් විතරයි!
නෑ, මම බිත්ති ගැන විස්තර කරන්න යන්නේ නැහැ. කොහොම වුනත් නිදහසේ සුවෙන් ජීවත් වෙන්න අපි මේ කාලේ හදා ගන්න ගෙවල් බොයිලේරු නැත්නම් පෝරණු වගේ. සිමෙන්ති ගලෙන් බැඳලා ඒ උඩින් නැවත නැවත සිමෙන්ති පිරියම් කරලා, වර්ණවත් කෙමිකල්වලින් පාට කරපු බිත්තිවලින් සම්පූර්ණයෙන් වහගෙන ඇස්බැස්ටෝස් ෂීට් යට, ටයිල් උඩ ජීවත් වීමද එතකොට අපි මේ හොයන සැනසීම?
ඒ මදිවට ඉඳගන්න තියෙන්නේ කෘතීම ලෙදර් සෝෆා සෙට් එකක්. නැත්නම් මොනවා හරි ෆෝම් වර්ගයකින් කොට්ටා දැමූ ලී පුටු. නැත්නම් ලාබෙට ලැබුන නිසා ගත්තු ප්ලාස්ටික් පුටු. ඉතින් බඩේ වාතය පිරෙන එක අහන්නත් දෙයක්ද? (මට මතකයි ඒ කාලේ ඩ්‍රයිවර්ලා කුෂන් එක උඩින් වේවැල්වලින් හදපු ෆ්‍රේම් එකක් තියාගන්නවා. සමහරු උළුහාලුයි සුදුළුණු ලෙලියි දාල මහපු කොට්ටයක් තියාගන්නවා. ඒ බඩ පිපුමෙන් හා වාත ලෙඩවලින් මිදෙන්න.) ඊළඟට නින්ද. අපිට නිදාගන්න තියෙන්නේ සුවපහසුයි කියල ලොකු ගණන් දීල ගත්තු ලේයර්ස් කිහිපයක් සහිත බරපතල මෙට්ටා. ඒවායේ නිදාගෙන පිච්චෙන්නේ නැතිව ඉන්නේ හිතේ හයියට මිසක වෙන කිසිවකට නම් වෙන්න බැහැ. මොකද ඒ මෙට්ටාවල නිදාගන්න බැහැ කිව්වොත් හණමිටිකාරයෙක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් දුක් විඳිමින් ඒකෙම නිදියනවා. පැදුරක් දාගෙන බිම නිදාගන්න හිතුනොත් ඒකට තියෙන්නෙත් අපි නොදන්නා රටක නිපදවූ ප්ලාස්ටික් පැදුරක්!

මේ සියල්ලෙන් අපිට වන හානිය මදිවාට මේවා නිෂ්පාදනයේදීත්, පාවිච්චියෙන් පසු ඉවත දැමීමේදීත් පරිසරයට කෙතරම් හානියක් වෙනවාද කියල අපිට වගේ වගක් නැහැ. සවභාවධර්මය හොඳ තත්ත්වයෙන් තියා ගත්තේ නැත්නම් ඒක කැරකිලා නැවත අපේ ජීවිතවලටම හානි සිදුවන බව හිතන්න අපිට වෙලාවක් ඇත්තෙත් නැහැ. ඉතින් අපි ඔහේ දුවනවා. මෙන්න මේකට තමයි අපි කියන්නේ ජීවත්වීම කියලා.

කොච්චර සාකච්ඡා ඇති වුනත් අපි හුඟක් දෙනෙක් තවමත් කෑම ඔතන්නේ උණු උණුවෙන්ම පොලිතීන් බත් කොලේක. අපි හැමෝම මේ වනවිට දන්නවා මේක නරක දෙයක් බව. ඒත් අපි අපේ ලේසිය, පහසුව, ස්ටයිල් එක අත්හරින්න සූදානම් නැහැ. ඒ මදිවාට විශේෂත්වයකට කන්න හිතන්නේමත්, දරුවන්ට දෙන්න හිතන්නේමත් ඩයි වර්ග දැමූ, නොයෙක් ලෙස වස විස බවට පත්වූ කෑම වර්ග. යාන්තමට හෝ අපි මේවායේ ආදීනව අසා නැතිවෙන්න විදිහක් නැහැ. ඒත් කරන්න දෙයක් නැහැ. මොකද හැමෝම කරන දේ නොකළොත් අපි ඒ ගොඩේ නොවන්න ඉඩ ඇති නිසා! අපි එදිනෙදා කන ආහාරයේ ඇති වසවිස පිළිබඳ ප්‍රශ්නය මම හිතන්නේ නැවතත් අපි සියලු දෙනා දන්නා දෙයක්. ඒ ගැන අපි වෙනම කතා කරමු.

අඩුම වශයෙන් අපේ ගෙවල් නිමවූ ද්‍රව්‍ය හා ඇතුලේ ඇති භාණ්ඩ එකින් එක අරගෙන ඒවා අපිටත් පරිසරයටත් ඇති කරන පහසුව හා හානිය සොයා කිරා මැන බලන්න ඉවසීමක් හොයාගන්න, හිත හදාගන්න හැකි වුනොත්නම් ජීවිතයට ආදරය කරන්න අවශ්‍ය බව තේරුම් ගත් අය බවටවත් පත් වෙන්න හැකි වේවි!

සොඳුරු මරණය පෙර ලිපි:

සොඳුරු මරණය 01 - ජීවිතය සහ මරණය

සොඳුරු මරණය 02 - නොවිඳ විඳවීම

සොඳුරු මරණය 03 - අලුත් මොහොතක් සෙවීමේදී මෙතැන මිස් වීම!

සොඳුරු මරණය 04 - කටු පඳුරට ආදරය කිරීම

සොඳුරු මරණය 05 - දෙකින් එකක් වෙයි...

 

 

Top