1150 x 80 px
ට්‍රම්ප් ධවල මන්දිරයට ආ හැටි -  4 කොටස | ලොව ජනප්‍රියම චාටු බස් දොඩන්නා

බිලී බුෂ් සමග ට්‍රම්ප් එන්බීසී රූපවාහිනිය වෙනුවෙන් කළ වැඩසටහනේ වීඩියෝවත් සමග මෙලනියා ට්‍රම්ප්ගේ උත්කර්ෂවත් භාවය වියැකී යමින් තිබුණා.

එක දෙයක් පැහැදිලියි. ඇගේ ස්වාමිපුරුෂයාට ජනාධිපති වෙන්නට මගක් දැන් නැහැ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ විවාහය ඔහු වටා සිටි හැම කෙනෙකුම පාහේ වික්ෂිප්ත භාවයට පත් කර තිබුණා. වෙනත් විදිහකට කියනවා නම් පුද්ගලික ජෙට් යානා සහ මන්දිර ගණනාවට අමතරව ඔහුගේ විවාහය නිසාත් ඔහු වටා සිටි අය වික්ෂිප්ත භාවයට පත් ව සිටියා. ඔහු සහ මෙලනියා එක්ව ගත කළේ සාපේක්ෂව අඩු කාලයක්. ඔවුන් දෙදෙනාම ජීවත් වුණේ ට්‍රම්ප් ටවර් එකේ වුණත්, එකිනෙකා සමග කිසිදු සම්බන්ධතාවක් පවත්වන්නේ නැතිව ඔවුන් දින ගණන් ගත කළා. බොහෝ විට, ඔහු සිටින්නේ කොහේද කියා ඇය දැන සිටියේ නැහැ. එහෙමත් නැතිනම් ඒ ගැන ඇය තදින් සොයා බැලුවේත් නැහැ. ඇගේ සැමියා නිවාස මාරු කළා. කාමර මාරු කළා. ඔහුගේ ආගිය තොරතුරු ගැන ඇය දැන සිටියේ ඉතාම අඩුවෙන් වගේම, ඔහු කරන කියන දේවල් ගැනත් ඇය දැන සිටියේ ඉතාම අඩුවෙන්. ඒ වගේම ඇය ඒ දේවල් සම්බන්ධයෙන් පළ කළේත් ඉතාම මැදිහත්, අවම උනන්දුවක්. සිය පළමු දරුවන් සිව් දෙනාට ‘ඇබ්සන්ටී ෆාදර්‘ කෙනෙක්, එහෙමත් නැතිනම් ‘දුරස් තාත්තා කෙනෙක්‘ වුණු ට්‍රම්ප් තමන්ගෙ පස්වැනි දරුවාට, ඒ කියන්නේ මෙලනියාගෙන් උපන් පුතාට අතිශයින්ම දුරස් තාත්තා කෙනෙක් ව සිටියා. තෙවන විවාහයේ සිටි ට්‍රම්ප් ඒ ගැන මිතුරන්ට කිව්වෙ, තමන් නිවැරදි කලාව අල්ලා ගත්තා කියලයි. “කවුරු මොනව හිතුවත් මම කරන්නෙ මට උවමනා දේ”.

ඔහු අපකීර්තිමත් ගෑණු සොඬෙක් වුණා. ඒ වගේම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය පැවති සමයේ ඔහු ලෝකයේ ප්‍රසිද්ධම ජේත්තුකාරයා බවටත් පත්වුණා. ට්‍රම්ප් ගැහැනුන් සම්බන්ධයෙන් සංවේදී කෙනෙක් කියල කිසිම කෙනෙක් කියන එකක් නෑ. ඒ අතරෙම ඔහු ගැන දන්නා අය කියාවි, ගැහැනුන් සම්බන්ධයෙන් ඔහු මතිමතාන්තර රාශියක් දරන අයෙක් බව. මිතුරන් සමග ඔහු සාකච්ඡා කරන එක ‘තියරියක්‘ වුණේ, මහලු මිනිසෙක් සහ ළාබාල ගැහැණියක් අතර වයස් පරතරය වැඩිවන විට ළාබාල ගැහැණුන් මහලු මිනිසාගෙ චාටුකාර, වංචනික පෞරුෂයට කැමැත්තෙන්ම අවනත වන බව. එය ඔහුම සොයාගත් සිද්ධාන්තයක්.

ඒ වගේම මෙය නමට පමණක් පැවති විවාහයක් බවට තිබුණු මතයත් සත්‍යයෙන් බොහෝ දුර එකක්. මෙලනියා ළඟ පාත නැති විට ඔහු ඇය ගැන නිතර නිතර කතා කළා. ඔහු ඇගේ පෙනුම රස වින්දා. නිතරම ඔහු එය කළේ ඇයව අපහසුතාවයට පත් කරමින් පිටස්තරයන් ඉදිරියේදියි. සාඩම්බරයෙන් සහ උත්ප්‍රාසයෙන් තොරව ට්‍රම්ප් සෙසු අය සමග කී අන්දමට ඇය “ට්‍රෝපි වයිෆ්“ කෙනෙක්. ඒ කියන්නේ ‘කුසලානයක් බඳු බිරිඳක්“. අමුත්තන් සමග බෙදා හදා ගන්නට ඔහුට ඇය සමග ජීවිතයේ රසමුසු තැන් තිබුණේ අඩුවෙන්. ඒ වෙනුවට ඈ සමග ජීවිතයේ තිබූ අවුල් ජංජාල අමුත්තන් සමග රස කරමින් කියන්නට ට්‍රම්ප් ප්‍රිය කළා. ඒ අතරම, “A happy wife is a happy life, හැම කෙනෙක්ම දන්නා ධනවතුන්ගේ ජනප්‍රිය පාඨය ඔහු උජාරුවෙන් කිව්වා.

ඒ වගේම ට්‍රම්ප් විවිධ දේ සඳහා මෙලනියාගේ අනුමැතිය සෙව්වා. (ඔහු තමන් වටා සිටි, අනුමැතිය ලබාදීමට තරම් ඥාණයක් තිබූ සියලුම ගැහැනුන්ගෙන් අනුමැතිය සෙව්වා) 2014 වර්ෂයේදි, ඒ කියන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන ඔහු බරපතළ ලෙස සලකා බලමින් සිටි සමයේදී ඔහුට ජයග්‍රහණය කරන්නට පුළුවන් බව සිතූ අල්පයක් දෙනාගෙන් මෙලනියා එක් අයෙක්. මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයෙන් ප්‍රවේශමෙන් යුතුව ඉවත් වී සිටි දියණිය ඉවන්කාට එය අස්වැසිල්ලක් වුණා. සිය කුඩම්මාට අවශ්‍ය ප්‍රමාණයට පමණක් අප්‍රසාදය පළ කරමින් සිටි ඉවන්කා තමන්ගෙ මිතුරු මිතුරියන්ට මෙහෙම කිව්වා. “මෙලනියා ගැන ඔබ දැනගන්න අවශ්‍ය මෙච්චරයි. ඔහු මැතිවරණයට ඉදිරිපත් වුණොත් ඒකාන්තයෙන්ම ජයගනීවි කියා ඇය හිතනවා.”

නමුත් තමන්ගේ සැමියා සත්‍ය වශයෙන්ම ජනාධිපති බවට පත්වීමට තිබූ ඉඩකඩ, භයානක ලෙස අඩු බව මෙලනියා දැන සිටියා. තමන් පරිස්සමෙන් රක්ෂා කරගත් ජීවිතය, ට්‍රම්ප්ගේ දුරස්ථ පවුලෙන් සැලකිය යුතු පරිදි ආරක්ෂා කරගත් යුග දිවිය, ඇගේ පොඩි පුතා වෙත එකහෙළාම පාහේ යොමු වී තිබූ ඇගේ ජීවිතය මේ නිසා විනාශ වේවි කියා ඇය විශ්වාස කළා.

“අශ්වයට කලින් කරත්තය බඳින්න එපා..” ප්‍රවෘත්තිවල ශීර්ෂ පාඨ මවමින් සහ සෑම දිනයක්ම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් වැය කරමින් සිටියදී පවා ඇගේ විනෝදමත් සැමියා පිළිතුරු දුන්නා. නමුත් ඇගේ භීතිය සහ චිත්ත පීඩාව දිනෙන් දින වැඩි වුණා.

ඇය කේන්ද්‍රකරගෙන කෲර සහ හාස්‍යය මුසු වූ කසුකුසු සහිත ඉංගිතවලින්, එහෙමත් නැතිනම් වක්‍රොක්තින්ගෙන් සමන්විත මැතිවරණ ව්‍යාපාරයක් මැන්හැටන්වල ක්‍රියාත්මක වන බව ඇගේ මිතුරියන් කිව්වා. මෙලනියාගේ මෝස්තර නිරූපණ වෘත්තිය දැඩි සේ සුපරික්ෂාවට හසු වී තිබුණා. ඇය හැදී වැඩුණු ස්ලෝවේනියාවේ ‘සෙලිබ්‍රිටි‘ සඟරාවක් වූ ‘සුසී’, ට්‍රම්ප්ට ජනාධිපතිවරණ නාමයෝජනා ලැබීමත් සමග ඇය ගැන විවිධ ඕපාදූප පළ කරන්නට වුණා. අනතුරුව, සිදුවිය හැකි දේවල් ගැන අප්‍රසන්නම තත්වයක් ඇතිකරමින් ඩේලි මේල් පුවත්පත එම කථාන්දරයට තටු දුන්නා.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත ද ඒ පුවත ලැබුණා. එය නිරූපණ ශිල්පයේ මුල් අවධියේ මෙලනියා විසින් කළ නග්න ඡායාරූප සහිත ෆොටෝෂූට් එකක්. මෙලනියා හැර හැම කෙනෙක්ම සිතුවේ එයින් ට්‍රම්ප් දුර්මුඛ වේවි කියලයි.

ඇයව සනසන්නට අසීරු වුණා. ඇය ට්‍රම්ප් සමග දබර කළා. තමන්ට මෙය දරාගන්නට නොහැකි බව ඇය ඔහුට පැවසුවා.

ට්‍රම්ප් ඔහුටම ආවේණික තාලයට එයට ප්‍රතිචාර දැක්වුවා. “අපි නඩු දාමු!” ඉන්පසු මෙලනියාට නීතීඥ කණ්ඩායමක් ලබාදුන්නා. ඔවුන් සාර්ථක වුණා. ඒ වගේම, තමන් කළ වරදක් ගැන පසුතැවෙන්නේ නැති කෙනෙක් බවත් ඔහු ඇයට වැඩි කල් නොයවා කිව්වා. ඔහු සිය භාර්යාවට ගාම්භීර සහතිකයක් දුන්නේ තමන් මේ සටනින් දිනන බවටයි. ඒ වගේම කල්ගත වන විට ඔහු කියාවි, ද්‍රෝහී සැමියෙක් සිය බිරිඳට දුන් පොරොන්දුවක් රකීවි යැයි ඇය බලාපොරොත්තු වූ බව!!

දිනන ජනාධිපති අපේක්ෂකයන් මවාගත් තේජසක්, ආත්ම රාගයක් හෝ දෛවය පිළිබඳ සොබාදහම ඉක්මවන හැඟීමකින් කුළුගැන්වෙනවා. ඔවුන් යොවුන් වියේ පටන් නොවේ නම් සිය වෘත්තීය ජීවිතයේදී මේ භූමිකාව සඳහා පුහුණු වෙනවා. ඔවුන් මහජන ඡන්දයෙන් තේරී පත්වූ නිලධාරීන් මතින් ඉණිමග නගිනවා. ඔවුන් ප්‍රතිරූපය පරිසමාප්ත කරනවා. දේශපාලනයේ සාර්ථකත්වයට වැඩි වශයෙන් වගකියන්නේ මිතුරන් කවුදැයි දැන සිටීම නිසා ඔවුන් උන්මාදනීය ලෙස සබඳතා ජාල නිර්මාණය කර ගන්නවා. ඔවුන් කටපාඩම් කරනවා. (ජෝර්ජ් ඩබ්. බුෂ් පවා සිය පියාගේ මිතුරන් තමන් වෙනුවෙන් කට පාඩම් කරන බව විශ්වාස කළා.) ඒ වගේම ඔවුන් තමන්ව ශුද්ධ කර ගන්නවා. එහෙමත් නැතිනම් අවම වශයෙන් වසං වී සිටින්නට විශාල වශයෙන් ප්‍රවේශම් වෙනවා. ජයග්‍රහණය ලබන්නටත් පාලනය කරන්නටත් ඔවුන් තමන්වම සූදානම් කර ගන්නවා.

ජයග්‍රහණයේ සන්ධ්‍යාව

මුළුමනින්ම සචේතනික වූ ට්‍රම්ප්ගේ ගණන් බැලීම ඊට වඩා වෙනස් එකක් වුණා. අපේක්ෂකයා සහ ඔහුගේ ප්‍රධාන පෙළේ සොල්දාදුවන් විශ්වාස කළේ තමන්ගේ මූලික දැක්ම හෝ හැසිරීම් වෙනස් කර නොගෙන ජනාධිපති බවට පත්වීමේ සියලු ප්‍රතිලාභ භුක්ති විඳිය හැකි බවයි. ඔවුන් මෙසේ සිතුවා. “අපි කිසිවක් කළ යුතු නැහැ. අපි මේ විදිහටම සිටිමු. මන්ද යත්, සත්‍ය වශයෙන්ම අපි දිනන්නේ නැහැ”

බොහෝ ජනාධිපති අපේක්ෂකයන් වොෂින්ටනයෙන් පිටස්තරයන් වීමේ පිළිවෙත ආරක්ෂා කළ අය. භාවිතයේදී මේ ක්‍රමෝපාය විසින් සෙනෙට් සභිකයන් පරදවා ආණ්ඩුකාරවරුන්ට වැඩි වාසියක් ලබාදෙනවා. කොතරම් වොෂින්ටනයෙන් ඈත් වී සිටියත් සෑම බරපතළ අපේක්ෂකයෙකුම උපදේශනය හා සහයෝගය පතා, ‘බෙල්ට්වේ‘, එහෙමත් නැතිනම් වොෂින්ටනයේ වටරවුම් පාරෙන් ලැබෙන ආරංචි ගැන විශ්වාසය තබනවා. නමුත් ජාතික මට්ටමෙන් දේශපාලනයේ කිසිදාක නිරත වී නැති තරම් වූ ට්‍රම්ප්ගේ අත්‍යන්ත ඇතුළු කවය, ඔහුගේ සමීපතම උපදේශකයන් දේශපාලනයේ නිරත වී සිටියේ නැහැ. ජීවිත කාලය පුරාම ට්‍රම්ප් ට සමීප මිතුරන් සිටියා නම් සිටියේ ඉතාම අල්පයයි. නමුත් ජනාධිපති බවට පත්වන්නට ප්‍රචාරණ ව්‍යාපාරය පටන් ගත් පසු ඔහුට සමීප මිතුරන් සිටියේම නැහැ. ට්‍රම්ප්ට සමීපව සිටියේ සැබෑ දේශපාලනඥයන් දෙදෙනෙක් පමණයි. ඒ රූඩි ගියුලියානි සහ ක්‍රිස් ක්‍රිස්ටී. ඒ වගේම මේ දෙදෙනාම හුදෙකලා වූ අසාමාන්‍ය චරිත. ජනාධිපති රැකියාවේ මූලික බුද්ධිමය පදනම පිළිබඳ කිසිවක්-කිසිවක්ම ට්‍රම්ප් නොදැන සිටීම හාස්‍යරූපී ඌන ප්‍රකාශයක් වුණා. ප්‍රචාරණ ව්‍යාපාරයේ මුල් අවධියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ට්‍රම්ප්ට තේරුම් කර දීම පිණිස සෑම් නන්බර්ග් ව යැවුණා. සෑම් නන්බර්ග් ඇමරිකාවේ මහජන ගැටළු පිළිබඳ උපදේශකවරයෙක්. “ඔහුගෙ ඇඟිල්ල තොල් දිගේ පහළට ඇදී යන්නට පෙර, ඔහුගෙ ඇස් දෙක රවුම් කරන්නට පෙර මම යන්තම් කියවා දෙන්නට සමත් වුණේ හතරවැනි සංශෝධනය දක්වා පමණයි..” සෑම් නන්බර්ග් පසුව කිව්වා.

ට්‍රම්ප්ගේ කණ්ඩායමේ සෑම කෙනෙක්ම පාහේ ට්‍රම්ප් හෝ ඔහුගේ කාර්ය මණ්ඩලය සමග අවුල් සහගත ආරාවුල්වල පැටලී සිටියා. ට්‍රම්ප්ගේ අනාගත ආරක්ෂක උපදේශකවරයා සහ ට්‍රම්ප් රැළිවලදී ආරම්භක රංගනය සිදුකරන මයික් ෆ්ලින්, ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය සහ ඇමරිකානු ඔත්තුකරුවන්ගේ අසරණ කම පිළිබඳ කරන විවේචන අසා සිටින්නට ට්‍රම්ප් ප්‍රිය කළා. එක කථාවක් සඳහා රුසියානුවන්ගෙන් ඇමරිකානු ඩොලර් 45,000 බැගින් අය කිරීම හොඳ දෙයක් නොවන බව මයික් ෆ්ලින් හට ඔහුගේ මිතුරන් පැවසුවා. “හොඳයි, ඒක ප්‍රශ්නයක් වෙන්නෙ අපි දිනුවොත් විතරයිනෙ” එවිට ට්‍රම්ප් ඔහුට සහතික වුණේ ඒ අනුව එය ප්‍රශ්නයක් නොවන බව දැන සිටි නිසයි.

ලෙවන්දොව්ස්කි ව සේවයෙන් පහ කිරීමෙන් අනතුරුව ට්‍රම්ප් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට භාර කළේ අන්තර්ජාතික සිවිල් බලයක් තිබූ අයෙක් සහ දේශපාලනික ක්‍රියාධරයෙක් වූ පෝල් මැනෆෝට් වෙතයි. ගාස්තුවක් වෙනුවට වෙනත් දෙයක් ලබාගන්නට එකඟ වී සිටි පෝල් මැනෆෝට් ආඥාදායකයන් හා සාහසිකයන් නියෝජනය කරමින් තිස් අවුරුද්දක් කල් ගත කර තිබුණේ, ඇමරිකානු විමර්ශකයන්ගේ ඇසටද හසුවෙමින් ඩොලර් මිලියන ගණනක් ගොඩගසා ගනිමින්. එපමණක් නොවෙයි. ප්‍රචාරණ ව්‍යාපාරයට සම්බන්ධ වූ පසුවත් ඔහු එය නොනැවතී සිදුකළා. ඔහුගේ සෑම මූල්‍යමය පියවරක්ම විමසුම් සහගතව සටහන් කරගනිමින් සිටි රුසියානු බල කුවේර ඔලෙග් දෙරිපාස්කා, දේපළ වෙළඳාම් වංචාවකින් පෝල් මැනෆෝට් ඇමරිකානු ඩොලර් මිලියන 17 ක් සොරා කෑ බව පැවසුවා.

අතිශයින්ම ප්‍රත්‍යක්ෂ හේතු ගණනාවක් නිසා ට්‍රම්ප්ට පෙර කිසිදු ජනාධිපතිවරයෙක් හෝ අතළොස්සක් හැරුණු විට කිසිදු දේශපාලනඥයෙක් දේපළ වෙළඳාමෙන් දේශපාලනයට පිවිසුණේ නැහැ. දේපළ වෙළඳාම, නිරන්තර වෙළඳපොළ උච්චාවචනයන්ට ලක්වන, සැලකිය යුතු ණය බරක් මත පදනම් වන නිසාම ලිහිල් ලෙස නියාමනය වන ව්‍යාපාරයක්. එය හැමවිටම රඳා පවතින්නේ ආණ්ඩුවෙන් වැඩි වාසි සැලසීම මතයි. එය තමයි මුදල් විශුද්ධිකරණයේ එනම් කළු සල්ලිවල ප්‍රමුඛතම හුවමාරු විනිමය. ට්‍රම්ප්ගේ බෑණා වන ජරෙඩ් කුෂ්නර්, ජරෙඩ්ගේ පියා චාලි, ට්‍රම්ප්ගේ පුතුන් වන කණිෂ්ට ඩොනල්ඩ් ජේ.(ඩොනල්ඩ් ජූනියර්) සහ එරික්, ඔහුගේ දියණිය ඉවන්කා මෙන්ම ට්‍රම්ප් යන මේ හැම දෙනෙක්ම මේ සැකසහිත ‘අළු‘ සල්ලිවලින් සහ නිදහස් අන්තර්ජාතික මුදල් ගලනයෙන් අඩු වැඩි වශයෙන් වාසි ලබාගත් අය. මේ අතරින් චාලි කුෂ්නර් ඒ වන විටත් බදු පැහැරහැරීම, සාක්ෂිකරුවන්ට හිරිහැර කිරීම සහ නීතිවිරෝධී අරමුදල් රැස්කිරීම සඳහා ෆෙඩරල් බන්ධනාගාරයේ සිර දඬුවම් විඳ සිටියා.

නූතන දේශපාලනඥයන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල, අනිටු විපාක සහිත සතුරුකාරී පර්යේෂණවලට තමන්වම ලක් කර ගන්නවා. ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩලයත් මෙසේ කළා නම් මේ උවදුරු සහගත බරපතළ සාරධර්ම උල්ලංඝනය ගැන ඔවුන්ටම නිගමනය කරගන්නට හැකියාව ලැබේවි. නමුත් එවැනි වෑයමකට ඉඩක් තිබුණේ නැහැ. ට්‍රම්ප්ගේ ‘මානසික මේකප් එක’ සමීප සහ ස්වයං මානසික පරීක්ෂාවකට ලක් කිරීමෙන් ට්‍රම්ප් ව වළක්වන බව දීර්ඝකාලීන දේශපාලන උපදේශකයා වූ රොජර් ස්ටෝන්, ස්ටීව් බැනන් සමග පැවසුවා. ඒ වගේම කිසියම් කෙනෙක් තමන් ගැන බොහෝ දේවල් දැනගැනීම ට්‍රම්ප්ට දරාගත හැකි දෙයක් නෙවෙයි. කොහොම වුණත් එබඳු සමීප සහ තර්ජනාත්මක විමසීමක් කිරීමට තරම් ජයග්‍රහණයට ඉඩකඩක් තිබෙනවාද යන්නත් ප්‍රශ්නයක්.

ට්‍රම්ප් සිය ව්‍යාපාරික ගනුදෙනු සහ දේපළ වෙළඳාම් සමාගම් නිසා උද්ගත විය හැකි ගැටුම් නොසලකා හැරියා පමණක් නොවෙයි. ඔහු සාහසික සහ ගරු සරු නැති විදිහට තමන්ගේ බදු වාර්තා හෙළි කිරීමත් ප්‍රතික්ෂේප කළා. ජයග්‍රහණය නොකරන කෙනෙක් බදු වාර්තා හෙළිදරව් කළ යුතුද?

එපමණක් නොවෙයි, ඇතැම් වැදගත් ගැටළු සඳහා සැලකිය යුතු වේලාවක් වැය කිරීම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළා. ඔහු පැවසුවේ “ඒක නරක වෙලාව“ කියා වුණත් සැබවින්ම ඔහු එයින් අදහස් කළේ එය කාලය නාස්ති කිරීමක් වන බවයි. ඒ හැර ඔහු තමන්ගේ සමාගම් හා ව්‍යාපාර නිසා උද්ගත විය හැකි ගැටළු ගැන දුරස්ථ ලෙස සිතා බැලීමට පවා පෙළඹුණේ නැහැ.

ඔහු සිටියේ ජයගන්නට නොවෙයි! එහෙමත් නැතිනම් පරාජය වීමම ඔහුගේ ජයග්‍රහණය වුණා.

ට්‍රම්ප් ලෝකයේ ජනප්‍රියම පුද්ගලයා බවට පත් වේවි. සටකපට හිලරි ක්ලින්ටන් හට ප්‍රාණත්‍යාගියෙක් වේවි.

ඔහුගේ දියණිය ඉවන්කා සහ බෑණා ජරෙඩ්, රහසිගත ඉසුරුමත් දරුවන්ගේ පටන් අන්තර්ජාතික කීර්තියක් උසුළන්නන් සහ සන්නාම තානාපතීන් බවට පත්වේවි.

ස්ටීව් බැනන්, ටී පාටි ආණ්ඩුවේ නිල නොලත් ප්‍රධානියා බවට පත් වේවි.

කෙලියෑන් කොන්වේ කේබල් චැනලයක රූපවාහිනී තරුවක් බවට පත් වේවි.

රෙයින්ස් ප්‍රීස්බස් සහ කේටි වොල්ෂ් හට නැවත සිය රිපබ්ලිකන් පක්ෂය හිමි වේවි.

එය තමයි, 2016 නොවැම්බර් 8 වැනිදා ඔවුන් පුල පුලා බලා සිටි, කරදර රහිත ප්‍රතිඵලය.

පරාජය, ට්‍රම්ප්ගේ කණ්ඩායමේ හැම කෙනෙකුටම වාසිදායක වේවි.

එදින රාත්‍රී අටෙන් පසුව, එනම් ට්‍රම්ප් සැබෑ වශයෙන්ම ජයගන්නා බවට රැල්ල නැගීමට පෙර කණිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප් (ඩොනල්ඩ් ජූනියර්) සිය මිතුරෙක් සමග කියා සිටියේ තමන්ගේ පියා, එහෙමත් නැතිනම් ඔහු විසින් ට්‍රම්ප්ව අමතන ආකාරයට ‘DJT’, ජයග්‍රහණය ගැන දැනගත් මොහොතේ පසුවී තිබෙන්නේ අවතාරයක් දුටුවා වාගෙයි. ට්‍රම්ප්ගෙන් ජයග්‍රහණයේ සහතිකය කලින්ම ලබා සිටි මෙලනියා පවා සිටියේ සතුටින් නොවෙයි, ඇඬු කඳුළින්.

එතැන් පටන් පැයක පමණ කාලයක් ඇතුළත ස්ටීව් බැනන්ගේ නිරීක්ෂණය වුණේ සිහි විකල් වූ ට්‍රම්ප්, කිසිවක් විශ්වාස කරගත නොහැකි ට්‍රම්ප් කෙනෙක් බවට සහ, එතැනින් අතිශයින්ම භ්‍රාන්ත වූ ට්‍රම්ප් කෙනෙකු බවට පත්වන අන්දමයි. නමුත් අවසන් විපරිතය තවමත් සිදුවී තිබුණේ නැහැ. හදිසියේම, එකවරම එතැන සිටියේ තමන් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වීමට හැම අතින්ම සුදුසුයි සහ එය තමන්ට ලැබිය යුතුම පදවියක් බව විශ්වාස කරමින් සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් කෙනෙක්!!

- රදිකා ගුණරත්න

මීළඟට - ‘කළ යුතු දේ නොදත් මිනිසා‘

පෙර ලිපිය - 3 වැනි කොටස - මට මේ ලෝකයේ ජනප්‍රියම මිනිසා වෙන්න පුළුවන්!.

 

Top