1150 x 80 px
දීප්තිගේ කිවිදා කොලම 06 - ඇගේ ඇස අග (දෙවන කොටස)

නිකලෝ මකියාවෙල්ලි යනු නූතන දේශපාලන විද්‍යාවේ ගුප්ත පීතෘ රූපකයයි.

ඔහු දේශපාලනය විද්‍යාවක් බවට පරිවර්තනය කරන විට යෝජනා කරන ලද්දේ දේශපාලනය යන විෂය ක්ෂේත්‍රය සදාචාරයෙන් (Morality) වෙන් කොට ගත යුතු බවය. අප ලෝකය සමග ගැටීමේදී විනිශ්චයන් වර්ග 3ක් හමුවෙයි. පළමුවැන්න හේතු-ඵල සම්බන්ධයයි. ඊට අනුව අප හරි-වැරැද්ද තීරණය කරනු ලැබේ. දෙවැන්න වන්නේ හොඳ-නරකයි. තුන්වැන්න වන්නේ සතුට සහ වේදනාවයි. අපගේ නියම ජීවිතය තුළ දී මෙම විනිශ්චයන් තුන එකිනෙකට මිශ්‍ර වී ඇති නිසා ඒවා වෙන්කොට ගත නොහැක. විද්‍යාඥයා තම නිරීක්ෂණවලදී සෞන්දර්ය සහ සදාචාරය අත්හිටුවයි. විචාරකයා තම විචාරයේදී හරි-වැරැද්ද සහ හොඳ-නරක අත්හිටුවයි.

ශ්‍රී ලංකාවේදී පොදු-යහපත වෙනුවෙන් පෙනී සිටින බහුතරයක් දෙනා අවසානයේදී නපුරට පෙළඹෙයි. ජෝසෆ් ස්ටාලීන් නම් මාක්ස්වාදියා පොදු යහපත වෙනුවෙන් පක්ෂයත් තම දේශයත් විනාශ කළේය. මේ අර්ථයෙන් ගත් කල සදාචාරය යන අදහස අවසන් වන්නේ ‘නිදහස’ (Freedom) හා සම්බන්ධ දෙයකි. අනුභූතික සහ බුද්ධිමය තලයකදී අපට සදාචාරය පෙනෙන්නේ පොදු යහපත ලෙසය. පවුල, ප්‍රජාව, ජාතික රාජ්‍යයේ (තවත් අතකට පක්ෂයේ නාමයෙන්) නාමයෙන් කරන යහපත් ක්‍රියාවක් යටින් මතුවන්නේ රෝග ලක්ෂණාත්මක පුද්ගලවාදයන්ය. මේ තත්ත්වය හේගල් නම් දාර්ශනිකයා මනාව සංශ්ලේෂණය කොට ඇත. උදාහරණයක් ලෙස නියට්ෂේ නම් දාර් ශනිකයාගේ ‘බලය වෙතට වූ කැමැත්ත’ අර්ථකථනයක් ලෙස විමුක්තිය හා බැඳී ඇත. එය පුද්ගල නිදහසේ නිෂ්ටාවයි. නමුත් ඔහු අමතක කරන්නේ පුද්ගලයා යනු සමාජීය නිෂ්පාදනයක් යන අදහසයි.

ධනේශ්වර සමාජ සබඳතා (අප ජීවත් වන යුගය වන විට) පරමාදර්ශ (Ideals) සහ පුරුෂාර්ථ දිය වන මට්ටමට සංවර්ධනය වී ඇත. මේ අදහස අප නිවැරැදිව කලාත්මක නිෂ්පාදන අර්ථකථනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ කර ගන්නේ නම් සූත්‍රය මෙසේය. තවදුරටත් කලා කෘති යනු ලාංකේය සංස්කෘතිය ඇතුලත පරමාදර්ශ නොවේ. එබැවින් ඒවා A ලෙස හෝ B ලෙස අර්ථකථනය කිරීමෙන් ඵලක් නොමැත. එවැනි තත්ත්වයක් තුළ අලුතින් පුරුෂාර්ථ බිහි කරනවා මිස මිස අන් යමක් සිදු වන්නේ නැත. එම තත්ත්වයන් නව-පුරුෂාර්ථ පමණක් බිහි කරයි.

අනාගත කලා කෘති පිළිබඳව විචාරය කිරීමේදී අපට එළැඹිය හැකි න්‍යායික ස්ථාවර දෙකක් පහත යෝජනා කරමි.

(1) විශේෂයෙන් චිත්‍රපට ගැන සලකා බැලීමේදී එමගින් අප අවධාරණය කළ යුත්තේ පාර්ශ්වීය වස්තු හඹා යාම් ගැන මිස මනස හෝ විඥානයේ සාරයන් ගැන නොවේ. සරලව කිවහොත් චිත්‍රපටවලින් අප විනෝද වන ආකෘතීන් ගැන මිස ඒවායේ අර්ථයන් හෝ යථාර්ථය ගැන කතා කිරීම ධනවාදය තුළ නිෂ්ඵලය. මේ අර්ථයෙන් ගත් විට චිත්‍රපට තවදුරටත් පුරුෂාර්ථ නිපදවන්නේ නැත. ඒ වෙනුවට ඒවා අතිරික්ත-විනෝදයන් නිපදවයි.

(2) කලා කෘතියක නූතන ස්වරූපය වන්නේ යුද්ධයක දී ඉදිරියට යන්නාක් මෙන් ආනන්දයෙන් පටන් ගෙන ප්‍රඥාවෙන් කෙළවර කිරීම නොවේ. අප යෝජනා කරන අලුත් ව්‍යාපෘතිය මෙසේය. ප්‍රේමයේදී මෙන් අප ද කලා කෘති ආස්වාදනය හරහා (2 සිට 1) පසුබැසීම යෝජනා කළ යුතුය. කලා කෘති රසවින්දනය හරහා අපට යමක් එකතු වෙනවා වෙනුවට අප තුළ ඇති දෙයක් අහිමි වෙයි.

අශෝක හඳගම විසින් නිර්මාණය කළ ‘ඇගේ ඇස අග’ යන නිර්මාණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විචාරක සංස්කෘතිය මතු කරන ලද්දේ රසවින්දනය පිළිබඳ ගැටලු නොව සදාචාරය පිළිබඳ ගැටලුය. දයලෙක්තික ක්‍රමවේදයක් හරහා ‘ඇගේ ඇස’ කියවන විට බුර්ෂුවා චින්තනයේ සහ එහි සදාචාරයේ අසංගතභාවය මැනවින් විද්‍යමාන වෙයි. ස්ත්‍රිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තවමත් තහවුරුව පවතින්නේ ගතානුගතික අදහස්ය. එබැවින් ස්ත්‍රිය නම් ප්‍රපංචය ගැන මතු වන සංවාදවල අවිඥානක විශ්වාසය වන්නේ ‘ඇය’ අර්ථයෙන් සහ ධර්මයෙන් පුරුෂාර්ථ පෝෂණය කළ යුතු බවය. නමුත් පුරුෂාර්ථවල ඇති උභයාවේගයන් සහ සහජීවනයන් විනාශ කරන මනමේ, සිංහබාහු වැනි කලා කෘතිවල විනෝද පාර්ශ්වය ගැන කිසිවකු සංවාද කරන්නේ නැත. ‘‘මනමේ’ කුමරිය කඩුව වැද්දාට දෙනවා නොව මනමේ කුමරාගේ පරිපකල්නීය අනෙකාට (ලොලීටා කෘතිය තුළ ක්විල්ටි යනු හම්බර්ට්ගේ බාහිර අනෙකෙකු නොව ඔහුගේම අභ්‍යන්තර ස්වයං-ප්‍රතිවිරෝධයයි. (Self-Contradiction) කඩුව දෙනවා යැයි සමපේක්ෂණය කළහොත් ඇය පුරුෂාර්ථවල ස්වයං-ප්‍රතිවිරෝධයට සහයෝගය දෙනවා මිස පුරුෂාර්ථ සාධනය කරනවා නොවේ. මනමේ කුමාරයාගේ සද්භාවාත්මක ඉල්ලීම (ඔහු තුළ ඇති ඔහුට ‘වඩා’ දෙයට ඇති අනුරාගික බැඳීම - ස්වරූපරාගය) වන්නේ මාව විනාශ කර නිදහස් කරන්න යන සටන් පාඨයයි. නමුත් දශක හතරක කාලයක් තුළ විචාරකයන් මනමේ කුමරියව කියවන ලද්දේ පුරුෂයාගේ ආශාවේ බාහිර බාධාවක් ලෙසින්ය. එනිසා කෘතිය පුරුෂාර්ථ සාධනය කරන්නක් විය. නමුත් එහි හරය තුළම එහි ප්‍රතිපක්ෂය වූ විනෝදය ද ඇත. වැද්දා නම් අශ්ලීල පියා යනු පුරුෂාර්ථවල ප්‍රතිවිරෝධයකි.

සිංහල සංස්කෘතිය මගින් නැවත නැවතත් අවධාරණය කරන “සෑම සාර්ථක පුරුෂයකු පිටුපසම නිහඬ ස්ත්‍රියක් සිටීය” යන ආප්තයේ හරය විසංයෝජනය වන යුගයක අද අප ජීවත් වෙමු. අද දවසේ අපට අසන්නට ලැබෙන්නේ සාර්ථක පුරුෂයකුගේ පස්ස, අහවල් ස්ත්‍රිය නැති කළා යන රැඩිකල් සටන් පාඨයයි. ස්ත්‍රියව ප්‍රාග්ධනයේ සේවය සඳහා ‘පවුලෙන්’ සේවා ස්ථානය කරා ආකර්ෂණය කරවන යුගයක, ඇය සමාජ අවකාශයේ ලුබ්ධි-ආර්ථිකය මෙහෙයවමින් පවතියි. මෙම නව පශ්චාත්-නූතන තත්ත්වය මගින් හමුදා සේවයේ සිට සෞඛ්‍ය සේවයේ පැවති ගරුත්වය කෙලසා දමා ඇත. තහනම මත පදනම් වූ සමාජ සබඳතා දැන් ව්‍යුහගත වන්නේ විනෝදය (වේදනාව) කේන්ද්‍ර කර ගනිමින්ය.

අශෝක හඳගමගේ සිනමා නිර්මාණවල විද්‍යමාන වන සත්‍යය වන්නේ ඉහත කී ඓතිහාසික විපර් යාසයයි. පරිභෝජනය පරමාදර් ශකරණය වී පවුල් පරමාදර්ශ සහ දේශපාලන පරමාදර්ශ වියැකී යන සමාජයක ‘ලිංගික වෙනස’ යන්න රාක්ෂයකුගේ රූපකායෙන් නැවත මතු වී ඇත. අද ජීවත් වන මිනිසුන් හොඳින් දන්නා පරිදි දෙවියන් සහ පරමාදර්ශ මිය ගොස් ඇත. කල්පනාවෙන් සමාජ සබඳතා ඔබ කියවන්නේ නම් දෙවියන්ටත් වඩා දෙවියෙක් ලෙස අපගේ අවිඥානක විශ්වාසයන් තුළ ගිලී සිටින ස්ත්‍රීත්වයේ සාරයන්ය ද සමකාලීනත්වය තුළ විසංයෝජනය වෙමින් පවතියි. හරියටම මේ මොහොතේ දී ලිංගික සබඳතා යනුවෙන් දෙයක් නොමැතිය යන ප්‍රවාදය සමාජ සබඳතා තුළ තහවුරු වී ඇත. ලිංගික සබඳතා නම් පරමාදර්ශය අහිමි වූ සමාජයකට සිදු වන්නේ කුමක්ද? නොමැති දෙයක් යළි ප්‍රතිනිර්මාණය කිරීමට මනස තටමන බවට විවාදයක් නැත. ලිංගික ෆැන්ටසි වසංගතයක් බිහි වී ඇත.

ලිංගික සබඳතා යනුවෙන් දෙයක් යථාර්ථයේ තවදුරටත් පරමාදර්ශයක් ලෙස නොපවතී නම් අප එවැන්නක් ෆැන්ටසිකරණය කළ යුතුය. උදාහරණයක් ලෙස ඉහත ප්‍රවාදය නිසා ස්ත්‍රිය වඩා සතුටු වන්නේ යෝනිය හරහා ද නැතිනම් ක්ලිටෝරිසය හරහා ද යන අලුත් සංවාදය බිහි වී ඇත. අවශ්‍ය නම් එය G Spot දක්වා වර්ධනය කළ හැක. විද්‍යාව ස්ත්‍රියගේ ජීව විද්‍යාව පැත්තෙන් මෙම තත්ත්වය සමතික්‍රමණය කිරීමට උත්සාහ කරයි. ගැටලුව අපට අවශ්‍ය නම් මෙලෙස පසු ආවර්තනය කළ හැක. මනමේ කුමරිය ඇත්තටම සතුටු වූයේ යෝනිය හරහා ද නැතහොත් ක්ලිටෝරිසය හරහාද? නූතන නිල් සිනමාවට ඇබ්බැහි වූ රසිකයකු මෙසේ කිව හැක. “දිව දැමීම මෙයට පිළියමකි” දැන් මේ සියල්ල ස්ත්‍රියගේ ආශාව පුරුෂයාට අභිරහසක් වීම නිසා හට ගත් ෆැන්ටසීන්ය. නමුත් යම්කිසි ස්ත්‍රියක් පුරුෂයාගේ ෆැන්ටසි ප්‍රවේශය ප්‍රතික්ෂේප කොට පුරුෂයා ඉල්ලන දෙයෙහි සාරය දෙසට ප්‍රවේශ වුවහොත් සිදු වන්නේ කුමක්ද? එය පුරුෂයාගේ සංකේත මරණයයි.

හඳගම විසින් නිර්මාණය කළ ‘අක්ෂරය’ සහ ‘ඇගේ ඇස අග’ කෘතිවල ඇත්තේ සාර්ථක පුරුෂයකු පිටුපස රඟන ගුප්ත ස්ත්‍රිය නොවේ. ඒ වෙනුවට ඔහු යෝජනා කරන්නේ අසාර්ථක හෝ පවතින බුර්ෂුවා සාරධර්මවලට නොගැළපෙන පිරිමියකු සහ වාර්තා සිනමා කෘතියක රඟන අවිඥානක විශ්වාසයක් වූ රැඩිකල් ස්ත්‍රියයි. ඉලක්කයක් නැති, ඕනෑම ඉලක්කයක් අතික්‍රමණය කරන මෙම රැඩිකල් ස්ත්‍රිය පුරුෂයාගේ ආශාවේ නිම්න දහසයි. එනම් හඹා යාම් (Drives) අඩවියයි. මෙම නව තත්ත්වය තුළ සැබෑ සිදුවීම් (Trauma) හෝ ප්‍රබන්ධ සිදුවීම් අතර වෙනසක් නැත. හඳගමගේ සිනමාව තුළ ස්ත්‍රිය යනු රෝග ලක්ෂණයක්, ඒ නයින් අර්ථයක් හෝ ඛේතයක් නොව පුනරාවර්තනය වන විනෝදයකි. ස්ත්‍රිය විනෝද සාධකයක් ලෙස විභාග කිරීම ධනවාදය සමතික්‍රමණය කිරීමේදී අලුත් න්‍යායික ප්‍රවේශයකි. මේ ප්‍රවේශය පුරුෂයාගේ පැත්තෙන් විමුක්තියකි.

දීප්තිගේ කිවිදා කොලම පෙර ලිපි:

දීප්තිගේ කිවිදා කොලම 01 - අමාවක ...

දීප්තිගේ කිවිදා කොලම 02 - අමාවක චිත්‍රපටයෙන් අටවක පුත්තු දක්වා

දීප්තිගේ කිවිදා කොලම 03 - බල්ලාගේ වලිගය ඔබව සපා කෑ හැක

දීප්තිගේ කිවිදා කොලම 04 - ඇගේ ඇසට පෙර ලොලීටා

දීප්තිගේ කිවිදා කොලම 05 - ඇගේ ඇස අග වෙතට

 

Top