1150 x 80 px
උසාවි සාවිය 12 - බෙන්තර ගඟෙන් පැන්න කොළඹ හාදයෝ..
සිංහල වංශ කතා ඉතිහාසයේ කෝට්ටේ යුගය දක්වා කොළඹ නගරයක් ගැන කිසිම කතාවක් නැත. යුරෝපා ජාතීන් අතර ඉතා සාර්ථක මුහුදු ගවේෂකයින් ලෙසින් නැගී සිටි පෘතුගීසින්ට මුහුදු කුණාටුවක් කළ අකරතැබ්බයක් නිසා මෙන් හදිසියෙම ලංකා ඉතිහාසයට කොළඹක් කියා නගරයක් එකතු වුණ හැටි ! තමන්ගේ නැව අබලන් වූ පසු ඔවුන් අලුත් දිවයිනක අලුත් වැල්ලක සිට තිරුවාන ගල් කමින් ලේ බීවු බව කෝට්ටේ රජවාසලට සැල වී තිබිණ. එ් නයින් ගත් කළ කොළඹ නගරයක් ලෙස වැඩීම ආරම්භ වන්නේම රුහිරු හා මිශ‍්‍ර කතාන්දරයක් සමගමය. එ් ඉතිහාසය පැත්තක තිබුණාවේ කියා ලියන්නට අදහස් කළ කොළඹ කතාව ලියන්නට පටන් ගනිමි.
ක‍්‍රිස්තු වර්ෂයෙන් දාසයවන සියවස වනවිට ලංකාවේ මුහුදුබඩ පළාත් පෘතුගීසි පාලනයට නතුව තිබුණ නිසා වැඩවසම් රාජ්‍ය පරිපාලන රටාවෙන් නිදහස් වෙළඳ ආර්ථික පරිසරයක වැඩුණ මිනිස් ප‍්‍රජාවක් බිහි වූ බව අපි දනිමු. මුහුදුබඩ නගර අතර ‘කොළඹ’ ඔවුන්ගේ පරිපාලනයේ අගනගරය වූ හෙයින් ඉතා ඉක්මනින් එය රටේ අන් නගර අබිබැවූ සුවිසල් නගරයක් ලෙස ගොඩ නැගෙන්නට විය. පෘතුගීසීන්ගේ ආගමනයත් ඔවුන්ගේ ඓතිහාසික කෝට්ටෙ ගමනත් ගැන උත්ප්‍රාසාත්මක කතා ගොඩනැගී ඇතත් ඔවුන් ටික කලෙකින්ම රටේ කුදු මහත් කටයුතු පාලනය කළ බලවත් අක‍්‍රමණිකයෙකු වූ බවත් අපි දනිමු.
 
කොහොමෙන් කොහොමෙන් හරි නගරයක් ලෙස කොළඹ බලවත් භමිකාවක් පවරා ගනිද්දී වැඩවසම් රාජ්‍ය පාලනයකින් නිදහසක් අපේක්ෂා කළ නොහොත් නාහට නාහන විප්ලවකරුවන් පිරිසක් කෙමෙන් කොළඹට සංක‍්‍රමණය වන්නට පටන් ගත් නිසා පෘතුගීසි ආගමනයට පෙර වගුරක් වූ භූමියක් මනා සැලසුම් සහගත නගරයක් ලෙස වැඩෙන්නට විය. මට කියන්නට අවශ්‍ය මේ නාහට නාහන විප්ලවකරුවන්ගෙන් බහුතරය කොළඹට සංක‍්‍රමණය වූයේ ‘බෙන්තර ගඟෙන් එතරව’ බවය. නැතහොත් කොළඹ ජනාවාසකරණයේ මහා කාර්යය බාර ගත්තෝ බෙන්තර ගඟෙන් එපිට ඇත්තෝ බවය. මේ කොලම ලියන ‘කොළඹ ළමයා’ අයත් වන්නේ ද එසේ බෙන්තර ගඟෙන් එතරව කොළඹට පැමිණි මුල්කාලීන පරපුරක මව් පාර්ශ්වීය උරුමයක් සහ මෑතකාලීනව එහි පැමිණි පිය පාර්ශ්වීය උරුමයක් සහිත පරපුරකටය.
 
මගේ අත්දැකීම් පරාසය, මගේ මවගෙන් ඇසූ කතා සහ මා විසින් අත්දකින ලද සිදුවීම් ඇසුරේ වැඩෙයි. කොළඹට ආ බෙන්තර ගඟෙන් එතෙර පරපුරට අදාළ කතා බොහොමයක් එලෙස අත්දකින ලද එ්වාය. ‘බෙන්තර ගඟෙන් එහා සිට ගෙනෙන ලද ඇස් නොඇරුණ පූස් පැටියෙක්වත් විශ්වාස කරන්නට එපා’ යයි ප‍්‍රසිද්ධ කියමනක් සිංහල සමාජය තුළ ඇත. එවැනි සහාසික ප‍්‍රකාශයක් මෙහි වැඩෙන්නට ඇත්තේ ඇයි ? ගඟෙන් එතර ඇත්තෝ සූක්ෂම කපටිකම් සහිත රැවටිලිකාර මිනිසුන් බව එහි සැඟවුණ අර්ථයක් බව නොකිව මනාය. මේ කතාව පසුකාලීනව කොළඹ ආක‍්‍රමණය කළ දිවයිනේ අනෙක් පළාත්වලට අදාළ මිනිසුන්ගේ ආකල්පයක් සමාජ මතයක් ලෙස වැඩුණක් බව වටහා ගැනීම අසීරු නැත. සැබැවින්ම බෙන්තර ගඟෙන් එපිට මිනිසුන් එවැනි රැවටිලිකාර පිරිසක් ද ?
 
මගේ මව් පාර්ශ්වයේ මුල් බිම් බෙන්තර ගඟෙන් එපිට කුරුඳු වලාමේ අකුරැස්ස ග‍්‍රාමය සහ එ් අවට ග‍්‍රාම නාමයන් හා බැඳී පවතී. වරින් වර කොළඹ පැමිණ අතිශය දුෂ්කර දිවි පෙවතකින් පසු සිය වාසස්ථානය ස්ථීර කර ගත්ත බැවින් ඔවුන්ගේ පසු පරපුර ‘හද්ද කොළඹයෝ’ වූහ. මගේ අම්මාගේ තාත්තා සහ අම්මා ද එවැනි හද්ද කොළඹයන් වූ බැවින් මෙහි සියලු උරුමයන් මනාකොට තහවුරු කර ගත්තෝය.
 
ලංකික ධනවතුන්ගේ ඉතිහාස කතාව සහ කොළඹ ජනාවාස වීම අතර ඇති අවියෝජනීය බැඳීම වෙනම කතාවක් වුව කොළඹ පැමිණි හැමෝම ධනවතුන් නොවූහ. අතිබහුතරය අන්ත දිළින්දන්ව එදිනෙදා ජීවනයකට හුරුව කිසියම් ස්ථාවරත්වයක් ගොඩ නගා ගත්තෝය. අපේ පරපුරද එම කොටස නියෝජනය කරන්නෝය. එනිසා මේ කතාව නිර්ධන කොළඹයන්ගේ කතාවකට අදාළ කෙටි පෙරවදනක් ලෙස ද සැලකීම වටී.
 
මගේ අම්මාගේ පියා දුම්කොළ වෙළඳාමකට සම්බන්ධ ව්‍යාපාරයක් කළෙන් ඔහු තරමක ධනවතෙක්ව විසූ බව අම්මා නිතර අපට කියන්නීය. ඔහු කොළඹට ආගමනය වූ මුල් කාලයේ බෙන්තර ගඟෙන් එතෙරව ආ දිරිමත් මිනිසුන්ගේ පිල නියෝජනය කළ බවක් පෙනේ. 19 ශත වර්ෂයේ අග භාගයේ කොළඹ නගරයේ ඇති වූ කිසියම් අර්බුදයක් නිසා නගරයට ජල සැපයුම අඩාල වී තිබිණ. එම අවස්ථාවේදී ඔහුගේ ජානගත ධෛර්යය පෙරට ආයෙන් ඔහු නගරය කරා කරත්ත මගින් වතුර රැගෙන ආ බවත් එ්වා 'ගෑස් පහ හන්දියේ' දී මුදල්වලට අලෙවි කළ බවත් අම්මා අපට කිවේ සිය පියාගේ නැගීමේ මුල එම ව්‍යාපාරය බව ද මතක් කරමිනි. අමු නාගරිකයන්හට වතුර විකුණා මුදල් හරි හම්බ කළ බෙන්තර ගඟෙන් එහා වැසියන්ගේ ධෛර්යය නිසා එතෙක් ඉන්දියාවෙන් පැමිණි, පරවර, චෙට්ටි, පාර්සියන්, ආරාබි ආදී ජනවර්ගයන් අත සිරවී තිබූ කොළඹ වෙළඳ බලාධිකාරියට අභියෝගයක් එල්ල විය. චෙට්ටියාර්, හම්මදුල්ලා, සේකර් යනාදි ව්‍යාපාර අතරෙහි අප්පුහාමිලාගේ ව්‍යාපාර නාම ද ඉස්මතු වූයේ බෙන්තර ගඟ පැන්න නාහට නාහන දඩබ්බරයන් නිසායා. මගේ මව් පාර්ශ්වයේ සීයාද එවැන්නෙකි.
 
එ් මා දන්නා අවංක මිනිසකුගේ උත්සාහය පිළිබඳ කතාන්දරයකට අයිති කොටසකි. බෙන්තර ගඟෙන් එතරව ආ දකුණේ නියම කෛරාටිකයින්ගේ කතාවක් ද කියන්නට තිබේ. ඔවුන් බොහෝවිට කොළඹට පැන ගත්තද ගමේ සියල්ල අත්හළ නොහැකි වූ පිරිසකි. ඔවුන් කොළඹ නගරයේ මංමාවත් අතරෙහි සරමින් විවිධ උප්පරවැට්ටි කරමින් මිනිසුන් මුලා කොට හරි හම්බ කරගත් මුදල් ද රැගෙන යළි ගම් බිම් බලා ගිය බවත් ප්‍රචලිතය.
 
එක්තරා කාලයක අපේ අම්මලාගේ ගමේ විසූ දුර ඥතියකු සන්තබස්තියම් වීදියට පැමිණ ඇත්තේ කිසියම් ව්‍යාපාරයක් කර ආදායමක් උපයා ගැනීමේ අරමුණිනි. එ් වෙනුවෙන් ඔහු සතුව කිසියම් මුදලක්ද වීලු. අතැති මුදල් නිමා වුවත් ඔහු අතගැසූ සියලු ව්‍යාපාර බංකොලොත් වූයෙන් ඔහුට කොළඹ විසුම තිත්ත විය. නමුත් හරි හම්බ කරගත් මුදලක් රහිතව හිස් අතින් ගම යාමට ඔහුට මදි පුංචිකමක් වූයෙන් ඔහු කොළඹ දුම්රිය නැවතුම් පළ සමීපයේ විස්මිත වෙළඳාමක් පටන් ගෙන ඇත.
 
එම වෙළඳාම අතිශයින් සාර්ථක වූයෙන් දින කිහිපයකින්ම ඔහුට සෑහෙන මුදලක් එකතු කර ගත හැකිව තිබේ. අපේ අම්මා කී ලෙස ඔහු විසින් පදික වේදිකාවේ තැබූ ලෑලි පෙට්ටියක් මත තබා බඩේ ගායට නොවරදින ඉසිවර බෙහෙත් ගුළියක් විකුණා තිබේ. එම බෙහෙත් ගුළිය ඔහු ලබා ගන්නේ කාගෙන්ද යන ප‍්‍රශ්නය ඥති සනුහරේ අතරත් කුසුකුසුවක් තිබුණත් ඔහු නොවේලු වචනයක් කටින් බිම හෙළුවේ. අවසානයේ විශාල මුදලක් එකතු කරගත් පසු ඔහු සිය වෙළඳාමට තිත තබා යළි කොළඹ නොඑමියි කියා අකුරැස්සේ ගියේලු. ඔහුගේ ආපසු ගමනට පෙර ඔහුගේ විස්මිත ගුළියේ කතාව ඔහු අපේ අම්මාගේ අම්මාට කියා ඇත. එ් අනුව ඔහුගේ විස්මිත බෙහෙත් ගුළිය ඔහුගේම නිර්මාණයක් වූ අතර එ් සඳහා පස්ගෝරසයෙන් ලබා ගත් කළු දොදොල් පට්ටයක් උපකාර වී තිබේ. කළු දොදොල් ඉතා කුඩා කැබලිවලට කඩා තෙල් යහමින් මතුවන සේ ගුළි කර බුලත් කොළයක දවටා සකස් කරගත් අත් බෙහෙත ඉසිවර ඔසුවක් යයි රැවටී මුදල් ගෙවා ලබා ගත් අයගේ බඩරුජාව සුව වී දැයි දන්නා කිසිවක් නැතත් සති දෙකක් ඇතුළත ඔහුගේ අතමිට යහමින් සරු වී තිබේ.
 
එ් ඉසිවරයා නම් බෙන්තර ගඟෙන් එතෙර ඇස් නොඇරුණ බළල් පැටියෙකුවත් විශ්වාස නොකිරීමේ කතාව නිර්මාණය කිරීමට බලවත් දායකත්වයක් සපයන්නට ඇත. මෙවැනි උප්පරවැට්ටි මගින් නාගරිකයන් කෙසේවෙතත් නගරයට යන එන්නන් රැවටූ බොහෝ පිරිසක් කොළඹ සිටි බවත් දැනටත් සිටින බවත් මගේ අත්දැකීම් පරාසය තුළද හමුවී තිබේ.
 
කොළම පැමිණ ඉතා දුකසේ වුව සාධාරණ වෙළඳාමක නිරතව සිටි මිනිසුන් බහුතරය අතර මැනිං මාර්කට් ඇසුරේ සිය ජීවනෝපාය සකස් කරගත් මිනිසුන් ගැන වෙසෙසින්ම කතා කළ යුතුව තිබේ. මගේ ඥති සනුහරේ බහුතරය සිය ජීවනය සකස් කරගත් ප‍්‍රබලතම වේදිකාව වූයේ මැනිං වෙළඳපොළයි. එහි සිටි බහුතර ඥාතීන් පිළිබඳ මතකය අතරේ අදටත් මගේ මනසේ හොඳින්ම නිදන්ව සිටින්නේ කුරුම්බා සීයාය. ඔහු අපේ අම්මලාට කුරුම්බා බාප්පා වූ හෙයින් අපට ඔහු කුරුම්බා සීයා විය.
 
ඔහු ප‍්‍රයිස්පාක් පිට්ටනිය සමීපයේ මැනිං වෙළඳ පොළ භූමිය පැවති ස්ථානයේ පදික වේදිකාවේ පසෙක කුරුම්බා විකුට ජීවනෝපාය සකසා ගත් හෙයින් ඔහු කාගෙත් කුරුම්බා සීයා විය. පාන්දරම කරත්තවලින් රැගෙන එන කුරුම්බා තොග ලබා ගනිමින් හවස් වනතුරු එය අලෙවි කරන ඔහු සිහින් සිරුරක් ඇති මගේ මතක සීමාවේ කෙළවරදිත් පනස් විය ඉක්මවා සිටි අවිවාහකයෙකි. සමහර හවසක අම්මා සමඟ ඔහු හමුවට ගිය දවසක ඔහු විසින් කපා දුන් කකුරුම්බයක් අම්මාත් මාත් බෙදා හදාගෙන බිවු හැටි සිහින් දුමාරයක් වැනි මතකයක්ව මේ මොහොතේ මනසේ ඇඳෙයි. ඔහු පවුලේ ඥතීන්හට දැඩි සේ ආදරය කළ දකුණේ හැබෑ ඥතියකු විය. ඔහු මිය ගිය පසු සන්තබස්තියම් වීදියේ වළව්වත්තේ ඔහුගේ මරණය තබා තිබූ බවත් මට මතකය.
 
ඉතිං මේ සියලු අතුරු කතා අතරෙහි මගේ මතකය අවදි වූයේ බෙන්තර ගං තරණය සහ කොළඹ ජීවිතය අතර තිබූ සම්බන්ධතාව දැක්වීමේ අරමුණිනි. යහපත සේම අයහපත ද මිනිසුන් සතු අත්හළ නොහැකි මිනිස්කම් හේතුවෙන් නිර්මාණය වූ වදන්ය. බෙන්තර ගං තරණයෙන් පමණක් නොව කැලණි ගං තරණයෙන් ද කොළඹ ආ ඇත්තෝ තුළ මේ ගුණාංග දෙකම අඩු නැතිව තිබිණ.
 
ඊයේ මෙන්ම අදත් කොළම නගරයේ ‘මාතර බත් කඩ’ ඇත්තේ බෙන්තර ගඟ පැන්න අයගේ සාමූහිකත්වයක් වෙනුවෙන් ආරාධනා කරන තානයකිනි. නමුත් එය ද බෙන්තරින් එතර ඇත්තන්ගේ සූර වෙළඳ උපක්‍රමයන්ගෙන් එකක් පමණක් බව දන්නෝ දනිති. මේ උප්පරවැට්ටි කොතරම් බලවත්ද යත් මා දන්නා එක්තරා හත් කෝරලවාසියකුද මහ ජයට මාතර බත් කඩයක් පවත්වා ගත්තේ දකුණේ බහුතරය තවමත් කරිජ්ජ සුවඳ දිගේ ඇදෙන බව දන්නා නිසාය.
 
කෙසේ වෙතත් බෙන්තර ගං තණයෙන් කොළඹ විත් හද්දා කොළඹයෙක් ලෙස තමන් වැඩූ සිය පරපුර ඔජ වැඩූ ආර්. ප්‍රේමදාස හෙවත් රණසිංහ ප්‍රේමදාස චරිතය ඇසුරු කිරීමෙන් ‘බෙන්තර ගඟ එතර ව පැමිණි’ මිනිසුන්ගේ ජානගත ප‍්‍රබලතා මෙන්ම දුබලතාද වටහා ගැනීම පහසු වනු ඇත.
 
අනුරසිරි හෙට්ටිගේ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
Top