1150 x 80 px
ප්‍රචණ්ඩ අතීතයකින් උගත හැකි පාඩම් - වෝල්ටර් වුත්මාන්
මෑතකදී නුවර පළාතේ මුස්ලිම් පවුල්වලට සහ ඔවුන්ගේ දේපළවලට කරන ලද හානිය, ශ‍්‍රී ලංකාවේ වාර්ගික ප‍්‍රචණඩත්වයේ තවත් අවාසනාවන්ත පරිච්ඡේදයක් සනිටුහන් කරයි. ජාතිවාදයේ මේ අශෝභන ලක්ෂණය ඉවරයක් නොවන්නේ මන්ද යන්නත්, අනාගතයේ එවැනි තත්වයක් ඇතිවීමට එරෙහිව ගත හැකි පියවර ගැනත් සිතා බැලීමේදී දැන් බොහෝ දෙනා අතීතය පිරික්සා බලති. මන්ද යත්, පසුගිය මාර්තුවේ නුවර දිගනට කලින්, 2014 අළුත්ගමක් පැවති නිසාත්, ඊටත් කලින් 1915 ක් පැවති නිසාත්ය.
1915 මැයි මාසයේ මහනුවර වෙසක් පෙරහැරක් අදාළ කරගෙන ඇති වූ කෝලාහලයක් අවසානයේ 25 දෙනෙක් මරුමුවට පත්වූහ. කාන්තාවන් 4 දෙනෙක් දූෂණයට ලක්වූහ. 189 දෙනෙක් තුවාල ලැබූහ. එ්, රට පුරා පැතිරුණු මුස්ලිම්-විරෝධී හිංසනයක් නිසාය.
 
එදා පැවති බ්‍රිතාන්‍ය යටත්විජිත ආණ්ඩුව යුද නීතිය ප්‍රකාශයට පත්කෙළේය. ආණ්ඩුවේ හමුදා සහ පොලීසිය විසින් එම ප‍්‍රචණ්ඩත්වය මැඩලීමේදී අඩු වශයෙන් 63 දෙනෙකු ඝාතතනය කෙරුණි. වැවිලිකරුවන් සහ ව්‍යාපාරිකයන් වැනි ඉංග‍්‍රීසි ස්වේච්ඡා සාමාජිකයන්, සමහර විට ආණ්ඩුවේ ද ආශීර්වාදය ඇතිව, විවෘතවම ජනතාවට වෙඩි තැබූ බවට වාර්තා තිබේ.
 
කෝලාහල අවසන් වන විට 4000 කට වැඩි මුස්ලිම් කඩසාප්පු ප‍්‍රමාණයක් කොල්ලකා තිබුණි. දවස් 9 ක කාලයක් තුළ මුස්ලිම් පල්ලි 17 ක් ගිනිබත් කොට තිබුණි.
 
ඒ වසරේ ජාතිවාදී කෝලාහලය සහ මේ වසරේ කෝලාහලය අතර කාලය ශත වර්ෂයකට ටිකක් වැඩිය. එසේ වෙතත්, එම සිද්ධිය දෙස විචාරශීලීව බැලුවොත්, වර්තමානය සඳහා වන අගනා පාඩම් උගත හැකි බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති.
 
ඝෝෂාව පිළිබඳ ආරාවුලක්
 
පෙරහැරක් අතරවාරයේ සිදුවූ පුංචි රණ්ඩුවක් රට පුරා පැතිරෙන කලකෝලාහලයක් බවට පත්වුණේ කෙසේද ? ශ‍්‍රී ලංකා ඉතිහාසය පිළිබඳ විද්වතුන් කිහිප පොලක්ම, බැලූ බැල්මට හිතාගත නොහැකි, එක කාරණයක් එහිදී අවධාරණය කරයි. එනම්, යටත්විජිත ශ‍්‍රී ලංකාවේ පැවති ඝෝෂාව පිළිබඳ බ්‍රිතාන්‍ය රෙගුලාසියයි. මෑතකදී කළ දේශනයකදී, ‘වෙරිතේ රිසර්ච්’ ආයතනයේ දේශපාලන අංශ ප‍්‍රධානී ෂමාරා වෙත්තමුනි පෙන්වා දුන් පරිදි, බ්‍රිතාන්‍ය පාලනය යටතේ පනවාගෙන තිබුණු පොලිස් ආඥාපනතට අනුව, ‘රජයේ අවසර පත‍්‍රයක් නොමැතිව, කිසිම නගරයක කිසිම වෙලාවක බෙර වාදනය කිරීම තහනම්’ය. මේ රෙගුලාසිවලට අනුව, ආගමික පෙරහැරවල් පවා, ඕනෑම පූජණීය ස්ථානයකට යාර 100 ක දුර ප‍්‍රමාණයක් තුළ නතර කළ යුතුය. ඒ නීති කඩ කරන අයවළුන්ට, එක්කෝ දඩ කෑමට සිදුවෙයි. නැත්නම් හිරේට යාමට සිදුවෙයි.
 
මේ අණපනත් පනවා තිබුණේ විශේෂිත ආගමික ප‍්‍රජාවක් ඉල්ලක කරගෙන නොවුණ ද, ඊට අදාළ නඩු තීන්දු සහ පෙරහැර ආදියට අදාළ විවිධ සීමාවන් සිංහල බෞද්ධයන්ට පෙනුණේ, ‘ශබ්ද පූජාවන්ට එරෙහිව බ්‍රිතාන්‍යයන් දැක්වූ මදිපුංචි වශයෙනැ’යි වෙත්තමුනි කීවාය.
 
1895 ඇති වු සිද්ධියක් ඈ මේ සඳහා ගෙනහැරපායි. කොළඹ පන්සලක නායක ස්වාමීන් වහන්සේ නමකට එරෙහිව, බලපත‍්‍රයක් නොමැතිව බෙර ගැසීමට ඉඩ දී තිබීම ගැන අධිකරණය ඉදිරියේ නඩු පවරා තිබුණි. එසේ වුණේ, බොහෝ බෞද්ධ ආගමික වතාවත් සඳහා බෙර හේවිසි අත්‍යවශ්‍ය අංගයක්ව පැවතියදීය. මේ නඩු විභාගයේදී අගවිනිසුරුවරයා මෙසේ කීය: ‘යම් ශබ්දයක් අසල්වාසීන්ට හිරිහැරයක් නම්, එය ආගමික උත්සවයකදී සිදුවූවක්ය යන්න නිදහසට කාරණයක් නොවේ.’
 
මේ අනුව, යටත් විජිත ලංකාවේ පෙරහැරවල් සහ ශබ්ද පූජාවල් දේශපාලනික වශයෙන් ඉමහත් මතභේදාත්මක කරුණු විය. තමන්ට වෙනස් කොට සලකන්නේය යන මේ හැඟීමත්, තමන්ගේ සංස්කෘතියට මෙවැනි අණපනත් තර්ජනයක්ය යන හැඟීමත්, ඒ වන විටමත් මතුවෙමින් පැවති ‘සිංහල-බෞද්ධ’ වර්ගාමික ජාතිකවාදය තවත් සවිමත් කිරීමට හේතු වූ බව වෙත්තමුනි කියයි.
 
තවත් විද්වතුන් ද මේ ශබ්ද ප‍්‍රශ්නය පිළිබඳ අදහස් දක්වා තිබේ. ‘බෙර හේවිසි ගැසීම ‘කරදරයක්’ යැයි එ් දක්වා නොසැලකූ ප‍්‍රජාවන් මේ ආඥාව නිසා ගැටුමකට යොමු කරවන තත්වයක් නිර්මාණය වූ බව නීරා වික‍්‍රමසිංහ ඇගේ ‘නූතන යුගයේ ශ‍්‍රී ලංකාව’ නැමැති කෘතියේ කියා සිටී. 1915 කලකෝලාහලයට කලින් පවා, මේ ආඥාව නිසා විවිධ ජන කොටස් අතර විරසකයන් මෝදු වෙමින් තිබුණි. උදාහරණයක් වශයෙන්, ගම්පොල නගරයේ විසූ මුස්ලිම් ප‍්‍රජාව තමන්ගේ පල්ලිය ඉදිරියේ බෞද්ධ පෙරහැරක් යාම වලක්වන ලෙස යටත්විජිත බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණි. එදා ශ්‍රේෂ්ඨාධිකරණය අවසානයේ ඒ ඉල්ලීමට ඉඩ දුනි.
 
වසර ගණනක් තිස්සේ පැසවමිත් තිබූ තුවාලයක් මේ අණපනත් නිසා උග‍්‍ර වූ බව, මානව විද්‍යාඥයෙකු වන එස්.ජේ. තම්බයියා කියයි. 1912 අනගාරික ධර්මපාලගේ ‘සිංහල බෞද්ධයා’ පුවත්පතෙන් ඔහු මෙසේ උපුටා දක්වයි: ‘සුද්දා මේ රටේ පය ගැසූ දා සිට සිංහලයන්ගේ කර්මාන්ත, ගති පුරුදු සහ සිරිත් විරිත් විනාශ වන්ට පටන් ගත්තේය. දැන් සිංහලයන්ට සිදු වී ඇත්තේ, හම්බයන්ගේ සහ දෙමළුන්ගේ කකුල් ළඟ වැඳ වැටීමටය.’
 
කලකෝලාහල
 
1915 මැයි මාසයේදී මේ ප්‍රශ්න පුපුරා ගියේය. ඒ වසරේ වෙසක් පෙරහැර වැටී තිබුණේ මැයි 28 වැනිදාටය. ප‍්‍රදේශවාසී බෞද්ධයන් තමන්ගේ වෙසක් පෙරහැර සඳහා කටයුතු පිළියෙල කරමින් සිටියදී පොලීසියෙන් ඔවුන්ට නියෝගයක් ලැබුණි. එයින් කියැවුණේ පෙරහැර කාසල් වීදියේ මුස්ලිම් පල්ලිය ඉදිරියෙන් ගමන් නොකළ යුතු බවයි. ‘බෞද්ධ ශබ්ද පූජාවෙන් මුස්ලිම් පල්ලියක් ආරක්ෂා කිරීමට සඳහා වූ මෙම නියෝගය සිංහල බෞද්ධයන් සැලකුවේ සුළුජන ප‍්‍රජාවන් වෙත රාජ්‍යයෙන් සැපයෙන විශේෂ වරප‍්‍රසාදයක් වශයෙනි’ යැයි වෙත්තමුනි කීවාය.
 
ගමන් මාර්ගය වෙනස් කිරීම සඳහා වු නියෝගය සංවිධායකවරුන් භාර ගත්තත්, පසුව පෙරහැර මුස්ලිම් පල්ලිය අසළින් යද්දී ගැටුම හට ගැනුණි. එම ගැටුම මැඩලීමට පොලීසිය අසමත් විය. අනතුරුව, අමතර පොලිස් සහ හමුදා පිරිස් කොළඹින් ගෙන්වා ගැනීමට ප‍්‍රදේශයේ පොලීසියට සිද්ධ විය.
 
ගැටුම් පැතිරී ගියේය. ඉන් දින තුනක් ගිය පසුවත්, සමහර විට කොළඹින් නුවර බලා පිටත් වූ අමතර පොලිස් බලඇණිවල ප‍්‍රමාදය අස්සේ, කොළඹත් ගැටුම් හටගත්තේය. අනතුරුව නුවර වෙනත් ප්‍රදේශවලටත්, රටේ දකුණුදිග සහ බස්නාහිර ප‍්‍රදේශවලටත් මේ ගැටුම් පැතිරුණි. සමස්තයක් වශයෙන් ගත් විට, රටේ පළාත් නවයෙන් පහකම ගැටුම්කාරී තත්වයන් උත්සන්න විය.
 
මහනුවර හටගත් ගැටුම්කාරී තත්වයට, කෙලින්ම ඝෝෂාව පිළිබඳ ප්‍රශ්නය තුඩුදුන් බව කිව හැකිය. එහෙත් එ් තත්වයට තවත් හේතු සාධක බලපෑ බව වෙනත් ඉතිහාසඥයෝ පෙන්වා දෙති. විද්වත් ස්ත්‍රීවාදිනියක් වන කුමාරි ජයවර්ධනට අනුව, මේ කියන පළමු ලෝක යුද්ධ කාලයේ ඇති වූ භාණ්ඩ මිල ඉහළ යාමත් මේ තත්වයට හේතු වී ඇත. එහිදී, එම යුද්ධ තත්වය පාවිච්චියට ගෙන මුස්ලිම් වෙළෙන්දන් විසින් භාණ්ඩ මිල ගණන් ඉහළ දැමීම බොහෝ සිංහලයන්ගේ දෝෂදර්ශනයට ලක්වී ඇත. මීට උදාහරණයක් වශයෙන්, කොළඹ මරදානේ දුම්රිය අංගනය අසල මුස්ලිම් තේ කඩයක තේ එකක මිල ඉහළ දැමීමට විරුද්ධව එම කඩයට පහර දීමේ සිද්ධිය ඇය දක්වා සිටී.
 
මේ ප‍්‍රචණ්ඩකාරීත්වය, පොදුවේ ගත් විට පෙනෙන්ට තිබෙන්නේ දුම්රිය මාර්ග ආශ‍්‍රය කරගෙන බව කුමාරි ජයවර්ධන මෙන්ම තම්බයියා ද පෙන්වා දෙති. ගැටුම් පිළිබඳ තොරතුරු, විශේෂයෙන් දූෂමාන ආරංචි පැතිර ගොස් ඇත්තේ දුම්රිය මාර්ග උපයෝගී කර ගනිමිනි. හැම තැනකම කටකතා බහ ල විය. ඒ කටකතා කිහිපයකින් කියැවුණු පරිදි, මුස්ලිම් ජාතිකයන් නුවර දළදා මාළිගාව විනාශ කිරීමට සැලසුම් කරමින් සිටි බව කියැවුණි. යටත්විජිත ආණ්ඩුව මුස්ලිම් ජාතිකයන්ව රටින් පිටුවහල් කිරීමට සැලසුම් කරන බව තවත් කටකතාවලින් කියැවුණි. තවත් කටකතාවකට අනුව, සිංහල කාන්තාවන් මුස්ලිම් ජාතිකයන් අතින් දූෂණයට පත්වෙමින් තිබුණි.
 
මේ කලකෝලාහල, යටත්විජිත ආණ්ඩුව ඉතා දරුණු හමුදා නීතිය ක්‍රියාවේ යොදවමින් මර්දනය කරන තෙක්, දින නවයක් තිස්සේ රට පුරා පැතිර ගියේය. වෙත්තමුනි තර්ක කරන පරිදි, බ්‍රිතාන්‍ය ආණ්ඩුව දෙස අප අවධානය යොමු කළයුතු අතර, මේ ජාතිවාදී කලබල ඇති කිරීමට තුඩුදුන් හේතුකාරක සම්බන්ධයෙන් ඔවුන්ගේ වගකීම ගැන සොයා බැලිය යුතුව තිබේ. ‘ජාතීන් වශයෙන් බෙදී වෙන් වුණු සමාජයක, ඔවුන්ගේ සංවේදනා පිළිබඳ හැඟීමකින් තොරව ඇතැම් සාමාන්‍ය නීතිරීති පවා ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි අවදානම්කාරී තත්වයක්’ මෙයින් පෙන්නුම් කෙරෙන බව ඇය කියා සිටී.
 
අදට ගත හැකි පාඩම්
 
1915 කලකෝලාහලයේ ඇතැම් අංග වර්තමානයේදීත් දක්නට ලැබේ. ඒ අතරින්, කටකතා ප‍්‍රධාන තැනක් ගනී. මෙවර අම්පාරේ ඇති වූ ගැටුමට හේතු වූයේ, සිංහලයන්ව වඳභාවයට පත් කිරීම සඳහා මුස්ලිම් කඩකාරයෙකු වඳ පෙති භාවිත කර ඇති බවට පැතිරුණු කටකතාවකි. නුවර ගැටුම්වලට කලින් සහ ඒවා අතරේදීත් මෙවැනි මිථ්‍යා මත ඉතා සීග‍්‍රයෙන් පැතිර ගියේය. මාර්ග අනතුරක් නිසා ඇති වූ ගැටුමක්, සිංහලයන් තුරන් කිරීම සඳහා මුස්ලිම් ජාතිකයන් විසින් ගෙන යන මහ පරිමාණ සැලසුමක එක් අංගයක් බවට පැතිරුණු කටකතාව තවත් එවැන්නකි.
 
‘ලොරියක හෝ තැපැල් කෝච්චියක වේගයට වැඩි වේගයකින් කටකතා පැතිරෙන තත්වයක්’ නව සමාජජාල යුගයේ අපට දකින්ට ලැබෙන බව, වෛරී භාෂාව සහ සමාජ මාධ්‍යවල භූමිකාව ගැන විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් අධ්‍යයනයේ යෙදෙන සංජන හත්තොටුව කියයි. එහි අදහස වන්නේ, ‘ප‍්‍රචණ්ඩත්වය භූගෝලීය භෞතිකය පරයා පැතිරිය හැකි’ බවයි. 1915 සිංහල-මුස්ලිම් කෝලාහලය ඉදිරියේ යටත්විජිත ආණ්ඩුවේ ප‍්‍රතිචාරය වුණේ හමුදා නීතිය පනවා ගැටුම්කාරී තත්වය දරුණු ආකාරයෙන් මර්දනය කිරීමයි. වර්තමාන ආණ්ඩුව, එවැනි ගැටුමක් මැඩපැවැත්වීමට පළාතේ පොලිස් බලකාය අසමත් වන හෝ කැමැත්තක් නොදක්වන බව දුටු විට කෙළේ, කටකතා වැලැක්වීම සඳහා සමාජ මාධ්‍ය ජාල වසා දැමීමයි.
 
වාර්ගික භේදභින්නතා අරභයා පැනනගින තත්වයන්ට මෙසේ උඩින්පල්ලෙන් ප‍්‍රතිචාර දැක්වීම, අශෝභන ජාතිවාදී ප‍්‍රවණතාවන් විසඳීම සඳහා සුදුසු උත්තරයක් නොවන බව සංජන හත්තොට්ටුව කියයි. ‘වෛරය පැතිරෙන මාර්ග අහුරනවා වෙනුවට, එම වෛරයේ හේතු කාරණාවන්ට ආමන්ත්‍රණය කිරීම’ අවශ්‍ය කරන බව ඔහු පෙන්වා දෙයි. ‘අලුත් විදිහකින් සිතන සහ දකින ප‍්‍රවේශයක් මහජනතාව අතරේ ඇති කරමින්, අතීත උරුමයෙන් සහ එම අතීත උරුමයේ අනාරක්ෂාවක් පිළිබඳ හැඟීමක ප්‍රාණඇපකරුවන් නොවන ජනතාවක් බිහි කර ගැනීම සඳහා’ ආණ්ඩුවත්, සිවිල් සමාජයත් කටයුතු කළ යුතුව ඇති බව ඔහු පෙන්වා දෙයි.
 
බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයට එරෙහිව නැගී සිට නිදහස දිනා ගැනීම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් දේශපාලන නායකයෝ එක්වූහ. එවක් පටන් හැත්තෑ වසරක් ගතව ඇත. එදා තිබූ ඒ එක්සත්භාවය සහ සහෝදරත්වය අප යළි සොයා ගත යුතුව තිබේ.
 
2018 මැයි 7 වැනි දා ‘ඩේලි නිව්ස්’ පුවත්පතේ පළවූ, වෝල්ටර් වුත්මාන් ලියූ, ‘Lessons From A Violent Past’ නැමැති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි. 
Top