1150 x 80 px
“කොළ පාට සමාජය” අවසාන කාර්තුවේ ද අවසානයට පැමිණෙයි..! - චරිත හේරත්
මේ දිනවල සිදු වෙන දේවල් දෙස බලන විට පෙනී යන ප‍්‍රධාන කාරණයක් වන්නේ  රටේ දේශපාලනය ඉතාමත් සංකීර්ණ තත්ත්වයකට පත් වෙමින් තිබෙන බවය. එමගින්  කියවෙන්නේ පසුගිය 2015 ජනවාරි ජනාධිපතිවරණයත් සමග ආරම්භ වූ යුගය නිශ්චිතවම නිමාවට පත් වෙමින් තිබෙන බව පමණක් නොව මේ රටේ දේශපාලනයේ යුග පෙරළියක් සිදු වීමේ පිඹුරුපත් සකස් වෙමින් තිබෙන බවය. මේ කාරණය පිළිබදව තරමක් පුළුල් ආකාරයෙන් සළකා බැලීම ඒ නිසාම ඉතාමත් වැදගත්ය.
මීට පෙර ද මම පෙන්වා දී ඇති පරිදි 1948න් පසුව මේ රටේ දේශපාලනය පදනම් වන්නේ   න්‍යායික පදනම් තුනක් මතය. ඒ කියන්නේ ඇඩම් ස්මිත් (ධනවාදය) කාල් මාක්ස් (සමාජවාදය) සහ අනගාරික ධර්මපාල (ජාතිකවාදය) ලෙසින් වූ න්‍යායික පදනම් තුනක් මත මේ රටේ දේශපාලනය පිහිටා තිබූ බවය.
 
අපේ රටේ ප‍්‍රධාන පක්ෂ විසින් පසුගිය නිදහසින් පසු ගෙවුණු අවුරුදු 70 කාලය පුරා මේ රට සංවිධානය කර ඇත්තේ වෙන වෙනම හෝ එසේත් නැති නම් එකට මිශ‍්‍ර කරමින් හෝ මේ කියන න්‍යායික පදනම් තුන මත පදනම් කර ගනිමින්ය. අපේ රටේ දේශපාලන පක්ෂ වූ එක්සත් ජාතික පක්ෂය, වාමාංෂික ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  පිළිවෙලින් පෙනී සිටියේ ධනවාදය සමාජවාදය සහ  ජාතිකවාදය වෙනුවෙන් යැයි කියා කීමේ වැරුද්දක් නැති බවට බොහෝ අය එකග විය හැකිය.
 
මේ සංකල්පීයකරණය හරහා මම  බලාපොරොත්තු වන්නේ මේ තත්වය සරළ ආකාරයෙන් තේරුම් ගැනීමටය. ඒ  නිසා මේ සමීකරණයට මෙරට පැවති සියලුම දේශපාලන ව්‍යාපාරයන් සහ  ජාතිකවාදි ව්‍යාපෘතීන් ඇතුළත් නොකරන  බව සදහන් කළ යුතුය.
 
2015 ජනවාරියේ සිදු වූ දේශපාලන අත්හදා බැලීම අර්බුදයට යාම මගින් පෙන්නුම් කරන්නේ ඉහත සදහන් සියලුම සුසමාදර්ශයන්ගේ දේශපාලන පැවැත්ම ශ්‍රී  ලංකාවේ දේශපාලන සන්දර්භය ඇතුළත නිමාවට පත් වීම සටහන් වූ බවයි. මේ ව්‍යාපෘතීන් තුන 1977 ජේ ආර් ජයවර්ධන දේශපාලනය විසින් උඩු යටි කුරු කරන්නට ආරම්භ කළ බව සැබෑවක් වුවත් එම ව්‍යාපෘතීන්  “නිට්ටාවටම” නිමාවට පත් වූයේ 2015 ජනවාරියත් සමග බව පිළිගැනීම වඩාත් නිවැරදිය.
 
ඒ බව සටහන් වන්නේ ප‍්‍රධාන පක්ෂ දෙකේ නායකයින් එහාට මෙහාට පැන ජනාධිපති ජන්දයට ඉදිරිපත්වීම මගින් පමණක් නොවේ. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික  හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය  යනාදි සියලු “අනුපානයන්” එකට එක් කොට  “පත අට එකට සිදුවා” එක් ජනාධිපතිවරයෙක් තැනීම තේරුම් ගත යුත්තේ වෙන වෙනම අත්හදා බලා අසාර්ථක වූ මේ ව්‍යාපෘතීන් තුන  නැවතත් එකට එක්වී සිදු කළ අත්හදා බැලීමක් ලෙසින්ය.
 
සරළව ගත හොත් 2015 සිදු වූයේ ඉහත සදහන් කළ ව්‍යාපෘතීන් තුන එකක් බවට පත්කර බැලීමය. ඒ උත්සාහය අන්තිම අසාර්ථක උත්සාහයක් බවට පත් වෙමින් තිබෙන බව දැන් නොපිළිගන්නා කෙනෙක් නොමැති තරම්ය.
 
මේ නිසා මේ මොහොත වන විට  අප රටක් ලෙස   මුහුණ දෙමින් සිටින්නේ අලුත්ම තත්වයකට යැයි මම කියා සිටින්නේ ඒ අර්ථයෙන්ය. මේ කාරණය ශාස්ත‍්‍රීය භාෂාවෙන් කිව හොත් කිව හැක්කේ අප මුහුණදෙමින් සිටින්නේ ශ්‍රී  ලංකාවේ දේශපාලනයේ පශ්චාත් එජාප පශ්චාත් වාමාංෂික සහ  පශ්චාත් ශ‍්‍රීලනීප තත්වයකට බවය.
 
ශ්‍රී ලාංකේය දේශපාලනයේ “සිව් වෙනි” යාමය
 
මේ රටේ ඊළග වටයේ දේශපාලනය කියන්නේ මේ අලුත් තත්ත්වය තේරුම් ගන්නා සහ ඒ තත්ත්වයට නායකත්වය දිය හැකි අලුත් දේශපාලනයක ආරම්භය සටහන් කරන කාලය බව කිව යුතුය.
 
ඒ අනුව  මේ සදහා සාම්ප‍්‍රදායික සිංහල ග‍්‍රාමීය මැද පන්තියේ  සහ  පීඩිත පන්තියේ සමාජ කණ්ඩායම් එක පැත්තකිනුත්, රටේ උගත් තරුණ සමාජය තව පැත්තකිනුත්, ගොඩ මතු කරමින් ඉන්නේ මේ අලුත් තත්ත්වයට ගැළපෙන දේශපාලනයක් ගොඩ නැගීමේ උත්සාහය ලෙසින් බව  තේරුම් ගැනීමේ වැරුද්දක් නොමැත.
 
විශේෂයෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට  ජන්දය පාවිච්චි කළ සිංහල ග‍්‍රාමීය සමාජය සහ නාගරික උගත් සමාජය පෙන්නුම් කරන්නේ මේ නව තත්ත්වය ඉදිරියට රැගෙන යාමේ  මේ උත්සාහය බවට තර්ක කිරීමේ  වැරුද්දක් නොමැත. තවත් පැත්තකින් මේ දේශපාලන අවකාශය මගින් ශ්‍රී  ලාංකේය සමාජයේ මෙතෙක් තිබූ දේශපාලන සහ  ආර්ථික ස්ථාවරයන්ගේ මීළග ඉසව්වට රැගෙන යාමේ ඉඩක් ගොඩ නැගෙන බව මගේ තේරුම් ගැනීමය.
 
1948-1970 දක්වා කාර්තුව මේ රටේ දේශාලනයේ පළමු යාමය ලෙසින් නම් කළ හැකි අතර ඒ කාලයේ දේශපාලනය සම්පූර්ණයෙන්ම පදනම් වූයේ කුමාරි ජයවර්ධනගේ වචනයකින් කිව හොත් “නිකමුන් සමහරුන් වීමේ” (No bodies to Some body) දේශපාලන ක්‍රමවේදය මතය.
1970-1977 දක්වා වූ  කාලය මේ රටේ දේශපාලනයේ දෙවන යාමය ලෙස  මම  නම් කරන අතර එම කාලය   මධ්‍යගත සමාජවාදයේ දේශපාලනය අත්හදා බැලීමේ කටුක උත්සාහයක් ලෙසින් තේරුම් ගැනීමේ වැරුද්දක් නොමැත.
 
1977 සිට 2015 දක්වා වූ  කාලය මේ ගමන් මගේ තුන්වන යාමය ලෙසින් පිළිගැනීම නිවැරිදිය. ජේ ආර්  ජයවර්ධන මහතාගේ ආර්ථික ව්‍යාපෘතියෙන් සහ  දේශපාලනමය (1978 ව්‍යවස්ථාවට ගැට ගැසුණු) ව්‍යාපෘතියෙන් මිදෙන්නට නොහැකි වූ කාර්තුව ලෙසින් මේ කාලය තේරුම් ගැනීම වඩාත් නිවැරිදිය. සී ඒ චන්ද්‍රපේමගේ වචනයකින් කිව හොත්  අප මේ  ගෙවා දමන්නේ ඒ “කොළපාට සමාජයේ” අවසාන කාර්තුවය.
 
මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ අපේ  රටේ දේශපාලනයේ සිව් වන යාමයට විවිධ බලවේග සූදනම් වෙන සටන් කලාපයකට අප අවතීර්ණ වෙමින් සිටින බවය. ඒ පිළිබද මගේ නිරික්ෂණයන් ඊළග සතියේ සටහනින් ලියන්නට බලාපොරාත්තු වෙමි.
 
Top