1150 x 80 px
ඔබත් මව්වරුන්ගේ දිනයට මල් දෙන කෙනෙක්ද? එසේ නම් මේ ලිපිය කියවන්න.

ලෝක මව්වරුන්ගේ දිනයේ නිර්මාතෘවරිය, මව්වරුන්ගේ දිනය වාණිජකරණය වීම ගැන විශාල පසුතැවිල්ලකින් පසුවුණා.

එයට විරුද්ධව ඇය සටන් වැදුණා. ඇය පසුව කීවේ එම දිනය සැමරීම ආරම්භ කිරීම ගැන තමන් සදාකාලිකව දුක්වන බවයි.

අවුරුද්ද පුරාම අම්මාව අමතක කර දමා තිබෙන දරුවන්ට අවුරුද්දකට එක දවසක් හෝ, ලේ කිරි කර පොවමින් තමන්ව ඇති දැඩි කළ අම්මාව සිහිපත් වීම නරක දෙයක් නොවෙයි. නමුත් ඒ සමගම අනෙක් අතට පැන නගින ප්‍රශ්නය, අම්මාව එසේ සිහිපත් කළ යුත්තේ වසරේ එක් දිනයකදී පමණක්ද යන්නයි. එසේම, තවත් එක සුවිශේෂී දිනයක් වශයෙන් වෙළෙන්දන් විසින් මේ දිනය ‘මාකට් කිරීම‘ නිසා එය තවත් වෙළඳ භාණ්ඩයක් බවට පමණක් පත්වීම, මව්වරුන්ගේ දිනයේ නිර්මාතෘවරිය වන ඇනා ජාවිස් ( Anna Jarvis) මහත් කණස්සල්ලට පත්කළා. ඇය ජීවත් වුණු 20 වන සියවසේදී ම ඇය මෙහි අනිටු විපාක අත්දුටුවා. ජීවිතයේ ඉතිරි කාලය පුරාම ලෝක මව්වරුන්ගේ දිනය, එසේත් නැතිනම් ‘හැපි මදර්ස් ඩේ‘ ඇති කිරීමට මුල් වීම ගැන ඇය පසුතැවිලි වුණා. මේ ඇගේ කතාවයි.

ඇනා ජාවිස් ලෝක මව්වරුන්ගේ දිනය ඇතිකිරීමට පුරෝගාමී වුණේ මෙහෙමයි.

ඇනා ජාවිස්ගේ මව, ඈන් මරියා රීව්ස් ජාවිස් ඇමරිකාවේ සිවිල් යුද්ධය පැවති කාලයේ ඒ වෙනුවෙන් මහත් කැපවීමක් කළ මවක්. ඇගේ පුතුන් දෙදෙනෙක්ම සිවිල් යුද්ධය වෙනුවෙන් දිවි පුදා තිබුණා. දිනක් ඇය තමන් විසින් පවත්වාගෙන ගිය ඉරිදා දහම් පාසල වරුවකට වසා දමා “මව්වරුන් විසින් මනුෂ්‍යත්වය වෙනුවෙන් කළ සැසඳිය නොහැකි මෙහෙය” වෙනුවෙන් විශේෂ යාඥාවක් සිදු කළා. ඒ සිදුවීම, එවකට 12 හැවිරිදි දැරියක වූ ඇනා ජාවිස්ගේ සිතට මහත් බලපෑමක් කළ දෙයක් වුණා.

පසුකලෙක, 1907 වසරේ ඈන් මිය යාමෙන් වසර දෙකකට පසුව ඇගේ දියණිය ඇනා ජාවිස් හට අවශ්‍ය වුණේ ඇගේ මව සහ රට වෙනුවෙන් දිවි පිදූ පුතුන් තැනූ ඇගේ මව වැනි තවත් මව්වරුන් රට ජාතියට කළ මෙහෙය වෙනුවෙන් ජාතික නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරවා ගන්නටයි. ඇගේ උත්සාහය සාර්ථක වුණා. මව්වරුන්ගේ දිනය, ඒ කියන්නේ මැයි 13 වැනිදා 1914 වසරේ පටන් ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික නිවාඩු දිනයක් බවට පත්කෙරුණා. ඇනා ජාවිස් සියලුම ජනපදවල ආණ්ඩුකාරවරුන්ට ලිපියක් මගින් විශේෂ ඉල්ලීමක් කළා. “අඩුම ගණනේ එදාටවත් තමන්ගේ අම්මා බලන්න යන්න. අඩුම ගණනේ ඇයට ලිපියක්වත් යවන්න”.

ඇනා ජාවිස්ගේ ඉල්ලීම නිල නොවන මට්ටමෙන් ඇමරිකාව පුරා ලැව් ගින්නක් සේ පැතිරී ගිය බව සඳහන් වෙනවා. ආබාධ සහිත මව්වරුන් රැකබලාගත් සංවිධාන සුදු කානේෂන් මල් සමග තැපැල්පත් මුද්‍රණය කර විශාල මුදලක් උපයා ගත්තා.

ඇනා ජාවිස් පුද්ගලිකව මව්වරුන්ගේ දිනය සමරන්නට සැලසුම් කළේ සුදු කානේෂන් මලක් පැළඳ, පල්ලියේ දේව මෙහෙයට ගොස් එදා මුළු දවසම මව්වරුන් සමග පල්ලියේ කල්ගත කරන්නටයි. ඇයට කිසිම ආකාරයකින් මේ නිවාඩු දිනය වාණිජකරණය වනවා දකින්නට අවශ්‍ය වුණේ නැහැ. නමුත් ඇගේ ඇස් පනාපිටම එය සිදුවුණා. 1925 වසර වන විට මව්වරුන්ගේ දිනයට පෙර දිනයේ කානේෂන් මල් වෙළෙන්දන් පල්ලි අසල ගැවසෙන්නට පටන් ගත්තා. එම වෙළෙන්දන් පැවසුවේ ඒ මුදල්, මව්වරුන්ගේ සුබසාධනය සඳහා වන අරමුදලකට බැර කරන බවයි. ඇය ඔවුන් සමග පෙරළි කළා. අවසානයේ පොලිස් අත්අඩංගුවට ද පත්වුණා.

එයින් වසර 15කට පසු, එනම් 1940 වසරේදී ඇනා ජාවිස්, මව්වරුන්ගේ දිනයේ අන්තර්ජාතික සමුළුව ( International Mother's Day Association) ආරම්භ කළා. එහි එක් මූලික පරමාර්ථයක් වුණේ මල් වෙළඳාමට තිත තැබීමයි. ඒ වෙනුවට ඔවුන් පැවසුවේ, අම්මා තමන් ළඟම සිටිනා බව දැනෙන්නට අඩුම ගණනේ පරවෙන මලක් නොව ඇඳුමේ සෙලියුලොයිඩ් බොත්තමක් පළඳින්න කියායි. ඒ වසරේ මව්වරුන්ගේ දිනය ඉලක්ක කරගෙන සිදුකළ මල් වෙළඳාම 11.45%කින් පහත වැටුණු බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

ඇනා ජාවිස් තමන්ගේ ජීවිතයේ අවසාන දශකය සහමුලින්ම පාහේ වෙන් කළේ මව්වරුන්ගේ දිනය වාණිජකරණය වීම වළක්වාගන්නටයි. ඇතැම් වෙළෙන්දන්, තමන්ගේ ඡායාරූපය පවා මව්වරුන්ගේ දිනය වෙනුවෙන් විශේෂයෙන් මුද්‍රණය කර එය ව්‍යාපාරයක් බවට පත්කරගෙන සිටි ආකාරය දුටු විට ඇය කෝපයට පත් වුණා. ඇමරිකානු තැපැල් දෙපාර්තමේන්තුව මව්වරුන්ගේ දිනය වෙනුවෙන් තැපැල් මුද්දරයක් නිකුත් කළ විටත් ඇය එයට එරෙහිව නඩු මගට බැස්සා. මව්වරුන්ගේ දිනය වාණිජකරණය කරන අයට එරෙහිව ඇය නඩු 33 ක් දැමුවා. අද වන විටත් ඇමරිකානුවන් ඩොලර් බිලියන 23.1 ක් මව්වරුන්ගේ දිනය දා තෑගි බෝග ගැනීම සඳහා වැය කරනවා.

ඇනා ජාවිස් මේ අරගලය නිසාම අවසානයේ මිය ගියේ වැඩිහිටි නිවාසයක. ඇයට දරුවන් සිටියේ නැහැ. කිසිදාක මව් පදවිය නොලැබුවත් මේ කාන්තාව, මේ ලෝකයේ අම්මාවරුන් වෙනුවෙන් හරවත් යමක් කළ යුතු බවට තමන්ගේ සටන අවසන් මොහොත වන තෙක් අත්හැරියේ නැහැ. මව්වරුන්ගේ දිනය වාණිජකරණය වීමට එරෙහිව තමන්ගේ මුළු සේසතම වියදම් කර සටන් කළ ඇය, මිය යන විට අන්ත දුගී කාන්තාවක්. ඒ නිසා මව්වරුන්ගේ දිනය දාට පමණක් තමන්ගේ මව ගැන ගුණ ගයන දූ පුතුන්, ‘අම්මා’ යන්න තවත් වාණිජ සංකේතයක් බවට පත්කළ ලොවක ඒ ව්‍යාපාරයට දායක වූ දූ පුතුන් මේ ඉතිහාස කතාව සමග ඇනා ජාවිස්ගේ මුල් පරමාර්ථය අමතක නොකළ යුතුයි. “අඩුම ගණනේ එදාටවත් තමන්ගේ අම්මාගේ සුවදුක් විමසන්න.. ඈ ළඟින් ඉන්න..”

- අමාලි ජයවීර 

http://outboundtoday.com/

Top