1150 x 80 px
විත අස පත 09 - කවිය - කවියා සහ කවි !

වරක් තරුණ කවියෙක් මංජුල වෙඩිවර්ධන කවියාගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා.

"ඔබට අනුව කවිය කියන්නේ මොකක්ද?"

මංජුලගෙ පිළිතුර;

"මොකක් වුණත් කමක් නෑ, එතැන කවිය තියෙන්න ඕනෙ."

තමාගේ ඒ පිළිතුරෙන් තරුණ කවියා වික්ෂිප්ත වුණ බව මංජුල පසු කලෙක ලියූ ලියැවිල්ලක සඳහන් කරනවා. කොහොම වුණත් කවිය පිළිබඳ ඔහුගේ ඒ කියැවීම බොහොම පැහැදිලි සහ නිවැරදි එකක්. කවිය කියන්නෙ වෙන මොන මළ මඟුලක්වත් නෙවෙයි, කවිය ම තමයි!

'කවිය යනු හොඳ ම වචන හොඳ ම පිළිවෙළට යෙදීමයි' කියන කොල්රිජ්ගේ සුප්‍රසිද්ධ නිර්වචනයේ ඉඳන් - සහ ඊටත් කලින් ඉඳන් - කවිය ගැන මෙපමණ කාලයකට ඉදිරිපත් වෙලා තියෙන කියැවීම් අනන්තයි, අප්‍රමාණයි. ඉස්සරහට බොහෝ දුරට ඒ ලැයිස්තුව තවත් දිගු වේවි! කවිය ගැන එහෙම කප්පරක් නිර්වචන - කියැවීම් - ආකෘති තිබුණත් වැදගත් ම දේ තමයි කවියේ 'රහ' කියන එක. කවියක් කියවද්දී එය කියවන්නා තුළ 'රහක්' ඇති වෙන්නෙ නැත්නම් වෙන මොන කතන්දර කිව්වත්, ලිව්වත් වැඩක් නැහැ.

කවිය පිළිබඳ මම කියවපු ඉතා ම අපූරු සහ සුන්දර ම නිර්වචනය තිබුණෙ කපිල කුමාර කාලිංගගේ 'පියැසි කවුළුව' නවකතාවෙ. නවකතාවක් ඇතුළෙ තියෙන කවිය ගැන නිර්වචනය මොකක්ද කියල ඔබට කුතුහලයක් ඇති වුණා නම් මම කැමතියි මගේ මතකයේ හැටියට ඒ කතාව ඔබේ දැනගැනීම පිණිස මෙතැන ලියන්න.

නවකතාවෙ ප්‍රධාන චරිතය වින්ටර්! සිද්ධිය වින්ටර් පාසල් යන කාලෙ ඔහු මුහුණ දීපු අත්දැකීමක්. දවසක් පන්තියේ ඉංග්‍රීසි සාහිත්‍යය ගුරුවරයා ළමයින්ට පැවරුමක් ලබා දෙනවා. පැවරුම තමයි කවි පන්ති කීපයක් කට පාඩම් කරන් එන එක. නමුත් පහුවෙනිදා කවි කට පාඩම් ගන්න කොට වින්ටර් ඇතුලු ළමයි කීපදෙනෙකුට ම එක කවියක්වත් පාඩම් නැහැ. කෝපයට පත් වෙන ගුරුවරයා ඔවුන් සියලුදෙනා ම පන්තියෙන් එළියට දාල පාසල් පිට්ටනියෙ දණගස්වනවා. ළමයි ටික පෝළිමට අව්වේ දණ ගහගෙන ඉද්දී කොහේදෝ ඉඳල මහලු, බොහොම ප්‍රතාපවත් පුද්ගලයෙක් එතැනට කඩාපාත් වෙනවා. ඔහු ඇවිත් ළමයින්ගෙන් අහන්නෙ ඇයි ඔවුන් එහෙම දණ ගහගෙන ඉන්නෙ කියල. ගුරුවරයා තමන්ට කවි කට පාඩම් කරන් එන්න පැවරූ බවත්, තමන්ට එය කළ නොහැකි වුණ නිසා මෙවැනි දඬුවමක් ලැබුණ බවත් ළමයි ඔහුට පැහැදිලි කරනවා. ඒ කතාව අහපු අර ප්‍රතාපවත් පුද්ගලයා කට කොණකින් හිනා වෙලා කියන්නෙ මෙන්න මෙහෙම කතාවක්.

"කවි මතක හිටින්නෙ නැත්නම් ඒක ඔය ළමයින් ගේ වැරැද්දක් නෙවෙයි. කවියො දැනගන්න ඕනෙ මතක හිටින විදියට කවි ලියන්න!"

ඔන්න ඕක තමයි මම මෙතෙක් කවිය ගැන අහපු සොඳුරුතම නිර්වචනය. අන්න ඒක නිසා මම කැමතියි මගේ හිතේ තැම්පත් වන ආකාරයට කවි ලියපු ඒ වගේ කවියො කීපදෙනෙක් සහ ඔවුන් ලියූ කවි කීපයක් අද 'විත අස පත' හරහා ඔබත් සමඟ බෙදාගන්න.

මහගම සේකර කියන්නෙ අන්න ඒ වගේ මතක හිටින කවි ලියපු මනුස්සයෙක්. ඒක ගැන කිසිම තර්කයක් හෝ වාදයක් නැහැ. ඔහු ලියපු අප්‍රමාණ කවි ගොන්න අතරින් මගේ හදවතේ ගැඹුරින්ම තැම්පත් වෙලා තියෙන කවි දෙකක් තියෙනවා. එකක් 'ප්‍රබුද්ධ' ආඛ්‍යාන කාව්‍යයේ එන මෙන්න මේ කවිය.

"රාගයෙන් කතක දෙස
බලන කවරෙක් වුව ද
එවෙලේම ඈ සමඟ
සිතින් රමණය කරයි"

මං හිතන්නෙ මේක බයිබලයේ එන ප්‍රකාශයක් ආශ්‍රයෙන් සේකර ලියපු කවියක්. අනෙක් කවිය 'මක්නිසාද යත්' කෘතියේ එන එකක්. ඒක මෙන්න මෙහෙමයි.

"විෂමව කැරකෙන
ලෝකය දෙස
ඔබත් මමත්
ඈතට වී බලා සිටිමු"

මේ කවි කොටස් දෙක ම පළමු වර කියවීමේදී ම හදවත පතුලට ම කිඳා බැස්සා. තාමත් කට පාඩම්. පරාක්‍රම කොඩිතුවක්කුගේ 'දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්' කවියත් මාව සෑහෙන්න බරපතල කම්පනයකට ඇදල දාපු, මතක හිටින කවියක්. ඔහු මෙන්න මෙහෙම ලියනවා.

"ඔබ යන්නෙ මධුරධර ස්වප්ත ස්වරයත් අරන්
ඔබේ රථ මැදිරියට මගේ ඉර හඳ අරන්
ඔබ යන්නෙ මහද තෙත් වැහි වළාකුල අරන්
කමක් නෑ ඔබ යන්න මගේ ආයුස අරන්...

දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්
ඔබ නැතත් මම එතැන පාට හත ගණින්නම්
ඔබ යන්න හැරී නොබලා ඔබේ කිරුළ ගෙන
පරාජිත කඳුළකට ඇසේ ඉඩ තියා නැත..."

ඒක ජීවිතේ එක්තරා කාලයක පපුවට සෑහෙන්න තරම් වද දීපු කවියක්. දැන් වුණත් වේදනාවෙ කිසිම අඩුවක් නැහැ. ඒ විදියට ම දැනෙනවා. රත්න ශ්‍රී විජේසිංහගේ 'වස්සානේ' කියල කියන්නෙත් හරි අපූරු චමත්කාරයක් අපේ හිත තුළ ජනිත කරවපු කවි පන්තියක්. ඒක අපි ඉගෙන ගන්න කාලෙ වගේ ම දැනුත් සිංහල සාහිත්‍යය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කවියක්. නමුත් ආයාසයෙන් කට පාඩම් කරගෙන මතක තියාගන්න ඕනෙ කවි නෙවෙයි. වතාවක් මං දැක්කා කවුරු හරි විචාරකයෙක් පුවත්පතකට කියල තිබුණ 'වස්සානේ' අර්ථය නොනැසෙන විදියට හරියටම ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න පුළුවන් නම් ඒක ලෝක සාහිත්‍යයෙත් සුවිශේෂී තැනක් හිමි කර ගනීවි කියල. ඇත්ත කතාව! ඒක ඒ තරම් ම 'රහ' කවියක්.

"ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර නුඹ වාගේම හිනැහේය මා එක්ක..."

කවිය අවසන් වෙන්නෙ 'දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය - කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස' කියල. පස්සෙ කලෙක ඒක මිනිස්සු අතරෙ ඉතා ම ජනප්‍රිය පාඨයක් බවට පත් වුණා. බොහොම ගැඹුරු ජීවන දර්ශනයක් රත්න ශ්‍රී අපේ හිත් පිරිමදිමින් කියන ආකාරය හරි ම අපූරුයි.

මෑත කාලයේ මාව අතිශයින් කම්පනයට පත් කරපු කවියා තමයි අද අපේ කතාවට ප්‍රවේශය අරන් දීපු මංජුල වෙඩිවර්ධන. හැමෝම කියනවා වගේ ඔහු කරන්නෙ කවිවලින් වෙඩි තියන එක. ඒ වචන මූනිස්සම් පපුව පසාරු කරගෙන යන්නෙ සියුම් වේදනාත්මක හිරිවැට්ටීමක් එක්ක. ගැලවෙන්න සෑහෙන්න අමාරුයි.

"සන්ධ්‍යාව සීතලෙන් අන්ධයි
සංසාරෙ සළු ලිහා අන්දයි
නන්නාඳුනන දුරක ඉර තැබූ පය ලකුණු
සන්තානයට අඳුර කැන්දයි...

පැන්සයක්වත් නොදුටු බඩ වතකි
යන්සයක් සේ ම අකුරින් අඩකි
අම්බරය පලා ගෙන ඉහළ නැගි
ලිංගයක දෙපා මුල
කොම්බුවක් විලස ගුලි වී හිඳිමි...

තුංග වූ කුළුණක් ය වංකගිරි නුවර මැද
ඉන් කෙලෙස කුලුණු ගුණයක් දකිමි..."

මේ විදියට දිගට ම ලියාගෙන යන්න පුළුවන් කවියෝ සහ කවි ඕනෙ තරම්. විශේෂයෙන් ම වර්තමාන පරපුරේ රුවන් බන්දුජීව, ටිම්රාන් කීර්ති ආදී කවියො සහ ඔවුන් ලියූ කවි පිළිබඳ වෙනම ම වටයකින් සාකච්ඡා වෙන්න ඕනේ. මං හිතන්නෙ අපිට බය වෙන්න දෙයක් නැහැ. අතීතය දිහා බලල, වර්තමානයේ අඩිය තියාගෙන කවියෙ අනාගතය ගැන සුබවාදී බලාපොරොත්තු දල්වගන්න අපිට පුළුවන්. ඒ අනාගතය තුළ අපිට සේකර, පරාක්‍රම, රත්න ශ්‍රී, මංජුල වගේ තවත් බොහෝ දෙනෙක් ගැන ලියන්න, කතා කරන්න පුළුවන් වේවි! අන්න එහෙම දවසක, වින්ටර්ට වුණා වගේ කිසිම ළමයෙකුට කවි කට පාඩම් නැතුව දණ ගහගෙන ඉන්න උවමනා වෙන එකක් නැහැ.

- කසුන් සමරතුංග

පෙර තීරු ලිපි

විත අස පත 01 - ආරම්භක කොලම

විත අස පත 02 - චූල සිරුරක මහා හදවත!

විත අස පත 03 - සිදුවිය නොහැක්කක් නැත !

විත අස පත 04 - සනාතන හන්දියේ සදාතන වේදනා !

විත අස පත 05 - ගොඩ ම බදා නොගත් දොඩන් !

විත අස පත 06 - පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව !

විත අස පත 07 - ඔබේ ආගම කුමක්ද?

විත අස පත 08 - චයිනමන් නම් වූ වමත් ක්‍රිකට් ප්‍රවාදය !

 

Top