1150 x 80 px
අතීතයෙන් වර්තමානයට ආ අන්දරේ
ගිය පෝයට පායපු හඳ බැලුවද? වැහි මංදාරන් ගතිය හිංදා හරියටෝම බලන්ඩ බැරි උනත් මට නං හිතුනේ ජනවාරි මුල පායපු හඳ මීට වඩා ලොකුවට තිබ්බා කියලයි. පෝය දාට හරි, ඊට පස්සේ දවසේ හරි හඳ පායන දිහා බලන හුඟක් දවස් වලට මට මතක් වෙන සුන්දර සිදුවීමක් තියනවා. ඒ තමයි මම දැකල තියන ලස්සනම හඳ.
එදා බොහොම පැහදිලි අහසක් තිබ්බ මාර්තු මාසේ දවසක් කියලයි මතක. හන්තානට ඉහලින් ලස්සනට හඳ පායලා. සීතල සුළං රැල්ලක් ගතේ දැවටෙද්දී මම හිටියේ එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීටයේ එහෙම නැත්තං කවුරුත් කියන විදිහට වලේ. මං විතරක් නෙවෙයි එදා පේරාදෙණියේ දාස් ගානක් එතන හිටියා. හැබැයි මීක් සද්දයක් නෑ. පේරාදෙණියෙන් බිහිවෙච්ච මහා කළා කරුවෙක් තමුන්ගේ නාට්‍යයක් පෙන්නන්ඩ වලට ඇවිත්! ජයලත් මනෝරත්න මහත්තයා ගේ 'අන්දරේලා' නාට්‍යය එදා තමයි මම මුලිම්ම බැලුවේ. හඳ පානේ බලාපු මේ අම රස වෑහෙන නාට්‍යය ඊට පස්සෙත් මම හතර පාරක්ම බැලුවා. කැමතිද මම 'අන්දරේලා' දැක්ක විදිහ ගැන කියවන්ඩ?
 
රජ්ජුරුවෝ හිනස්සන්න විහිළුකාරයෝ
බිසව් තොමෝ සනස්සන්න විහිළුකාරයෝ
පඩි නඩි නෑ කාල බීල හිටියත් මදිද
රජ්ජුරුවෝ හිනස්සලා මැරුණත් මොකද
 
රජවරු කිව්වම කොච්චර රාජකාරි ද
විහිලු තහලුවක් හිතන්ඩ වෙලාව කොහෙ ද
රජා හිනාගස්සන එක ලේසි වැඩක් ද   
අන්දරේව ඕන උනේ ඒ නිසාව ද
 
ඇත්තටම ඇයි අන්දරේලා ඕන උනේ? ලංකාවේ විතරක් නෙවෙයි අනික් රටවල් වලත් රාජ සභාවට විහිලු සපයපු කට්ටිය හිටියා. හැබැයි ඔය විහිලු සපයනවා කියන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. බලන්ඩකෝ ජෝ අබේවික්‍රම මහත්තය, චාලි චැප්ලින්, රෝවන් ඇට්කින්සන් වගේ අයගේ හැකියාව!! එහෙම හැකියාවක් තියන කට්ටිය ගැන හිත හිතා මම ටික වෙලාවක් හඳ දිහා බලා ගෙන හිටියා.
 
මෙන්න එක පාරටම මට තද සීතලක් දැනුනා. බැලින්නං මම ඉන්නේ හිමාලේ. හඳ පායපු රාත්‍රියේ එක එක ඉර්ෂි වරු අනෝතත්ත විලට වඩිනවා. එක මහලු ඉර්ශි වරයෙක් විතරක් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. 
 
මම ගිහිං එතුම ගෙන් ඇහුවා "මොනවා හරි උදව්වක් ඕනද?" කියල
 
"දරුව...මා වැනි මහලු තවුසෙකුට උපකාර කිරීමට ඉදිරිපත් වූ ඔබ කෙරෙහි මගේ සිත පිනා ගියේය! ඔබ කැමති තැනකට ගොස් කැමති දෙයක් බැලීමට වරයක් දෙමි!"
 
"අනේ තාපස තුමා මං ආසයි අපේ රටේ ඉතිහාසේ වෙච්ච දේවල් බලා ගන්ඩ"
 
"තොපගේ රටේ ඉතිහාසය මහා දිග එකකි. ඒක බලන්ඩ ගියොත් අපි දෙදෙනාම මැරෙන තුරු එය බලන්නට සිදුවනු ඇත"
 
"ඒකත් ඇත්ත"
 
"එහෙත් ඔබට මම වාරයක් දුන්නෙමි. තොපගේ පාලකයන් මෙන් කී දෙය වෙනස් කරනු මා වැන්නෙකුට නොහොබී. ඉතිහාසය ෆාස්ට් ෆෝවර්ඩ් බැලීමට කැමතිද? එයින් කාලයත් ශ්‍රමයත් ඉතිරි කර ගත හැකිය?"
 
"මොකක්? ඉතිහාසය ෆාස්ට් ෆොර්වර්ඩ් බලන්ඩ?"
 
"ඉතිහාසයද චිත්‍රපටියක් වැනිය. ඔබ කැමති තැනකින් බලා, කැමති තැනකින් අවසන් කල හැකිය. කොහෙන්ද පටන් ගන්නට කැමති?"
 
එය මාර ප්‍රශ්නයකි. බලන්ගොඩ මානවයා ගෙන් පටන් ගත්තොත් ෆාස්ට් ෆෝවර්ඩ් බැලුවත් පැය ගානක් වනු ඇත. මොන මගුල උනත් පැය දෙකකට දෙක හමාරකට වඩා බැලීමට මට නොහැකිය. වෙනත් වැදගත් තැනක්ද මට මතකයට නොපැමිණේ.
 
“කිමෙක්ද දරුව ඇඹරෙන්නේ...වහා පවසව!!”
 
අපිට 350ත් එක්ක මොකක්දෝ සම්බන්ධයක් තිබුණු බව මතකයට එයි. අපි පාන් ඉල්ලුවේ සත 350 කටය. පොහොර මිටිය ඉල්ලුවේ රුපියල් තුන්සිය පනහකටය. ඉතින් මම ඉතිහාසයට ගිය බව සහෝදර පුරවැසියන්ට කිවහොත් වැඩිම ඉඩක් ඇත්තේ 350 ගැන අහන්නට යැයි උපකල්පනය කොට "350!" කීමි.
 
“හොඳයි අපි  බුද්ධ වර්ෂ 350 ට යමු. එහෙ ඉන්ඩ පුලුවන් විනාඩියයි. මිනිහෙක් හම්බෙලා තොරතුරු අහගන්ඩ. ඊට පස්සේ අපි එතැන ඉඳලා අවුරුදු 50 අනාගතේට යනවා. එතනත් විනාඩියයි. ඊගාවට තව 50 ඉස්සරහට! මගේ පැන් කෙණ්ඩිය තදින් අල්ලගෙන ඉන්ඩ. ඒක අත ඇරුනොත් තොප ඒ කාලයේ නවතිනවා. නැවත වර්තමානයට ඒමට හැකියාවක් නෑ!”
 
“හොඳයි ස්වාමීනි!”
 
“එහෙනම් ඔන්න බුද්ධ වර්ෂ 350!”
 
අපි හිටියේ අනුරාධපුරේ නගර දොරටුවක් ගාව. එතනින් යන්ඩ ආපු මනුස්සයෙක් ගෙන් මම ඇහුවා මෙහෙම.
 
“ලොකු උන්නැහේ කව්ද දැන් රටේ රජ්ජුරුවෝ?”
 
මං දිහා පුදුමෙන් බලපු උන්දැ මෙහෙම කියපි. “ඇයි උඹ පිට දේසෙකින් ආවද? එළාර මහා රජ්ජුරුවොනේ දැන් රජ කරන්නේ!”
 
“කොහොමද රජ්ජුරුවෝ හොඳද?”
 
“රජ්ජුරුවෝ තමුන් ධාර්මිෂ්ට බව පෙන්නන්ඩ හුගක් දේවල් කරනවා!”
 
“කොහොමද ඇමතිවරු?”
 
“හැම ජාතියකම කට්ටිය ඉන්නවා. හුගක් අය හොඳයි. හැබැයි සමහරු නං අවලං වැඩ කරනවා?”
 
“රජ්ජුරුවෝ විහිලු තහළු වලට හෙම කැමතිද?”
 
“නැතුව! මිනිස්සු නං කියන්නේ රජ්ජුරුවන්ගේ බලේ හිංදා කාවන්තිස්ස රජ්ජුරුවෝ ඇතුළු මුලු විපක්ෂේම රජ්ජුරුවන්ට විහිලු සපයන තැනක් වෙලා කියලා”
 
“මිනිස්සු මොකද හිතන්නේ ඒ විහිලු ගැන?”
 
“මිනිස්සුන්ටත් විපක්ෂේ විහිලුවක් වෙලා. රජ්ජුරුවන්ට විරුද්ධ බලයක් පේන තෙක් මානෙක නැති හිංදා මිනිස්සුත් රජ්ජුරුවෝ එක්ක විපක්ෂේ විහිලු බලලා හිනා වෙනවා!”
 
මනුස්සයා මෙහෙම කියනවත් එක්කම....”විනාඩිය ඉවරයි! දැන් බුද්ධ වර්ෂ 400!” කියලා හඬක් ඇහුනා
 
අපි හිටියේ මහමෙව්නා උයනේ. තාමත් වැඩ ඉවර නැති රුවන්වැලිසෑයේ වැඩට යන මනුස්සයෙක් එක්ක මං කතාවට වැටුනා.
 
“ලොකු උන්නැහේ කව්ද දැන් රටේ රජ්ජුරුවෝ?”
 
“අපේ දුටුගැමුණු මහරජ්ජුරුවොනේ!!” මනුස්සයා පය ඉක්මන් කරන ගමන් කිව්වා.
 
“කොහොමද රජ්ජුරුවෝ හොඳද?”
 
“හොඳදත් අහනවා! යුද්දේ ඉවර කළා. රටේ ආර්ථිකේ දියුණු කළා. වෙහෙර විහාර හැදුවා. හදනවා...ඉතිං තව මොනවද?”
 
“කොහොමද ඇමතිවරු?”
 
“ඇමති වරුත් හුගක් දෙනා හොඳයි. ඒ අය රජ්ජුරුවෝ එක්ක හුගක් කල් හිටපු අය. සමහරු නං රජ්ජුරුවන්ට විහිලු සපයනවා විතරයි”
 
“ඇත්තට?”
 
“කාටවත් කියන්ඩ එපා. එක ඇමතියෙක් රජ්ජුරුවන්ගේ මිරිවැඩි සඟල තම්බලා කැඳ බොන්ඩ පුළුවන් කියලා මේ ලඟදි කිව්වලු!!”
 
“ඇත්තට?”
 
“කවුද ඉතිං හරියටම දන්නේ? මහා වාසලේ වෙන දේවල් අපි දන්නේ නෑනේ. එව්වා දන්නේ ඇමතිවරු. අනික අපිට ඔව්ව වැඩකුත් නෑ. මොකා කාට විහිලු කරගත්තම මොකද අපිට කාලා බීලා සතුටෙන් ඉන්ඩ තියනවනං”
 
“රජ්ජුරුවන්ගේ කිසි වැරැද්දක් නැද්ද?”
 
“ෂ්...සද්ද ඇහෙන්ඩ ඔය වගේ දේවල් කියන්ඩ එපා. මේ මං කිව්වා කියලා කාටවත් කියන්ඩ එපා හරිය.....කී දාහක් මැරුණද යුද්දෙන්! ඉතින් ඒ මිනිස්සුන්ගේ පවුල් වල උදවිය නං රජ්ජුරුවන්ට සාප කරනවා!”
 
“රජ්ජුරුවෝ විහිලු තහළු වලට හෙම කැමතිද?”
 
“ඒ හිංදා වෙන්ඩ ඇතිනේ ඇමතිවරු විහිලු කරන්නේ!!”
 
ඒත් එක්කම අර පරණ පුරුදු විධානය...”විනාඩිය ඉවරයි. දැන් බුද්ධ වර්ෂ 450!”
 
අපි ආයෙත් අනුරාධපුරේ දොරටුවක් ගාව. එතනින් යන ඇත් ගොව්වෙක් නවත්තපු මම මෙහෙම ඇහුවා.
 
“ඔබතුමා බෑරක් යනවද?”
 
“ඔව්..දන්නවනේ අපේ වළගම්බා රජ්ජුරුවන්ට විරුද්ධ තර්ජන හැම පැත්තෙම්ම. පාලනේ දුර්වල උනාම හතුරෝ වැඩි වැඩියෙන් එනවා. මම යනවා දෙමළ ආක්‍රමණිකයන් එක්ක යුද්දෙට යන්ඩ!!”
 
“ඔබතුමා තරහ නැතුව කියනවද රජ්ජුරුවෝ විහිලු වලට කැමතිද කියලා?”
 
“විහිලු!!! රටම ගිනි ගන්ඩ යන වෙලාවේ රජ්ජුරුවෝ තමුන්ගේ විරුද්ධ පාර්ශ්ව එක්කහු කරගෙන පොදු සතුරට මූණ දෙන්ඩ යනවා...තමුසේ මෙහෙ විහිලු ගැන කතා කරනවා!”
 
“ඒ කියන්නේ රජ්ජුරුවෝ විහිලු වලට කැමති නෑ?”
 
“රජ්ජුරුවන්ට විහිලු බලන්ඩ වෙලාවක් නෑ. රජ්ජුරුවෝ බලන්නේ බෙල්ල බේර ගන්ඩ!!”
විනාඩිය ඉවර වෙන්ඩ ඉස්සරලම ඇතා යන්ඩ ගියා. මම බුද්ධ වර්ෂ 500 ට යන්ඩ හිත හදා ගත්තා.
 
අපි ආයෙත් අනුරාධපුරේ දොරටුව ගාව. වෙලාව උදේ අටයි. පේන තෙක් මානේක මිනිහෙක් නෑ. ටික වෙලාවක් ඉඳලා බලමු ඉර්ෂි  තුමා කිව්වා. පැයක් දෙකක් හිටියා මෙලෝ යකෙක් නෑ.
අඩු ගානේ මිනිස්සු රාජකාරි වලට වත් යන්නේ නැද්ද? ඉර්ෂි තුමාටත් පුදුමයි.පුදුමයක් නෙවෙයි මෙහෙම පරක්කු වෙන මිනිස්සු  ඉන්න රටක් අගාධෙට යනවා කියන එක.
එතකොටම අපි දැක්කා හොඳටම සූර් වෙලා පැද්දි පැද්දි එන ගෑණු කෙනෙක්!
 
“කොහෙද මේ යන්නේ?” මම ඇහුවා.
 
“වැඩට?”
 
“පරක්කු නැද්ද?”
 
“මහ රැජිනට පුලුවන්නං පරක්කු වෙන්ඩ අපිට බැරි මොකෝ?”
 
“කව්ද රැජින?”
 
“අනුලා! අහල නැද්ද?”
 
“ඔය කියන්නේ අර...?”
 
“ඔව්...ඔව් වෙන කවුද?”
 
“මේ ඇහුවට තරහ ගන්ඩ එපා. රැජින කැමති නැද්ද විහිලු වලට?”
 
මං දිහා ඔලොක්කුවට වගේ බලපු ගෑනු කෙනා. “මොකද නැත්....තේ...කැමතියි... කැමතියි... !” කියපි.
 
“ඈ ඒ මොකද එහෙම කියන්නේ?”
 
“චෝරනාග රජ්ජුරුවන්ට අපේ රැජින විහිලු කළා, වස බඳුනක් දීලා. පස්සේ කුඩාතිස්ස රජ්ජුරුවන්ගේ බිසව උනා. එයාටත් වස දුන්නා. ඊට පස්සේ සිව කියන දොරටුපාලයා රජ උනේ රැජිනට විහිලු කරපු හිංදා. ඒ විහිලු අල්ලන්නේ නැති උනාම රැජින එයාට වස දීලා වටුක රජකමට ගෙනාවා. එයාගේ විහිලු ඇති උනාම වස දීලා දාරුභාතික තිස්සත් එයාට වස දීලා නිලිය රජ්ජුරුවොත් එයාට වස දීලා තමුම්මත් රජ උනා!!!” කියලා ගස්සාගෙන යන්ඩ ගියා.
 
මට ඒ ගැන හිතන්ඩවත් නොදී ඉර්ෂි තුමා කිව්වා “අපි ඉක්මනට යමු නේද 550 ට!” කියලා.
 
මට දැන් මොකද්දෝ රටාවක් හිතේ මැවෙනවා. ධර්මිෂ්ට සමාජයක් පැතූ රජෙක් මුළු විපක්ෂේම විහිලුවට ගැනීම, රටට වැඩ කරපු රජෙකුට ඇමතියන් විහිලු සැපයීම, ඊ ගාවට ආපු රජාට විහිලු බලන්ඩ තරම් වත් වෙලාවක් නැති වීම, ඊගාවට ආපු රැජිනට එයාගේ පෙම්වත්තු විහිලු කිරීම හා ඒ මගින් රාජ්‍ය බලය ලබා ගැනීමට තැත් කිරීම හිංදා මුළු පාලනෙම අවුල් ජංජාලයක් වීම....මෙව්වා මම හොඳට අත් දැකපු එව්වා නේද කියලා හිතෙන්ඩ ගත්තා. පොඩි කාලෙදි ඉගෙන ගත්තු සමාන්තර ශ්‍රේණි පාඩම අනුව ඊළඟ රජ්ජුරුවෝ කියි වගේද කියලා මගේ අත්දැකීමෙන් කියන්ඩ පුළුවන්.
 
“ඉර්ෂි තුමනි!”
 
“මොකද?”
 
“මං දන්නවා ඊගාව රජ්ජුරුවෝ ගැන?”
 
“ඇත්තට?”
 
“ඔව්. මේ රජ්ජුරුවන්ට විහිලු කාරයෝ හිටියා. සාස්තර කියපු උන්, ත්‍රී වීල් පක්ෂ වල උං විතරක් නෙවෙයි සමහර සහෝදරයොයි පුත්තුයි පවා මේ රජ්ජුරුවන්ට විහිලු කළා...!”
 
“ඉතින් මොකද තමුසේ බයේ ගැහෙන්නේ?”
 
“උන් රජ්ජුරුවන්ට විහිලු කලාට මිනිස්සුන්ගෙයි ඇස් රතු උනේ!”
 
“ඇත්තට?”
 
““ඔ….. ඔව්. අපි දෙන්නගෙත් ඇස් රතු වෙන්ඩ කලින්  යං ඊ ගාව එකට. බුද්ධ වර්ෂ 600!!” මම ම කිව්වා!!
 
ඉර්ෂි තුමාත් මේ අපභ්‍රන්සෙන් දෙගිඩියාවට පත් වෙලා හිටපු හින්දා ඉලක්කේ ටිකක් වැරදුනා. අපි ගියේ 598 ට! යනකොටම බොහොම සරළ පුරවැසියෙක් අපිට හම්බ උනා.
 
“මේ උන්නැහේ කව්ද දැන් රජ්ජුරුවෝ?”
 
“අපේ රජතුමාට ජයවේවා! රජතුමා අපිට - අපි එතුමට!” එක පාරටම චූං වෙච්ච මනුස්සයා කිව්වා.
 
“ඉතිං කව්ද කියනවකො ඔය තරං හොඳ රජ්ජුරුවෝ?”
 
“අපේ යසලාලක තිස්ස!” 
 
“රජ්ජුරුවෝ එච්චර හොඳ ඇයි?”
 
“මේකනේ මල්ලි..මෙච්චර කාලයක් හිටපු රජවරුන්ට විහිලු කාරයෝ සපයන්ඩ අපි බදු ගෙව්වා. දැන් යසා ට එහෙම නෑනේ!”
 
“මොකද යසා කියන්නේ කියනවකො රජ්ජුරුවෝ කියල”
 
“හුහ්...මේ එනවකො රහසක් කියන්ඩ...!”
 
මමත් කන ලං කළා මේ චරිතෙ කියන දේ අහ ගන්ඩ.
 
“උන්දැ රජ උනා කිව්වට අපිට තාම ෂුවර් නෑ රජ්ජුරුවොද කියල!”
 
“එහෙනං උන්දැ කව්ද?”
 
“ඒක තමයි අපිත් නොදන්නේ!”
 
“ඇයි හොයන්නැත්තේ?”
 
“කොහෙ හොයන්ඩද ඕයි උන්දැ අපිට විහිලු සපයනවනේ හැම වෙලේම!!! අපිට හිනා වෙලා ඉවරයක් නෑ”
 
“එච්චරටම විහිලු කාරයෙක්ද?”
 
“නැතුව...නිකමට හිතා ගන්නවා එක අතකින් මඩු වල්ගේකුයි, අනික් අතින් කඩුවකුයි අරගෙන දොරටුපාල කං කරන රජෙක් ගැන!”
 
“හිහ්... හිහ්...!”
 
“ඒ මදිවට මරු කියවනවා වගේ කටට එන එන දේ කියවනවා”
 
“ඉතිං මිනිස්සු හිනාවෙන්නේ මොකටද?”
 
“හිහ්...හිහ්...අත් දෙකේම ආයුධනේ...ඉතින් එතුමට සරම ඇඳ ගන්ඩ වෙලාවක් නෑ!”
 
මගේ අතින් පැන් කෙණ්ඩිය අත ඇරුනා!!!.
 
"නිදා ගන්ඩකෝ කෑ ගහන්නේ නැතුව. පොඩි එවුනුත් බය වෙනවා!!" අපේ නෝන මහත්තයා කියනවා මට ඇහුනා. එතකොටත් හඳ එළිය කාමරේට වැටිලා තිබ්බා.
 
ඔටුනු පැළඳ සිටියත් සිහසුනේ මත
ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත
අදමිටු කුහක පාහරකම් නිමක් නැත
ඔබ වැනි අමනයෙක් සිරිලක සිටියෙ නැත
 
එහෙම කිව්වේ අන්දරේ! බොරු නං බලන්ඩ අන්දරේලා නාට්‍යයේ පිටපත.
 
හැබැයි නාට්‍යයේ මම කැමතිම කෑල්ල ඒක නෙවෙයි. සතුරන්ගෙන් බේරෙන්ඩ අන්දරේ එක්ක හඟුරන්කෙත මාලිගාවට පැනල ගිය රජතුමා සහ අන්දරේ අතර දෙබස.
 
රජතුමා -උඹ කවටයෙක් නෙවි අන්දරේ. උඹ මට රජෙක්.
 
අන්දරේ - ඔබ වහන්සේ රජෙක් නෙවි. නියම කවටයෙක්.
 
යාන්තං ආපහු නින්ද යාගෙන එනකොට මට මතක් උනා සෝමපාල ගුණධීර මහත්තයා ලියපු උමතුසන් වරුසාව නාට්ටිය.
 
උමතුසන් වරුසාව එනවා.
තෙමෙන අය ඒ මහා වැස්සට
සිහි විකල් වී පරළ වෙනවා.
පිස්සන් රජ උනත් එකයි
රජුන් පිස්සො උනත් එකයි
කාගේ ගෑනු කාට ගියත්
අපේ නමට ලැබෙයි ළමයි
 
මොකද්ද මේ උමතුසන් වරුසාව? ප්‍රාදේශීය සභා චන්දෙද නැත්තන් මුලු දේශපාලනේමද?
 
ආශ්‍රිත ග්‍රන්ථ
සිංහළේ මහාරාජවංශෙ- පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, දයාවංශ ජයකොඩි සහ සමාගම (2006)
අන්දරේලා වේදිකා නාට්‍යය - ජයලත් මනෝරත්න, ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ (2011)
 
Top