1150 x 80 px
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගේ හැසිරීම සාධාරණිකරණය කල හැකිද ?
ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය විසින් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධව සේවය කරන අමාත්‍ය උපදේශකවරයා (ආරක්ෂක) ආක්‍රමණශීලී අයුරකින් හැසිරුනේයැයි එම උපදේශකවරයාගේ වැඩ තහනම් කර ඇත. මෙම සිදුවීමේ වීඩියෝ දර්ශන පසුගිය කාලය පුරාම අන්තර්ජාලය පුරා සංසරණය විය.
පසුගිය නිදහස් දිනය දා (04) ලන්ඩන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී උද්ගෝෂණය කළ උද්ගෝෂකයන්ට සිය ඇඟිලි ඇසුරෙන් ගෙල සිඳ දැමීම සංඥා කිරීමේ සිදුවීම හේතුවෙන් ඇතිවූ මෙම සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා යුද හමුදාව කඩිනමනින් පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.
 - මාධ්‍ය නිවේදනයක්..
 
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහත්මයානනි.
බ්‍රිතාන්‍යයේ කොටි ළග දෙකට නැමෙන් නැතුව ගින්දර වගේ සිටි ඔබට මාගේ හදපිරි උත්තමාචාරය.
"අවර් නේෂන් තමිල් ඊළාම්"
"අවර් ලීඩර් ප්‍රභාකරන්" කියද්දී.
ඇගේ මාලු අපෙත් නටනව..එතන හිටපු සහ ඒ අවස්තාවට මූන දීපු ඔබේ තත්වය හොදින් තේරුම් ගත හැකියි.
 -facebook ප්‍රතිචාරයක්..
 
‘බෙල්ල කට්‘ පෙන්නූ කවුද මේ ප්‍රියංක ?
 ලන්ඩන් නුවරදී කොටි හිතවාදීන්ගේ අරියාදුවට පිළිතුරු ලෙස ‘බෙල්ල කට්‘ සංඥාව නිකුත් කළ බ්‍රිගේඩියර්වරයා පිළිබඳ මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහක් ඇතිව තිබේ.
ඔහු කවුරුන්ද මේ දක්වා සිදු කළේ මොනවාද යන්න ගැනද ඇතැමුන්ට කුකුසක් පැනනැගී ඇත.
 - ගොසිප් පුවතක්..
 
දෙමළ “බෙලි කපන” බ්‍රිගේඩියර් ගේ වැඩ තහනම්
 ශ්‍රී ලංකාවේ නිදහස් දින සමරුවට විරෝධය පෑ දෙමළ උද්ඝෝෂකයන්ට මරණීය තර්ජනය කළ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු භාර තානාපති නිලධාරියාගේ වැඩ තහනම් කොට තිබේ.
- 'වෙනස් විදියකට' ලියු තවත් වෙබ් පුවතක්
 
‘අපේ ජාතිය-දෙමල ඊළම.. අපේ නායක-ප්‍රභාකරන්’ කියා දොරකඩ විරෝධතා කල කොටි රැලට තනිව අභියෝග කල අභීත බ්‍රිගේඩියර්ගේ වැඩ තහනම් කෙරේ..
- ලංකා සී නිවුස්.. 
 
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටින ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශකවරයාගේ (Minister Counsellor-Defence) සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන මෙන් එහි සිටින මහ කොමසාරිස්වරියට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පවසයි.
 
විදේශ අමාත්‍යංශය මේ බව අද (පෙබරවාරි 06) මහ කොමසාරිස්වරියට දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළුව බලධාරීන් විසින් වහා පරීක්ෂණ අරඹනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වී තිබේ.
 
අදාළ නිලධාරියා ආක්‍රමණශීලී ආකාරයකින් හැසිරුනේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ සහ අන්තර්ජාල මාධ්‍යවල සංසරණය වෙමින් ඇති වීඩියෝ දර්ශන පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සිය දැඩි අවධානය යොමු කර ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.
 - BBC සිංහල නිව්ස්
 
හමුදාවෙන් වෙන මක්කා බලාපොරොත්තු වෙන්නෙයි....
- ජේෂ්ඨ/ ප්‍රවීණ බ්ලොග්කරු මාතලන්.
 
රායිට්.. ඔය උඩ තියෙන සේරම 'Brigadier Priyanka Fernando' නැත්නම් සිංහලෙන් 'බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු' කියල ගූගල් සර්ච් කරාම බලාගන්න පුළුවන්. තව විස්තර ඕනිනං ඔහු 2006-2009 වන්නි අවසන් මෙහෙයුම කාලේ 591 බලසේනාවට අයත් 11 වෙනි ගැමුණු හේවා රෙජිමේන්තු අණදෙන නිලධාරී ලෙස (ඒ කාලේ කර්නල්) මුලතිව් ප්‍රදේශය තුල සටන් බාරව කටයුතු කල නිලධාරියෙක්. ඒ වගේම යුද්ධය අතරතුර හා යුද්ධයෙන් පසු නිරායුධ දෙමළ ජනතාව මුදාගැනීමට හා ඔවුන්ව ආරක්ෂා කිරීමට නැවත පදිංචි කිරීමට සෑහෙන්න වැඩ කොටසක් කරලා තියෙනවා. තාවකාලික කඳවුරු වල සිටි ජනතාව හා විශේෂයෙන්ම පාසැල් ළමුන්ට ආධාර කිරීමට එකතුවුනු පරිබාහිර පුද්ගලයින් ඒ සඳහා සම්භන්ද කර දෙමින් දෙමල ජනතාව සමඟ සුහදව කටයුතු කල නිලධාරියෙක් නිසා ඔහු එම ප්‍රදේශවල දෙමල ජනතාව අතර යම් ප්‍රසාදයක් දිනාගෙනත් තියෙනවා.. රයිට්.. ඒ ගැන ඒ ඇති.
 
මගේ මේ ට්‍රයි එක ‘හමුදා නිලධාරියෙක්’ ලෙස ඔහු මේ උද්ගෝෂණය අවස්ථාවේ හැසිරුණු ආකාරය හා ඔහු ඒ වනවිට නොපෙනෙන්න ඇඳගෙන හිටිය හමුදා නිළ ඇඳුමට වඩා බොහෝ බර Diplomatic ඇඳුම අතර ගැටුම ගැන කතා කරන්නයි.
 
ඇත්තටම කියනවනම් මේක හමුදා නිලධාරීන් තුල තියෙන අභ්‍යන්තරික ගැටුමක්.. 
 
අද මේ මට්ටමේ නිළතල වල ඉන්න හමුදා නිලධාරීන් බොහොමයක් තමන්ගේ සේවා කාලය අවුරුදු විසි පහක් තිහක් සපුරපු අය.. ඒ කියන්නේ ඔවුන් 80 මැද බාගයේ ඉඳල අනුවේ මැද බාගය වගේ වෙනකම් කාලයේ හමුදාවට සම්භන්ද වෙලා සේවය කරන්නේ.. හමුදාවට නිළධාරීන් බඳවා ගන්න වයස අවුරුදු 18-22 ත් අතර.. තමන්ගේ පාසැල් අද්‍යාපනය හදාරපු ගමන් එක්කෝ උණට.. නැත්නම් රස්සාවක් ඕනි කමට.. උපරිම ඔය දෙකටම හමුදාව තෝරා ගත්තු පිරිසක්. 
 
වැදගත්ම දේ.. බඳවා ගත් දින සිටම ඔවුන්ව හැම අතින්ම පුහුණු කරන්නේ ‘සතුරාට’ මුහුණ දෙන්න. මේක හරිම vital පොයින්ට් එකක්.. සමහරවිට මාතලන් //හමුදාවෙන් වෙන මක්කා බලාපොරොත්තු වෙන්නෙයි// කියල බුකි ස්ටේටස් එක දාන්න ඇත්තේ මේ ගැන හිතල.. මිතුරෙකුට නැත්නම් මධ්‍යස්ථ පුද්ගලයෙකුට මුහුණ දෙන්න හමුදාවෙන් පුහුණු කරන්නේ නැද්ද? ඉස්සරහදි ඒ ගැන පොඩ්ඩක් කතා කරන්නං. රයිට් අගේන්.. ඉතිං හිරිමල් වයසෙන්ම හමුදාවට ජොයින් වෙලා තමන්ගේ භද්‍ර යෞවනය අවි ආයුද මිලිටරි සූට් බූට් එක්ක, යුද බිමේ ‘සතුරන්’ එක්ක, වෙඩි හඬ එක්ක ගත කරලා.. මිලිටරි සූට් එකෙන් කසාද බැඳලා, කඩු තුඩු යටින් පෝරුවෙන් බැහැල.. කඩුවෙන් කේක් කපල.. හමුදා නිළ නිවාස වල ජිවත් වෙලා.. හමුදා ස්කීම් එකෙන් ළමයින්ව ඉස්කෝල වලට දාල.. හමුදා වාහන වලින් ගමන් බිමන් ගිහිල්ල.. තව ගොඩක් ලියන්න පුළුවන්.. ඒත්.. ඔයාකාරයට හමුදා..හමුදා...හමුදා.. ජිවිතයට Condition කරපු නිලධාරීන් තමයි දැන් ඔය තැන්වල ඉන්නේ.. ඒ එකක්. 
 
ඊට පස්සේ යුද්ධය.. දෙවෙනි.. තුන් වෙනි.. සිව්වෙනි.. විදියට ඇවිත් ‘අවසන් සටනේත් හුස්මට සමවී’ නොමැරී හිටියා උනත් එකට ඉඳල ‘කුසුමක් වෙලා ළය පිපුණු’ සොයුරන්ගේ මතක හිත පාරවද්දීත් ‘රන් වැටක් ලෙස සිව්කොනේ’ ‘රෑ පුරා දැල්වුණු දේශයේ මුර දේවතා එළි’ වෙනුවෙන් ‘තුන්හෙලේ හැම අම්ම කෙනෙක්ගේම ළය කිරි එරුණු’.. ‘මව් කුසින් නොව මිහි කුසින් මෙළොව එලිය දුටු’ ‘තුන් හෙලේ මේ සිංහ පැටවූ’.. ‘අපෙන් එකෙක්..’ ‘අපි වෙනුවෙන් අපි’.. මට මතක් වෙනවා ඉස්සර හිටිය ප්‍රසන්න සංජිව තෙන්නකෝන් වගේ නමක් තියෙන ලේඛකයෙක් ලංකාදීපේ ද කොහෙද.. මිනිහා ලියන ආටිකල් කියෝනකොට ඇඟේ මයිල් කෙලින් වෙනවා.. ආයි මොනවද.. දේශානුරාගය ඕවර්ෆ්ලෝ වෙනවා.. (දැන් කොහෙද දන්නේ නෑ..කාලෙකින් දැක්කේ නෑ).. එතකොට අයි.ටී.එන්. එකේද කොහෙද හිටිය සුජිත් වගේ නමක් තියෙන ප්‍රසෙන්ටර් කෙනෙක්. හම්මේ බලන්න ඕනි අවසන් සටනේ විශේෂ අවස්ථා යුධ බිමේ ඉඳන් වාර්තා කරනකොට.. අර පුංචි කාලේ සිංහල පාඩම් පොතේ තිබ්බ ඇස් පේන්නේ නැති සියා කණවැල අල්ලන කොල්ලගේ යුද්දේ විස්තර අහල හැරමිටිය උරුක් කරන් යුද්දෙට යන්න හැදුව වගේ ආපේ ගෙවල් වල වයසක ගෑනු උන්දලා පවා යුද උන්මාදයෙන් මත් වෙනවා.. සෙල්ලං නෑ ‘රණවිරුවෙක්’ය කියන්නේ..
 
ඊළඟට එනවා.. කලින්ට වඩා ටිකක් සවිඥානිකව හිතන්න ඕනි වෙච්චි කාලයක්.. මොකද කොටසකට තාමත් හමුදාවේ උන් ‘රණවිරුවෝ’ම වෙද්දී තවත් කොටසකට උන්ම ‘ලයිසන් මිනීමරුවෝ’ වෙනවා. මේකට හේතු හමුදාව ඇතුලෙන්මත් නිර්මාණය වෙද්දී වඩා වැඩි හේතුන් නිර්මාණය වෙන්නේ දේශපාලනිකව.. මේ ඕනෙම හේතුවකින් එක රැයකින් රණවිරුවෙක්/ දේශප්‍රේමියෙක් විදියට හිටපු එකා ලයිසන් මිනි මරුවෙක් / දේශද්‍රෝහියෙක් වෙලා හිරේ විලංගුවේ වැටෙන්න පුළුවන්. හොඳම සහ වැදගත්ම දේ.. සත්‍ය කුමක් වුවත් මේ හැම එකක්ම සාපේක්ෂයි.. මට හොඳ එකා මගේ හොඳම යාලුවට වහ කදුරු වගේ..අන්න ඒ තරම් සරළයි කතාව. 
 
අන්න ඔතනයි අර හමුදා නිලධාරීන්ගේ හිත් තුල නිර්මාණය වෙන අභ්‍යන්තර ගැටලුව එන්නේ.. ඇයි යකඩෝ උනුත් මිනිස්සුනේ.. කොච්චර ‘ඔළුව කල්පනාවෙන්’ ඉන්න හැදුවත් සමහරවෙලාවට අර ‘රණවිරුවා’ උඩ එනවා.. මේක අර දොස්තර රුවන් ලියනවා වගේ PTSD තත්ත්වයක් නෙවෙයි.. May be just a brain fade moment or two.. එහෙම වෙලා මේ වගේ ‘දාර පිස්සුවක්’ කෙළියට පස්සෙත් තව ලෙඩක් එනවා.. ඒ කියන්නේ fight for pride.. නිකම්ම ඔලුව කසල සොරි සර් කියල ෂේප් වෙන්නේ කොහොමද.. 
 
‘යකෝ I’m a bloody one of most decorated war hero in this fucking country.. How about those days.. හමුදාවේ එකෙක්ය කියුවම මැස්සෙක්වත් උඩින් ඉගිල්ලුනේ නෑ.. Ask the bloody motherfuckers to do what they can do.. will see.. යුනිෆෝම් එක ගලෝල ගෙදර ගියත් මං කරපු දෙයක් කියපු දෙයක් වැරදියි කියල මම පිලි ගන්නේ නෑ..’ මෙන්න මේ තත්වෙට කියන ලෙඩේ නම් මම හරියට දන්නේ නෑ.. අපේ බාසාවෙන් කියුවොත් නම් Ego එක වගේ එකක් වෙන්නොනි. 
 
ඕකට එකතු වෙච්චි අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි ෆේස් බුක් බැක් එක නැත්නම් රිෆියුසල් එක.. රැල්ල තමන්ගේ පැත්තට හැරුනොත් ඕනි සුනාමියකින් ගොඩ එන්න පුළුවන් බලයක් තියෙනවා මේ ෆේස්බුක් රැල්ලටත් දැන්.. සල්ලන් නෑ. 
 
දැන් කාගේද කොතනද වැරැද්ද?
 
උඩින් තැනක කියුවනේ ‘මිතුරන් එක්ක නැත්නම් මධ්‍යස්ථ මිනිසුන් එක්ක ගණුදෙනු කරන්න’ හමුදාවේ අය පුහුණු කිරීමක් ගැන.. නැත්තේ නෑ.. හමුදාවේ ඉහල නිලතල වලට යනකොට ‘නායකත්ව පුහුණු’වල ඉඳල බොහොම ඉහල මාණ්ඩලික නිළධාරී පුහුණු, අන්තර්ජාතික හමුදා කටයුතු පුහුණු, අධ්‍යයන කටයුතු, අන්තර්ජාතික සැසි, සම්මන්ත්‍රණ වගේ දේවල්, International humanitarian law, human rights, international relations, rules of engagement වගේ බොහෝ ඉහල මට්ටමේ පුහුණු ලැබෙනවා. හැමෝටම? නෑ. 
 
ඕනෙම හමුදාවක නිළ මට්ටමෙන් නොවුනත් නිලධාරීන්ගේ ශක්‍යතාවය මත යම් යම් විශේෂ කොටස් අඳුනගෙන තියෙනවා.. එහෙම එක කොටසක් තමයි carreer officers ලා කියල හඳුන්වන්නේ.. මේ අය සාපේක්ෂව academic පැත්තෙන් ඉදිරියෙන් ඉන්න ගමන් operational පැත්තෙනුත් ‘ජාම බේරාගෙන’ ඉන්නවා. ඒ වගේම ඉදිරියට යන්න අවශ්‍ය කරන අනිත් සුදුසුකමුත් සමහර වෙලාවට පුද්ගලික දේවල් කැප කරලා පවා ඉගෙන ගන්නවා. මොකද ඔවුන්ගේ අවශ්‍යතාවය ‘ඉහළටම’ යන්න. ඒකට වරදක් කියන්න බෑ. තව කොටසක් ඉන්නවා past glory එක මත නැත්නම් ‘ඒ කාලේ කරපු වැඩ’ මත survive වෙලා ඉන්න.. ඒ අය යම් තරමකට ඉහලට ගිහින් ගන්න පුළුවන් වරප්‍රසාද අරගෙන ‘ටුවර් එකක් දෙකක් ගිහින්’ ‘අඩියක් පුඩියක් ගහල’ පුළුවන් තරම් කාලයක් ඉඳල රැස්පෙක්ට් එකත් තියාගෙන විශ්‍රාම යනවා.. තව කොටසක් ඉන්නවා මාකට් කරන්න ලොකු හිස්ට්‍රි එකකුත් නෑ.. මහන්සි වෙලා ඉස්සරහට යන්න ඕනිත් නෑ.. තමන්ගේ ‘ටාගට්’ ටිකට යනකම් හමුදාවේ අණ පනත් නීති රෙගුලාසි එක්ක හැංගි මුත්තන් කර කර කාලේ ගෙවනවා.. තවත් කොටසක් ඉන්නවා බොහොම සාධාරණ විදියට තමන්ගේ කොටස ඉටු කරලා ලොකු සීන් මොකුත් නැතුවම නියමිත කාලේ ආවම විශ්‍රාම අරං අයින් වෙන. 
 
ඔය ‘carreer officers’ ලා අතරත් ඉන්නවා එක එක පැති වලට වැඩිපුර දක්ෂ අය.. සමහරු Admin වලට, සමහරු Operation වලට.. සමහරු Diplomatic Relation වලට.. ආ..න්න වචනේ ආවා.. හමුදාවලම ඉන්නවා Diplomatic Relation වලට දක්ෂ අය.. 
 
උපායමාර්ගිකව වැදගත් තානාපති කාර්යාල වලට Defence Attache කෙනෙක් විදියට අත්දැකීම් සහිත හමුදා නිළදාරියෙක් පත් කිරීම සිරිතක්. ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නේ දෙරට අතර තානාපති ගණුදෙනු වලට බලපාන ආකාරයේ ‘ආරක්ෂාවට සම්භන්ද’ ක්‍රියාවන් වලදී තානාපති තුමාට සහය වීම. ඔහොම කියුවට මේක හුඟක් වරප්‍රසාද සහිත වගකීමක්. පවුලත් එක්කම අදාල රටේ තානාපති වරප්‍රසාද සහිතව වසර දෙකක් පමණ සේවය කරන්න ලැබීමම කොච්චර දෙයක්ද? ඉතින් ගොඩක් දෙනෙක් ගේ හිත යට තියෙන හීනයක් තමයි ඉහලට යනකොට ‘defence attache’ පාරක් ගහන එක.. හෙහ්.. ඒකත් ඉතිං වරදක් නෑනේ.. 
 
හැබැයි එහෙම යන්න හීන මවන එකා.. තමන් ඒකට සුදුස්සෙක් වෙනකං ‘පුරුදු පුහුණු වෙන්න ඕනි.. කොච්චර දුරටද කියනවනම් තමන්ගේ ඉස්සරහ සිංහල මහා සෙනගක් ප්‍රභාකරන් මරල දාල කිරිබත් උයාගෙන කනකොට ඒකෙන් උද්දාම වෙලා තරු පටි උඩ දදා නටන්නේවත්.. තමුන් ඉස්සරහ දෙමළ ඩයස්පෝරා හරි මක්ක හරි එහෙක උන් ටිකක් ඇවිල්ලා.. ‘ඊළම අපේ.. ප්‍රභාකරන් අපේ නායකයා’ කියල කෑ ගහනකොට කොච්චර ඇඟේ ලේ නැටුවත්.. ‘යකෝ මම එඩිතර සිංහ’ලේ’ කොල්ලෙක්.. කපනවා තොපි ඔක්කොගෙම බෙලි’ කියල අභිනයෙන් වත් ප්‍රකාශ නොකර කොටිම්ම ‘ඩිප්ලෝමටික් ලෙවල් එකෙන්’ ඒ වගේ අවස්ථාවන්ට මුහුණ දෙන තරමට තමාවම ශික්ෂණය කරගෙන සිටිය යුතුයි. 
 
ඒ වගේම ඩිප්ලෝමටික් වැඩවලට හමුදා නිලධාරීන් පත්කරනකොට ඥාති, හිතවත්, මිත්‍ර සංග්‍රහ නැතුව යුධ මානසිකත්වය නැතුව කළගුණ සලකන මානසිකත්වය නැතුව ජේෂ්ටත්වයට සලකන මානසිකත්වය නැතුව ‘සුදුසු පුද්ගලයින්’ පත් කරලා යවන්න අදාළ ඉහළ නිලධාරීන් කටයුතු කරන්න ඕනි.. හෙහ්.. විහිළුවක් වගේ නැද්ද? මේ ලංකාවේ..
 
අවසාන වශයෙන් අපි දැන ගන්න ඕනි කාරණා කීපයක් තියෙනවා.. හැම ‘හමුදා කාරයෙක්ම’ ලයිෂන් මිනීමරුවෝ නෙවෙයි.. හැම හමුදා කාරයාම ‘සතුරාට’ මුහුණ දෙන්න විතරක් උගන්නපු මැටි මෝල්ලුත් නෙවෙයි.. ඒ වගේම හැම හමුදා කාරයාම ‘Diplomatic mission’ වලට යවන්න පුළුවන් එවුනුත් නෙවෙයි.. හැම හමුදා කාරයම රණවිරු/ බියගුළු/ දේශප්‍රේමී/දේශද්‍රෝහී විදියට ලේබල් ගහල වෙන් කරන්න පුළුවන් එවුනුත් නෙවෙයි.. සරළවම කියනවනම් හමුදාව කියන්නෙත් ලංකාවේම.. මේ අපේ සමාජයේම කොටසක්.. ඉතින් අපි වපුරන බිජ වල ඵල අපිම නෙලා ගද්දි තව කාටවත් බැනලා වැඩක් වෙයිද?
 
Top