1150 x 80 px
සිංහල බවුද්ධයන්ට වඳ පෙති බෙදන මධ්‍යස්තාන මෙන්න
අම්පාරේ හෙවත් අං පාරේ  වඳ  පෙති  ගැන  මා  ලියන්නට  යන්නේ  නැත. ඒ ගැන බුකි  සාමාජිකයෝ කිලෝමීටර්  ගණනක් දිගට  ලියා  තිබේ .එය මුස්ලිම් විරෝධී  අං ඇත්තන්  විසින්  දියත්  කරන  ලද අවලම් ලෙල්ලමක්   බව  බුකි සාමාජිකයන්  99%ක්  ලියා තිබීම  ඇඬේන තරමට සතුටකි.
සදා  කාලික  ලෙස වඳ කිරීම සඳහා තවමත් වඳ  බෙහෙතක් නිපදවා නැති බව වෛද්‍ය වරු කීප දෙනෙකුද රුපවාහිනියේ  කියනු අසන්නට  ලැබුණි. ඇත්තෙම්ම මේ  ගැන  කට ඇරිය යුතුව  තිබුනේ GMOA ලොකු මහත්තුරුය . ඒ අය නිහඬව සිටින්නේ මිනිසුන් මරා   ගන්නා   තරමට  පොහොට්ටුවට වාසි වෙනු ඇතැයි සිතන නිසා  බවට සැකයක් නැත .ඊට  සනාථ කිරීමට හේතු තිබේ. GMOA ලොකු මහත්තයා වන  පාදෙණිය සවුඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ  ජනරාල් සුනිල් අල්විස්  මහතාට   මේ පෙබරවාරි 12 දින තර්ජනය  කරමින් " තමා  පොහොට්ටු ආණ්ඩුවේ සවුඛ්‍ය ඇමති වූ පසු බලාගමු " යයි කීමෙන්  තහවුරු වන්නේ  කුමක්ද?  GMOA  වනාහි  පොහොට්ටුවේ  බළල් අතක් බව මිස වෙන කුමක්ද?
 
සිංහල  බවුද්ධයන්ට විශේෂයෙන්ම  කාන්තාවන්ට වඳ  පෙති දෙන්නේ  වෙන  කිසිවෙකු නොව පන්සල විසිනි. මෙය  මා විසින් කරන සහාසික  ප්‍රකාශයක්  ලෙස ඇතැමෙකු සලකනු ඇත. NGO විසින් මට  ඩොලර් ගෙවන බැවින් මා මෙසේ  ලියන්නේ  යයි තවත් අය  කියනු ඇත .මා තම්බියෙකු විසින් ජාතක  කර තිබෙන බව  පොල් ලෙල්ලන් කියනු ඇත .නැතහොත් කතෝලික  පල්ලියේ  කොන්ත්‍රාත්තුවක්  මා  විසින් භාරගෙන ඇති බව  ආර්ය සිංහල බවුද්ධයන් විසින් කියනු ඇත .
 
මට විරුද්ධව  ඕනෑම උසාවියක නඩු එකක් නොව  සියයක්  පැවරුවත්  පන්සල් විසින් බවුද්ධයනට විශේෂයෙන්ම  කාන්තාවන්ට සිංහල  ජාතිය වඳ කිරීම සඳහා වඳ පෙති බෙදන  බව කියන්නට මා  මොහොතක් පැකිලෙන්නේ නැත. එබැවින් හැකි නම් නඩු පවරන  ලෙස  මා  ඕනෑම  කෙනෙකුට අභියෝග  කරමි .
 
පන්සල්වල  භික්ෂුන්  පමණක් නොව වනගත ආරාම වල වසන  භික්ෂුන්ද  සිංහල බවුද්ධයන් වඳ කිරීම සඳහා උපරිම  පරිදි කටයුතු කරති. එය කරන්නේ මෙසේය .
 
ඔබ  පන්සලේ භික්ෂුන්ට දානයක් දුන් විටද ආධාර  මුදලක් දුන් විටද , ඇඳක් ,පුටුවක් , රුපවාහිනියක් , පරිගණකයක්, පමණක් නොව අව්මගුලකට  පැමිණි විට රු. 500  සාළුවක්  පුජා  කළ විටද  භික්ෂුන් තම දේශනාව අවසන් කරන්නේ මේ  පුණ්‍ය  ක්‍රමයේ මහිමයෙන්  නිවන් සැප  ලැබේවා  කියමිනි . එසේ නොකියන භික්ෂුවක්  සිටිනම් ඕනෑම දඬුවමක් විඳීමට  මා සුදානම්ය .
 
නිවන යනු කුමක්ද?  යලි නොයිපදීමය . මෙසේ සියලුම සිංහල බවුද්ධයන්  නිවන් ගිය විට ඉතිරිවන්නේ  කවුද ? මිත්‍යා දෘෂ්ටිකයන් පමණි . බුද්ධාගම  ලංකාවේ  ඉන් සදාකාලිකවම අවසන් වන්නේය. බවුද්ධයන් සියල්ලෝම  හැඳි ගෑවී යන්නේය . අවසාන සිංහල බවුද්ධයාද සදාකාලිකවම තොලොංචි වී  යන්නේය . ඉන්පසු සිංහලයන්ට තිබෙන  මේ එකම රට  තම්බින් සහ  කොටි විසින් අල්ලාගනු නිසැකය . ශ්‍රී මහා බෝධිය  මුලින්ම කපා දමා  පොල් සිටුවනු ඇත  . රුවන් වැලි මහා සෑය ට  කාල තුවක්කු වලින් වෙඩි  තබා කුඩේ කුඩු කරනු ඇත. අටමස්ථාන සොලොස්මස්ඨාන ආගිය අතක් සොයා  ගැනීමට නොහැකි වනු ඇත .සිරිපාදය තම්බින් විසින් අල්ලා   ගනු ඇත .බුදුන් වැඩි නාගද්වීපය දෙමළුන් විසින් අල්ලාගෙන  කෝවිලක් බවට  පත් කරනු ඇත . ශ්‍රී දළදාව මහවැලි ගඟේ  කිමුලන්ට කෑමට විසි  කරනු ඇත .
 
මෙය මහාම මහා  බරපතල  තත්වයකි . සියලුම  සිංහල බවුද්ධයන් සතියක් හමාරක්  යනතෙක් දිවා රෑ  කල්පනා  කළ යුතු කාරණාවකි 
 
සිංහල  බවුද්ධයන් නැත්තටම  නැති කිරීම සඳහා පන්සල්වල  සහ ආරාමවල  භික්ෂුන් විසින් දියත්  ඇති එම කුමන්ත්‍රණය වටහා  ගෙන ඇති සිතමු.  මින්  පසු නිවන් සැප  ප්‍රර්ථනා   නොකරන  ලෙස  සියලුම   සිංහල  බවුද්ධ    පින්වතුන් ගෙන් සහ  පින්වතියන්ගෙන් ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටිමු. 
 
ඔබ සැමට තෙරුවන් සරණයි .
ඔබට නිවන් සැප නොලැබේවා.
 
ප.ලි.  නිවන් සැප  පාර්ථනා  කිරීමෙන් වලකින අතර අවම වශයෙන් සිංහල බවුද්ධ  දු දරුවන්  දහ දෙනෙකුවත්  බිහි කිරීම සඳහා නොපසුබස්නා අධිෂ්ටානයෙන් කටයුතු කරන  ලෙස සියලුම සිංහල බවුද්ධ දෙමාපියන්ගෙන්  ඉල්ලා සිටිමු  
 
මීට  
බර්ටි රණවීරගේ  
 
Top