1150 x 80 px
දිගන මුස්ලිම් ජාතිකයකුගේ සත්‍ය අත්දැකීමක්
සඳුදා රෑ මගේ ජීවිතේ දිග ම රෑවලින් එකක්. මා සිටි තැනින් කිලෝ මීටර් 15ක් එපිට දිගන සිදු වූ ප්‍ර‍හාර ගැන ඇසූ විට මට නින්ද ගියේ නැහැ. ඒ වෙනකොටම මා ගෙදර නො සිටියාට මගේ අම්මාත්, සහෝදර සහෝදරියනුත්, ඔවුන්ගේ පවුල්වල අයත් ගෙදර හිටියා. ඔවුන්ට මොනව හරි වුණොත්?
ඒ නිසා මම ඊළඟ දවසෙ හවස ගෙදර ගියා. අඟහරුවාදා රාත්‍රියත් ඉතා දිගයි. කටුගස්තොටයි, අහල පහළයි සිදුවීම් නිසා, අපි ජනෙල්වලින් පාර බලමින් රෑ නො නිදා පහන් කළා.
 
මුළු රෑ ම අවදියෙන් සිටි නිසා අපි උදේ 6ට නිදා ගත්තා. අපි හිතුවෙ දැන් ආරක්ෂිතයි කියලායි. උදේ 9ට අම්මා මට කතා කළා. අපේ ගේ ළඟ කලබලයක් ය කියා ඇය කිව්වා.
 
තාප්පෙන් එබිලා බලනකොට ගල්, මුගුරු, ගඩොල්, පෙට්‍රල් බෝම්බ අතින් ගත් 500ක විතර පිරිසක් මීටර් 50ක් දුරින් අපේ ගෙය දෙසට එමින් සිටියා.
 
මම අම්මාත්, අනෙක් අයත් දැනුවත් කළා. ඒ වෙනකොට අපේ හැඳුනුම්පත්, පාස්පෝට් එහෙම වෙන ම බෑග් එකක සූදානම් කරලායි තිබුණෙ. අප පිටුපස දොරෙන් නැන්දලාගේ ගෙදරට පළා ගියා.
 
අප එහෙ ඉන්නකොට තත්වය තවත් නරක අත⁣ට හැරුණා. අපේ ගෙදරට ගල් ගැහුවා. මා දැක්කා අපේ ගරාජය⁣ට ගිනි තබනවා. එහි ලියාපදිංචි පවා නො කළ අලුත් ම අලුත් කාරයකුත් තිබුණා.
 
අප මොකක් හෝ ඉක්මණින් කළ යුතු වුණා. පාකින්සන් රෝගය වැළඳී සිටි නැන්දා ඇය එහි දමා පණ බේරාගෙන දුවන්නැයි අපට කිව්වා. ඒත්, අපි කොහොම හරි ඇයවත් ඔසවාගෙන ආරක්ෂිත තැනකට පළා ගියා.
 
අපේ ගමේ 250 ක් විතර වන මුස්ලිම් බාල, මහලු සියලු දෙනා හමුදාව ප්‍රදේශයේ පාලනය සියතට ගන්නා කල් හිටියෙ එතන. ඉන් පසු අපි කරදර නො වූ අපේ නෑදෑයන් සොයාගෙන කතා කළා. ඔවුන් වාහනවලින් ඇවිත් අප ඔවුන්ගේ නිවෙස්වලට රැගෙන ගියා.
 
පුවත පැතිරුණාත් සමගම රට පුරාම අය අපට උදව් කරන්නට ඉදිරිපත් වුණා. දැන් ඉන්න නෑ ගෙදර අප තාවකාලිකව සුරක්ෂිතයි.
 
ගෙදර යා යුතු බව මතක් වෙනකොටත් මගේ පපුව ගැහෙනවා. ඒ වුණාට අප කවදා හෝ ගෙදර යා යුතුයි.
 
මගේ පරම හතුරකුටවත් මෙහෙම නො වේවායි මා පතනවා. මෙවැනි තත්වයකට පත් වන අවසන් පිරිස අප වේවා යි යාච්ඥා කරමු. මේ රටත්, ලෝකයත් ජීවත් වීමට වඩා යහපත් තැනක් බවට පත් කරන්නට අපි සැවොම වැඩ කරමු.
 
Shukry Cassim (පරිවර්තනය: අජිත් පැරකුම් ජයසිංහ)
 
Top