1150 x 80 px
‘‘සුබ සන්ධ්‍යාවක් නෝනාවරුනි, සහ ‘ඉතිරි මහත්තුරුනි!‘ - ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල ස්ත්‍රීවාදී වෙයි.

ඉරිදා රාත්‍රියේ පැවති 75 වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල ස්ත්‍රී අපචාරකයන්ට එල්ල කළ කම්මුල් පහරක් විය.

උළෙලට සහභාගි වූ සියලුම කාන්තාවන් සැරසී සිටියේ හොලිවුඩය වෙළාගෙන ඇති බව කියන ලිංගික අඩන්තේට්ටම් සහ අපචාරවලට විරෝධය පළ කිරීමක් වශයෙන් තද කළු පැහැයෙනි.

ඒ අතරම එසේ අසාධාරණයට ලක් වූ කාන්තාවන් වෙනුවෙන් හොලිවුඩ් නිළියන් ප්‍රමුඛ හඬක් නැගිය හැකි කාන්තාවන් විසින් දියත් කළ Time's Up  සමාජ ව්‍යාපාරය සහ නීතිමය ආධාර රැස්කරන අරමුදල පිළිබඳව ද මෙහිදී කතා බහට ලක්විය.  

පසුගිය ඔක්තෝබරයේ හාවි වෙයින්ස්ටයින් අපවාදය හොලිවුඩය ගිනි තැබුවේ හාවි වෙයින්ස්ටයින්ගේ නිෂ්පාදන සමාගම සහ ඔහු ඇසුරේ ලිංගික අපහරණයට ලක්වූ හොලිවුඩ් නිළියන් කරළියට පැමිණීමත් සමග ය. මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ තේමාව බවට පත් තිබුණේ ද මෙම ලිංගික අපචාර අපවාදයයි.

උළෙලේ නිවේදන කටයුතු භාර ව සිටි රූපවාහිනී නිවේදක සෙත් මේයර්ස් තම වාරය පැමිණි විට කතාව ආරම්භ කළේ මෙසේ කියමිනි. 'Good evening ladies and remaining gentlemen.' ‘‘සුබ සන්ධ්‍යාවක් නෝනාවරුනි, සහ ‘ඉතිරි මහත්තුරුනි!‘

"It's 2018, marijuana is finally allowed and sexual harassment finally isn't. It's going to be a good year!" ‘‘මේ 2018. මරිජුවානා නීතිගතයි. ඒ වුණාට ලිංගික අඩන්තේට්ටම් තවම නීතිගත නෑ..“ යනුවෙන් ද ඔහු හාස්‍ය මුසු උපහාස රසයක් සභාව වෙත ප්‍රක්ෂේපනය කළේය.

"There's a new era under way and I can tell, because it's been years since a white man was this nervous in Hollywood." ‘‘නව යුගයක් මග එන බව මට කියන්න පුළුවන්.. මොකද හොලිවුඩයෙ සුදු ජාතික පිරිමි මෙච්චර නොසන්සුන් වෙලා හිටියෙ නෑ කවදාවත්..“

හොඳම අධ්‍යක්ෂක- ගුලියාමේ  ඩෙල් තෝරෝ

හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය මෙවර දිනාගත්තේ මෙක්සිකානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ගුලියාමේ ඩෙල් තෝරෝ විසිනි. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ The Shape Of Water චිත්‍රපටයට තේමා වන්නේ උභයජීවියෙකු සමග පෙමෙන් බැඳෙන දොරටුපාලයෙකුගේ කතාන්දරයයි. මෙම සම්මානය පිරිනැමීම සඳහා පළපුරුදු අධ්‍යක්ෂකවරයා වේදිකාවට කැඳවමින් නැතලී පෝට්මන් නිළිය, හොලිවුඩයේ අධ්‍යක්ෂවරියන් නොමැති වීමේ අඩුව ඉස්මතු කරමින් මෙසේ කීවාය. ‘‘මේ සියලු නාමයෝජනා පිරිමි අධ්‍යක්ෂකවරුන්ගේ“.

අලෙවි වාර්තා තැබූ ‘වොන්ඩර් වුමන්‘ චිත්‍රපටයේ අධ්‍යක්ෂ පැටී ජෙන්කින්ස් මෙවර උළෙලේ නාම යෝජනා අතර සිටි නමුත් ඔහු පැමිණ සිටියේ නැත.

මෙවර උළෙලේදී සංගීතමය හෝ හාස්‍යමය අංශයෙන් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ The Disaster Artist  චිත්‍රපටය වෙනුවෙන් ජේම්ස් ෆ්‍රැන්කෝ විසිනි. එය කල්ට් ක්ලැසික් චිත්‍රපට ප්‍රිය කරන්නන්ගේ ජයග්‍රහණයක් වශයෙන් සැලකේ. මෙය, 2003 වසරේදී ‘එදාමෙදාතුර නිර්මාණය වූ නරකම චිත්‍රපටය‘ වශයෙන් සැලකුණු The Room හි ප්‍රතිනිර්මාණයක් වීම ද විශේෂත්වයකි. එලිසබෙත් මොස්, නාට්‍ය අංශයේ හොඳම චිත්‍රපට නිළියට හිමි සම්මානය Offred සඳහා දිනා ගත්තාය.

නෙට්ෆ්ලික්ස් කොමඩි කතා මාලාවක් වූ Master of None සඳහා රංගනයෙන් එක් වූ අසීස් අන්සාරි, රූපවාහිනී කොමඩි කතාමාලාවක හොඳම නළුවා බවට පත්වූ ප්‍රථම ආසියාතික-ඇමරිකානුවා බවට මෙවර පත්විය.

ඕප්රා වින්ෆ්‍රි ඉතිහාසගත වෙයි. 

කෙසේ වෙතත් මෙවර මෙම ‘උත්සවය සොරාගත්“ අංගය බවට පත්වූයේ ඕප්රා වින්ෆ්‍රි විසින් සිය සම්මානය පිළිගනිමින් පැවැත්වූ කතාවයි. ජීවිත කාලය තුළදී එක් වරක් පමණක් හිමිවන සෙසිල් බී. ඩි මෙල් සම්මානය ද අතැතිව ඕප්රා ලෝකය අමතා කළ කතාව ඇරඹුවේ මෙසේ ය.

‘‘1964 අවුරුද්දෙ,  පුංචි දැරියක්ව සිටියදී මම බලාගෙන හිටියා, සිඩ්නි පොයිටර් විසින් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගන්නා ආකාරය. ඉතිහාසයේ පළමු වතාවට කළු ජාතිකයෙක් විසින්.. එතරම් සැමරිය යුතු කළු සමක් ඇති මිනිසෙක් මම මෙතෙක් දැක නැහැ... ... කැඩුණු ආසනයක වාඩි වී මම එදා රූපවාහිනිය නරඹන විට මගේ අම්මා ආවා... හොඳටම මහන්සි වෙලා... හැමදාම වගේ අනික් අයගෙ ගෙවල් සුද්ද කෙරුව නිසා ඇය හොඳටම මහන්සි වෙලා..

‘‘ඉතින් මට කියන්නට අවශ්‍යයි, මේ උළෙල අද නරඹන හැම ගෑනු ළමයෙක්ම දැනගත යුතුයි, අලුත් දවසක් අද උදා වුණු බව...“ ඒ මෙහොතේ ඇගේ දෙනෙත් රත් පැහැ වී කඳුලින් පිරී තිබිණි.

ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයකින් පිදුම් ලද ඉතිහාසයේ පළමු පළමු කළු ජාතික කාන්තාව ඇයයි.

තමන් ම නැවත වරක් වින්දිතයන් හෝ වරදකාරියන් බවට පත්කරගන්නවා වෙනුවට හොලිවුඩයේ සිදුවෙමින් පවතින දේවල් විමසා බැලීමට මෙය අවස්ථාව බවත් ඇය කියා සිටියාය.

ඇය මෙම උත්සවයේදී කළ ඉතාම පැහැදිලි හෙළිදරව් කිරීමක් වූයේ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් අපේක්ෂා කරන බව ය. පවත්නා අර්බුදකාරී ට්‍රම්ප් පාලනය දැඩි ලෙස හෙළා දකිමින් ඇය කතා කළාය.

‘‘මේ මොහොතේ මා දන්නා එකම දෙය, අප සතුව තිබෙන බලවත්ම ආයුධය සත්‍යය බවයි..“ යනුවෙන් ද ඇය කියා සිටියාය. තමන් මේ දිනවල ජීවත් වන්නේ මාධ්‍ය නිදහස පෙර නොවූ විරූ ලෙස මර්දනයට ලක්වූ යුගයක වන නමුත් අයුක්තිය සහ අසාධාරණ දෙස නොදුටු දෑසින් බලා සිටීම කිසි විටෙක නොකළ යුතු දෙයක් බවත් ඇය අවධාරණය කළාය.

තමන් ‘‘දීර්ඝ කාලයක් මුළුල්ලේ බිහිසුණු ලෙස බලවත් පිරිමින් විසින් කඩා බිඳ දැමූ සංස්කෘතියක ජීවත් වූ අයෙක්“ යැයි ද ඇය කියා සිටියාය.

මේ සමග දැක්වෙන වීඩියෝව ඕප්රා වින්ෆ්‍රි විසින් ජීවිත කාලය තුළ කර්මාන්තය සඳහා කළ මෙහෙය වෙනුවෙන් පිරිනැමෙන සෙසිල් බී. ඩි මෙල් සම්මානය දිනා ගනිමින් 2018 ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී පැවැත්වූ ඓතිහාසික කතාවයි.

- අමාලි ජයවීර

අවුට් බවුන්ඩ් ටුඩේ | outboundtoday.com

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top