1150 x 80 px
රැම්පෝසා නැගිට යයි!

දකුණු අප්‍රිකානු නව නායක සිරිල් රැම්පෝසා හට ලන්ඩනයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවෙන් හදිසියේ නැගිට යාමට සිදුවූයේ රට තුළ ඔඩුදුවමින් තිබෙන උද්ඝෝෂණ ප්‍රවණතාවයට පිළිතුරු දීම පිණිස ය.

ඊයේ දිනය වන විට දකුණු අප්‍රිකාවේ වයඹ පළාතේ උද්ඝෝෂකයන් රැකියා හා නිවාස ඉල්ලමින්ද, දූෂණය නිමා කරන ලෙසට බල කරමින් ද ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණවලට මුල පුරා තිබිණි. කඩසාප්පු කොල්ල කෑම්, මාර්ග අවහිර කිරීම් මෙන්ම වාහන ගිනි තැබීම් රැසක් ද දකුණු අප්‍රිකාවෙන් වාර්තා වේ.

දකුණු අප්‍රිකාවේ වයඹ දේශසීමාවේ පිහිටා තිබෙන බොට්ස්වානා රාජ්‍යය, මේ වන විට සිය දේශසීමාවේ තිබෙන සියලු පිටවීමේ මාර්ග ද වසා ඇති බව BBC පුවත්සේවය පවසයි.

උද්ඝෝෂකයන්ගේ තවත් ඉල්ලීමක් වී තිබෙන්නේ වයඹ පළාත් පාලන ප්‍රධානියා වන සුප්රා මහුමාපෙලෝ ව ධුරයෙන් ඉවත් කළ යුතු බවයි. සුප්රා, පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ (ANC) සාමාජිකයෙකි. මේ අනුව මේ නවතම තත්වය දේශපාලන උසිගැන්වීම් මත සිදුවූවක් ද යන පැනය ද විචාරකයෝ මතු කරති. කෙසේ වෙතත් උද්ගත ව ඇති තත්වය සම්බන්ධයෙන් රැම්පෝසා අද දිනයේ ANC නායකයන් හමුවීමට ද අපේක්ෂා කරයි.

පෙබරවාරි මාසයේ දකුණු අප්‍රිකාවේ බලයට පත් රැම්පෝසා, මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවට සහභාගි වූයේ දකුණු අප්‍රිකාව දියුණු කිරීම සඳහා නව ආයෝජන මාර්ග ද සොයාගැනීමේ අටියෙනි. ඊයේ දිනයේ ඔහු බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ හමුවී පැවති සාකච්ඡාවකින් අනතුරුව ඩොලර් මිලියන ගණනක් වටිනා ආයෝජන සඳහා ද මං විවර කර ගැනීමට සමත් ව සිටියේය.

ලන්ඩනයට පැමිණීමෙන් අනතුරුව රැම්පෝසා, බ්ලූම්බර්ග් සඟරාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා තිබුණේ රටේ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා තමන් ඇමරිකානු ඩොලර් බිලියන 100 ක ආයෝජනයක් සොයාගත යුතු බවයි.

සිරිල් රැම්පෝසා දකුණු අප්‍රිකාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා ශක්‍යතාවක් තිබෙන හොඳම නායකයා වශයෙන් සැලකේ. ඔහු ශක්තිමත් ව්‍යාපාරික පසුබිමකින් යුක්ත ය. එසේම දකුණු අප්‍රිකාවේ නිදහස් අරගලය පැවති සමයේ ඔහු නෙල්සන් මැන්ඩෙලා සමග සමීප සබඳතාවක් පවත්වාගෙන ගියේය. ඔහු නායකත්වයට පත්වීම කලාපයේ මේ වසරේ සිදුවූ විශේෂිතම සිදුවීම වශයෙන් අවිවාදයෙන් සැලකුණේ දකුණු අප්‍රිකාව ගොඩ ගත හැකි එකම මිනිසා වශයෙන් ඔහු සැලකෙන නිසා ය. නමුත් රට වැටී ඇති ආර්ථික අවපාතයෙන් ගොඩ ගැනීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල නායකයන් සහ ආයෝජකයන් සමග සාකච්ඡා පවත්වමින් සිටින අවස්ථාවක රටේ අභ්‍යන්තර නොසන්සුන්තාවයක් හේතුවෙන් ඔහුට පොදු රාජ්‍ය මණ්ඩලීය මේසයෙන් නැගිට යන්නට සිදුවීම සමස්ත දකුණු අප්‍රිකාවේම ආර්ථිකයට පමණක් නොව අනාගතයට ද බලපාන තීරණාත්මක සාධකයක් විය හැකිය.

- අමාලි ජයවීර

outboundtoday.com


 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top