1150 x 80 px
ජකර්තාව ගිලා බසියි!

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර, මේ වන විට ලෝකයේ වේගයෙන්ම ගිලා බසින නගරය බවට පත්ව ඇත.

ඉන්දුනීසියාවේ ජකර්තා නගරය ඉතා ශීඝ්‍රයෙන් ගිලා බසිමින්ද මුහුදු ජලයෙන් යටවෙමින්ද පවත්නා බව පර්යේෂණ මඟින් තහවුරු කෙරේ.

ජාකර්තාහි උතුරුදිග ඇතැම් ප්‍රදේශ වසරකට සෙන්ටිමීටර 25ක් පමණ බැගින් ගිලාබසිමින් තිබෙන බව විද්‍යාඥයෝ පවසති. එම ප්‍රදේශ තවත් දස වසරක් ඇතුළත මුළුමනින්ම මුහුදු ජලයෙන් යට වී යනු ඇති බව විද්‍යාඥයන්ගේ අදහසයි. මෙපමණ වේගයකින් ලොව වෙනත් කිසිදු නගරයක් ගිලාබසිමින් සහ මුහුදු ජලයෙන් යටවෙමින් නොපවතින බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ජාකර්තා නගරය මේ රුදුරු විපතට බිලිවෙමින් තිබෙන්නේ එහි වෙසෙන ජනයාගේම නොසැලකිල්ල නිසාය. නගරයේ වෙසෙන ජනයාගෙන් මිලියන 10කට අධික පිරිසක් නල ජලය භාවිතයට ගන්නේ නැත. ඒ පිරිස ජල අවශ්‍යතා සපුරා ගන්නේ පෞද්ගලික ළිංවලින් ලබා ගන්නා ජලයෙනි. එතරම් පිරිසක් ළිං විශාල සංඛ්‍යාවක් තැනීම පොළොව ගිලා බසින්නට හේතුවක් බව විද්‍යාඥයෝ පවසති.

ජාකර්තා නගරයේ නගර සැකැස්මත් නගරයේ ගිලා බැසීමට රුකුලක් වී ඇති බව පර්යේෂණවලින් තහවුරුව තිබේ. නගරයෙන් 97%ක ප්‍රමාණයක් ආවරණය වී තිබෙන්නේ කොන්ක්‍රීට් සහ ඇස්ෆෝල්ට්වලිනි. එම ද්‍රව්‍යය බරෙන් අධිකය. නගරයේ ඇතැම් ප්‍රදේශවල ගිලා බැසීමට එම බරත් හේතු වී තිබේ. ඊටත් වඩා අහිතකර ප්‍රතිඵලය අත්වන්නේ වර්ෂාධික කාලයටය. එහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 60ක් පමණ වේ. ඉඳිකිරීම්වල ප්‍රතිඵලයක් හැටියට කොන්ක්‍රීට් සහ ඇස්ෆෝල්ට් වැස්මකින් පොළොව ආවරණය වී ඇති බැවින් වැසි ජලය පොළොවට උරා ගැනීමක් සිදු නොවේ. නගරයේ තැනින් තැන ජලය රැඳී තිබීමට එකී තත්ත්වය බලපායි. අවසානයේදී මේ ජලය එකතු වන්නේ නගරය හරහා ගලා බස්නා ගංඟා දහතුනකට ය. මහා දිය කඳන් පිරූ මේ ගංඟා නගරය හරහා එවිට වේගයෙන් ගලා බසින්නට පටන් ගනී. විශාල ජල කඳක් වේගයෙන් ගලා බැසීම ජකාර්තාහි පොළොවට ඔරොත්තු නොදෙන බව විද්‍යාඥයන්ගේ මතයයි.

අපද්‍රව්‍යය බැහැර කිරීමේ පද්ධති ජාකර්තා නගරය තුළ හරියාකාරව ක්‍රියාත්මක වන්නේ ද නැත. අපද්‍රව්‍යයවලින් වැඩි ප්‍රමාණයක් නගරය හරහා ගලන ගංඟාවලට එකතු වේ. එනිසා ගංඟා අවහිරව පවතී. එකී තත්ත්වයෙනුත් ජාකර්තා නගරය ආශ්‍රිත භූමියේ පැවැත්මට යහපතක් නැති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

නගරය මුහුදු ජලයෙන් යටවන බව අනාවරණය වී දැන් වසර දහයකට වඩා වැඩි කාලයක් ගතව ඇත. එසේ වුවත් ජාකර්තා නගරයේ ආරක්ෂාවට දේශපාලන අධිකාරිය කිසිදු පියවරක් ගෙන නොමැති බව වාර්තා වේ. මුහුදත් ගොඩබිමත් වෙන් කෙරෙන පරිදී ශක්තිමත් බැම්මක් බැඳීමට වරක් යෝජනා විණ. ඒ අනුව නගරයේ තැනින් තැන කොන්ක්‍රීට් බැමි ඉඳි වී තිබෙනු දක්නට පුළුවන. කෙසේ වුවත් මේ වැඩපිලිවෙල කඩිනම් කෙරුණේවත් සාර්ථක වූයේවත් නැත. බැමි ඉඳි නොවූ අන්තරාකාරී ස්ථාන රැසක් සමුද්‍රාසන්නයේ තවමත් දක්නට පුළුවන. ආරක්ෂක බැමි බැඳීමෙන් ලද හැකි වන්නේ මන්දගාමී සහ අල්ප ප්‍රතිඵලයක් බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති. ගෝලීය කාලගුණ විපර්යාස නිසා මුහුදු මට්ටම ඉහළ ගොස් කරදිය, නගරය තුළට කඩා වැදීම ඒ පිළියම්වලින් වළකන්නට බැරිව යනු ඇත. ගෝලීය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක කිහිපයකින් ඉහළ ගියහොත් ඉන්දුනීසියාවට බලපාන මුහුදු තීරයේ ජල මට්ටම අඩි තුනකින් පමණ වැඩිවනු ඇති බවට ගණන් බලා තිබේ.

මේ තත්ත්වය තුළ ජාකර්තා මහා නගරය මුහුදු බත් වී යෑම වැළකිය නොහැකිය. එමෙන්ම එහි දැනට වෙසෙන මිලියන 30කට අධික ජනගහනය මහා පොළොව මත නුදුරු දිනෙකදී අතරමං වනු නිසැකය.

- මංජුලා විජයරත්න | OUTBOUNDTODAY.COM

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top