1150 x 80 px
මාධ්‍ය අයවැය යි - සැබෑ අයවැය යි කියන්නෙ දෙකක්...  - ආර්ථික විද්‍යාඥ සුභාෂිණී අබේසිංහ

2018 අයවැය  සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් - Verite Research ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂිකා ආර්ථික විද්‍යාඥ සුභාෂිණී අබේසිංහ මහත්මිය සමග ලංකා නිවුස් වෙබ් කරන ලද සාකච්ඡාව පහතින් පලවේ

 

අප මේ මොහොතෙත් ඉන්නෙ, 2018 අයවැය සම්පාදන ක්‍රියාවලියේ මැද තැනක... දැන් එය පාර්ලිමේන්තුව තුළ තුන්වන වර කියවීමේ විවාද අවස්ථාවේ පසුවෙන්නෙ... 2018 අයවැය ගැන ඔබේ විවේචන දැනගන්න කළින් ම මං කැමතියි, මේ වගේ ප්‍ර‍ශ්නෙකින් පටන්ගන්න... අවුරුදු ගණනාවක් තිස්සෙ අයවැය ක්‍රියාවලිය දෙස විමර්ශනාත්මකව බලා ඉන්න කෙනෙක් හැටියට, මොකක්ද හිතෙන්නෙ ලංකාවෙ අයවැය පිළිබඳ සාකච්ඡාව ගැන...

ඇත්තට ම මිනිස්සුත් හැම අවුරුද්දක ම බලං ඉන්නෙ, අයවැයෙන් තමන්ට ලැබෙන්නෙ මොනවද කියලා... මාධ්‍යයත් උත්සහ කරමින් ඉන්නවා, අයවැය ‘සහන මල්ලක‘ට ලඝු කරමින්, ඒ ගැන සංවාදයක් ඇති කරන්න... නමුත් අයවැයක් කියන්නෙ හැම වෙලේ ම ‘සහන මල්ලකට‘ එහායින් තියෙන දෙයක් බව මිනිස්සු තේරුම් ගන්න ඕනෑ... අධ්‍යාපනය, සෞඛ්‍ය, කසල කළමනාකරණය, පොදු ප්‍ර‍වාහනය වැනි විශාල මහජන සේවා ප්‍ර‍මාණයකුත් අයවැය ප්‍ර‍තිපාදන ඔස්සේ නඩත්තු කරන්නට වෙලා තියෙනවා... ඒවාට වෙන් කරන මුදල් ගැන, ඒ ඒ සේවා කොයිතරම් පුළුල් වෙනව ද, නැත්නම් කපා හරිනව ද, ආණ්ඩුවේ ආදායම් වැඩි කරගන්න යන්නෙ කොහොම ද, ණය ගන්නට බලාපොරොත්තු වෙන්නෙ කොච්චරක් ද යන සමස්තය පිළිබඳව සාකච්ඡාවක් තමයි ඇතිවිය යුත්තේ... සහ දැනට අපට නැත්තෙත් එවන් පුළුල් සාකච්ඡාවක්... අනෙක් අතට, මහජනතාව තුළ තිබෙනවා, ජනප්‍රිය දුර්මතයක්, මේ අයවැය සහන පිළිබඳව... ඔවුන් හිතනවා, අයවැය සහන රජය කියන තවත් වෙනත් පාර්ශවයක් විසින් තමන් වෙත ලබාදෙන දෙයක් කියල... නමුත් ඇත්තට ම රජය කරන්නෙ මහජන මුදල් කළමනාකරණ කටයුත්තක්.... අයවැය කියන්නෙ රජය කොහොමද මහජනතාවගේ බදු මුදල් වියදම් කරන්නෙ සහ නැවත බදු මුදල් අයකරගැනීමට සැලසුම් සකස් කරන්නෙ කියන එක... ඉතිං ඇත්තට ම අයවැයේ දි මහජනතාව විසින් පරීක්ෂා කළ යුතු ව තියෙන්නේ, තමන්ගෙ මුදල් වලට මොකද වෙන්නෙ කියන එක... රාජ්‍ය අංශයේ වැටුප් ලබන නිලධාරීන් (ඇත්තට ම ඔවුන් ව හඳුනාගත යුත්තේ ‘රාජ්‍ය සේවකයින්‘ හැටියට නෙවෙයි, ‘මහජන සේවකයින්‘ හැටියට...) මහජන නියෝජිතයින් ගමන් කරන වාහන වලට ගහන ඉන්ධන ටික, ඔවුන්ට පඩි නඩි ගෙවන එක, ඇතුළු මෙකී නොකී සියලු වියදම් කරන්නෙ, ‘අපේ මුදල් වලින් ය‘ කියන ඔවුන්ට වැටහෙනතාක්, අයවැය පිළිබඳ බුද්ධිමත් සාකච්ඡාවක් මහජනතාව අතර ඇතිවෙන්නෙ නෑ කියන එකයි මගේ මතය... අනෙක් අතට ‘මාධ්‍ය අයවැය‘ නිසා හැමවිට ම ‘සැබෑ අයවැය‘ යට යනවා...

 මොකක්ද ‘මාධ්‍ය අයවැය‘ කියන්නෙ... තව පොඩ්ඩක් පැහැදිලි කළොත්...

අයවැයක් කියන්නෙ, එක් අතකට මහජන මුදල් බිලියන 3000 ක් විතර වියදම් කරන ආකාරය පිළිබඳ වාර්ෂික ඇස්තමේන්තුවක්... දැන් මේ 2018 අයවැය කතාවේ යෝජනා 192 ක් විතර තියෙනවා... නමුත් මාධ්‍යය තුළ සාකච්ඡාවට ගැනෙන්නෙ අයවැය යෝජනා කිහිපයක් පමණයි... බිලියන 180 ක වැය ශීර්ෂ විතරයි... එය ප්‍ර‍මාණාත්මකව මුලු අයවැයෙන් 6% ක විතර ප්‍ර‍මාණයක්... ඇත්තට ම අයවැයෙන් ඉතා ම ඉහළ මට්ටමින් මුදල් වෙන් කෙරෙන්නෙ රාජ්‍ය අංශයේ පඩි වීමට සහ එම සේවාවන්ට සහ ආයතන නඩත්තුව ට... ඒ නිසා මහජන මුදලින් නඩත්තු වන රාජ්‍ය අංශය මහ ජනතාවට කොතරම් හොඳ සේවාවක් ලබා දෙනවාද යන සංවාදය ඉතා වැදගත්, එහෙත් වර්තමානයේ අයවැය ගැන කතා කරද්දී අවධානය ඉතා අඩුවෙන් යොමු වන පැත්තක්. උදාහරණයක් රාජ්‍ය ආයතනයකින් වැඩක් කරගන්න යන මහජනතාව කොච්චර නම් රස්තියාදු වෙනව ද...? මහජනතාව මේ ප්‍ර‍ශ්න ගැන සවිඥානිකව සහ ගැඹුරින් කල්පනා කරනවා කියල හිතන්න අමාරුයි... අන්තිමට මේ රාජ්‍ය ආයතන වලට වෙන් කරන විශාල මුදල් ප්‍ර‍මාණයට මොකද වෙන්නෙ කියල මහජනතාව දන්නෙත් නෑ... මාධ්‍යය හොයන්නෙත් නෑ... හැමෝම එල්ලෙන්නෙ අර මම කලින් කියපු 6% කෑල්ලෙ විතරයි... ඒ කියන්නෙ සැබෑ අයවැයේ නෙවෙයි, මාධ්‍ය අයවැයේ...

එතකොට, මොකක්ද මේ 2018 අයවැයට ගැටගැසුණු නීල-හරිත කතාව...? ඇත්තට ම මේ අයවැය එහෙම සුවිශේෂ ‘තේමාවකට‘ අනුව සකස් කළ සුවිශේෂී අයවැයක් හැටියට දකින්න පුළුවන් ද...?

නීල-හරිත අයවැය කිව්වෙ, මේකෙ යෝජනා යම් ප්‍ර‍මාණයක් අඩංගු වෙනවා, පරිසරය ගැන අවධානය යොමු කිරීම සහ පරිසරය රැක ගැනීමට පියවර ගැනීම විශාල කාලීන අවශ්‍යතාවක්. මේ අයවැයෙන් පරිසර හිතකාමී යෝජනාත් ගෙනැල්ල තියෙනවා. එසේම රටක් හැටියට ලංකාවේ ඉන්දියන් සාගරයේ පිහිටීම හරහා ලබා ගත හැකි ප්‍රයෝජන හැකිතාක් ලබාගන්න තැනට යම් යම් ව්‍යාපෘති ආරම්භ කරන්නට සහ ඒ ඒ ක්ෂේත්‍ර‍ දිරිගන්වන්නටත් යෝජනා තිබෙනවා. ඒ යෝජනා හොඳයි... කලින් ආණ්ඩුවටත් මේ වගේ ඉන්දියන් සාගරයේ ලංකාවේ පිහිටීම (විශේෂයෙන් ජාත්‍යන්තර නාවික මාර්ග වලට ඉතා සමීපයෙන්) හරහා රටේ සංවර්ධනයට වැඩි ප්‍රයෝජන ගැනීම වගේ ධනාත්මක ආකල්ප තිබුණා... නමුත් ප්‍ර‍ශ්නෙ තියෙන්නෙ, අයවැය යෝජනා කිහිපයකින් පමණක් ඔය කියන නීල-හරිත ආර්ථිකය කියන සුන්දර අදහස යථාර්ථයක් කරන්න පුළුවන් ද කියන එක...? මෙවැනි ප්‍රතිපත්ති සාර්ථක කර ගැනීමට දිගු කාලීන සැලසුමක්, දිගු කාලීන දැක්මක් සහිත ක්‍රියාවලියක් ඉතා අවශ්‍යයි. ... ප්‍ර‍තිපත්තිමය වශයෙන් මේ වගේ උත්සහයන් ගන්න ආණ්ඩුවක්, අයවැය යෝජනා වලට එහා ගිය විධිමත් සහ පුළුල් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕන... අයවැයකට වඩා බරපතල සැලසුම් හදන්න ඕන... එහෙම දිගු කාලීන සැලසුමක් සහ ක්‍රියාවලියක් මෙන්ම යාන්ත්‍රණයක් නොමැතිව, ගෙන එන නීල-හරිත යෝජනා හරහා ලබා ගත හැකි ප්‍රතිලාබ ඉතා සීමිතයි...

මම ටිකක්, අයවැය ක්‍රියාවලියට අදාළ ශාස්ත්‍රීය ප්‍ර‍ශ්නයක් අහන්නම්.... සාමාන්‍යයෙන් වාර්ෂිකව අයවැය ක්‍රියාවලියක් පටන් ගන්නෙ කොතනින් ද...? සහ අවසාන වෙන්නෙ කොතනින් ද...? මේ අවධීන් ඔස්සෙ ලංකාවෙ සමස්ත අයවැය ක්‍රියාවලිය ගැන ඔබට තිබෙන විවේචනය මොකක් ද...?

ඇත්තට ම ඒ ප්‍ර‍ශ්නය වැදගත්... මොකද අපි අයවැය සම්මත කරන කාර්යය කෙරෙන කාලසීමාවේදී විතරයි ඇත්තට ම අයවැය ගැන කතා කරන්නෙවත්... ඇත්තට ම අයවැය කාර්යය පටන් ගන්නෙ අයවැය සම්පාදන කාර්යයෙන්... මෙතනදි විවිධ ආයතන, විෂය ප්‍ර‍වීණයින්, ව්‍යවසායකයින් පමණක් නෙවෙයි මහජනයා වෙතිනුත් අයවැය යෝජනා සකස් කිරීමට අදාල ව අදහස් යෝජනා සහ උපදේශන ලැබිය යුතුව තියෙනවා... මේ පියවර සම්බන්ධයෙන් ලංකාවෙ අයවැය ක්‍රියාවලිය ඉතා ම දුර්වලයි...

ඊ ළඟට තමා අප හොඳින්ම දන්නා පියවරට එළඹෙන්නෙ... ඒ කියන්නෙ, පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරලා සම්මත කරගැනීම...

ඉන් පස්සෙ අයවැය ක්‍රියාත්මක කිරීමේ පියවරට එළඹෙනවා... මෙතන දි රාජ්‍ය අංශයේ නිලධාරීන්, විවිධාකාරයේ ව්‍යාපෘති වලට අනුයුක්ත නිලධාරීන් මඟින්, දේශපාලන අධිකාරිය විසින් සම්මත කරන ලද අය වැය යෝජනා ක්‍රියාත්මක කළ යුතු වෙනවා... ඇත්තට ම ඔවුන් ඒ ඒ ආයතන මට්ටමින්, සෑම කර්තුවකම අයවැය යෝජනා සම්බන්ධ ප්‍ර‍ගතීන් මුදල් අමාත්‍යංශයේ අයවැය විමර්ශන අංශ වෙත දැනුම් දිය යුතු ත් වෙනවා... නමුත් මේ අදියර කොතරම සාර්ථකව කෙරෙනවාද යන්න පිළිබඳ ගැටළු සහගත තත්වයක් තිබෙන්නේ. බොහෝ රාජ්‍ය ආයතන මෙම ප්‍රගති වරත අදාල කාල වකවානු වලට ලබා දෙන්නේ නැහැ. මෙවැනි අකාර්යක්ෂමතා මත බොහෝ අය වැය යෝජනා ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලි අඩපණ වෙනවා... මෙය වළක්වාගැනීමට අදාළ ව්‍යුහාත්මක පියවර ගැනීම අතිනුත් අපි දුර්වලයි... ඇතැම් රටවල රාජ්‍ය ආයතන වල කාර්යසාධනය මනින දර්ශක තියෙනවා... කේ.පී.අයි. වැනි දර්ශක... ලංකාවෙත් ඇතැම් ආයතන වලට මෙවැනි දර්ශක දීල තිබුණත්, ඒ ඉලක්ක සපුරන්නේ නැති වීම මත නිලධාරීන්ට, ඒ ආයතන වලට එරෙහි වන කිසි ම පියවරක් ගැනෙන්නේ නැහැ...

අවසාන පියවර තමයි, අයවැය ක්‍රියාවලිය අධීක්ෂණය... ඒ කියන්නෙ, පොරොන්දු ඒ අයුරින් ඉටු වෙලා ද, නැද් ද කියන එක සම්බන්ධයෙන් කරනු ලබන පසු විපරම... මෙය බොහෝවිට ආණ්ඩුව විසින් ටිකක් විධිමත් ව කරනවා, ආදායම් පැත්තට අදාළ ව... ඒ කියන්නෙ, බලාපොරොත්තු වුණු තරමට බදු ලැබුණ ද කියන එක වගේ කාරණා... නමුත් වියදම් පැත්ත හරියට අධීක්ෂණය වෙන්නෙ නෑ... ඇතැම් විට, විරුද්ධ පක්ෂයකින්, පාර්ලිමේන්තුව තුළ කෙරෙන ප්‍ර‍ශ්න කිරීමක් වැනි ඇතැම් වැය ශීර්ෂ ගැන කෙරෙහ හුදෙකලා විමසුම් හැරුණු කොට, පුළුල් ව සියලු වැය ශීර්ෂ ගැන පසුවිපරම් ක්‍ර‍මවේදයක් නිරවුල්ව ස්ථාපනය වී නැහැ. මේ නිසා ම මා ද ඇතුලත් වන වෙරිටේ පර්යේෂණ ආයතනයෙන් http://www.budgetpromises.org/en නමැති වෙබ් අවකාශය ජනගත කරනු ලැබුවා, අයවැය අධීක්ෂණ ක්‍ර‍මවේදයක් හැටියට... මෙහිදී අපි උත්සාහ ගන්නේ, ආණ්ඩුව මහජනයා වෙත වගවෙන ක්‍ර‍මයක් හදන්න රජය උනන්දු කරවීමට...

මේ කියන අදියර ඒ විදියට නොවෙන වටපිටාවක, අය වැය සම්මතයට අදාළව, ඒකෙත් ඉතා කුඩා කොටසකට, මාධ්‍ය මඟින් උලුප්පන කුඩා කොටසකට අදාළව විතරක් කෙරෙන සංවාදයක් හෝ විවේචනයක් තුළ, අයවැයට සාධාරනයක් වෙන්නෙ නෑ... අයවැය ක්‍රියාවලිය යථාර්ථයක් වෙන්නෙත් නෑ...

ප දන්නා තරමින්, ලංකාව කාලාන්තරයක් තිස්සෙ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% කට වඩා අඩු කරන්න පොරොන්දු දෙනවා... එත් මේ සැරෙත් (2018 අයවැයෙත්) අයවැය පරතරය 5.2 යි... ඇයි මේ...?
ඇත්තට ම ලංකාවෙ අයවැය පරතරය වැඩියි... ඒ කියන්නෙ එක් අතකින් අප ණය වෙත තල්ලුවෙන තත්වයක්... දළ ජාතික නිෂ්පාදිතයෙන් 5% ට අඩු අයවැය පරතරයක් කියන්නෙ, සාමාන්‍යයෙන් රටකට දැරිය හැකි සීමාවක්... ඊට වඩා ඉහළ යනව කියන්නෙ සුබ තත්වයක් නෙවෙයි... පහුගිය ආණ්ඩුව වගේ ම මේ ආණ්ඩුවත්, අයවැයෙන් අයවැයට කියනවා, අයවැය පරතරය අඩු කරනවා කියලා... මේ සැරෙත් 5.2 යි... මේ සැරේ කියනවා, ලබන සැරේ අඩු කරනවා කියලා... ටිකක් අමාරු වැඩක් වෙන්න පුළුවන් වුණත්, අයවැය පරතරය අඩු කරගැනීමේ නිසි ක්‍ර‍මවේද අනුගමනය අනිවාර්යයෙන් කරන්න වෙනවා...

ඉතිං ඇත්තට අපිට ණය වලින් ගැලවිල්ලක් ඇත්තෙ ම නෑ වගේ ද...?

ණය කියන්නෙ, බය විය යුතු දෙයක් නෙවෙයි... නමුත් ණය ගන්නෙ මොකට ද ගන්න ණය රටේ ආර්ථිකයට දරාගන්න පුළුවන් ද කියන එකයි වැදගත්... පළමුවැනි දේ ණය අරන් ඒ ණය යොදලා ව්‍යාපෘති සංවර්ධනය කරලා, උපයමින් ගෙවන්න පුළුවන් නම් කිසි ප්‍ර‍ශ්නයක් නෑ... නමුත් අපි රටක් හැටියට එහෙම සැලසුම් සහගතව ණය ගැනීම කරන්නෙ නෑ.... අනෙක් අතට ණය ගෙවීමට අදාළව පුරවැසියන්ට පටි තද කරගැනීමට බල කරන එකත් සාධාරණ නෑ... වඩාත් වටින්නේ ආර්ථික වර්ධනය හරහා ජනතාවගේ සහ රජයේ ආදායම වැඩි කර ගැනීම තුලින් ණය බර අඩු කරගන්න වෙනවා... මේ සඳහා ත් හොඳ ආර්ථික සැලසුම් සකස් කිරීම මෙන් ම ඒවා වගවීමෙන් සහ විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක වීම ත් ඉතා වැදගත්....

අවසාන වශයෙන්, බදු ක්‍රියාවලිය ගැනත් යම් අදහසක් මතු කළොත්....?

ඔව්.... බදු ක්‍ර‍මයේ තියෙන අඩුපාඩු ත් ලංකාවේ අයවැය ක්‍රියාවලියට විශාල බලපෑමක් කරනවා,... සෘජු : වක්‍ර‍ බදු අනුපාතය තියෙන්නෙ, 20: 80 හැටියට... ඒ කියන්නෙ, වැඩියෙන් බදු ගෙවන්නෙත්, සාමාන්‍ය දුප්පත් මහජනතාව... බදු ගෙවිය යුතු ආදායම් උපද්දන්නන් සියලු දෙන බදු රාමුවට ඇතුළත් කරගෙන ඔවුන්ගෙන් බදු අයකරගන්න, අපේ බදු එකතු කරන ආයතන අසමත් වීම, වක්‍ර බදු බර වැඩි වෙන්නට එක හේතුවක්. අනෙක් අතට, බදු ගෙවීමේ ක්‍රියාවලිය සරල වෙන්නෙත් නෑ... ලංකාවේ ව්‍යාපාරයකට/පුද්ගලයෙකුට නිවැරදිව ආදායම් බදු ගෙවන්න ඒ ලිපිගොනු නඩත්තු කරන්න, විශාල පිරිවැයක් සහ කාලයක් මිඩංගු කරන්නට වෙනවා... මෙනිසාත් මිනිසුන් බදු ගෙවීම පැහැර හැරීමට යොමු වෙනවා. මේකත් වර්තමාන බදු ක්‍රමයේ විශාල අඩුපාඩුවක්...

 

සංවාද සටහන - සුරේඛා සමරසේන

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top