1150 x 80 px
2020 දී අපි රටේ සමස්ත ඖෂධ අවශ්‍යතාව සපුරන්න සුදානම් - වෛද්‍ය සයුරු සමරසුන්දර
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයත් සමඟ දියුණු තලයක තිබෙන අනිත් ක්ෂේත්‍රය වන්නේ සෞඛ්‍යයයි. නිදහස් සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක  රටක් ලෙස අපි සෞඛ්‍ය  සේවාව අතින් විශිෂ්ට තැනක පසුවන්නෙමු. විශේෂයෙන් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සෞඛ්‍ය ක්ෂේත්‍රය සීඝ්‍ර වර්ධනයක් පෙන්වීය. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක මිල අඩු කිරීමේ සිට විශේෂයෙන් රාජ්‍ය සෞඛ්‍ය සේවාව ලබා ගන්නා සාතිශය බහුතරයකට සෞඛ්‍ය සහන රැසක් හිමි විය. එහි තවත් පියවර කිහිපයක් ඉදිරියට යමින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන  සංස්ථාව (SPMC) රටට අවශ්‍ය ඖෂධ රැසක් නිෂ්පාදනය කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රය සෑම අතින්ම සන්නද්ධ කිරීමට ඉතා වැදගත් වැඩකොටසක් කරමින් හිඳියි. 2020 වසර වන විට රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිපදවීමේ ඉලක්කය හඹා යන ඔවුන් මේ වන විටත් ඖෂධ නිෂ්පාදනයේ ජයග්‍රහණ රැසක් අත්පත්කර ගෙන හමාරයි. 
මේ වන විට ශ්‍රී ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදකයා වන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව බිහි වීමට පදනම වැටෙන්නේ  මහාචාර්ය සේනක බිබිලේ  මහතාගේ යෝජනාවකිනි.  ශ්‍රී ලාංකිකයින්ට  සාධාරණ මිලකට උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා   රජයට අයත් ආයතනයක අවශ්‍යතාව 1970 දශකයේදී මහාචාර්ය සේනක බිබිලේ මහතා යෝජනා කර තිබුණි. ඒ අනුව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ජපන් මූල්‍ය ආධාර මඟින්  1987 වර්ෂයේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අංශයක් වශයෙන් පිහිටුවා තිබේ. 87න් ඇරඹි එම ගමන අද දවස වන විට බොහෝ අභියෝග, බාධා මැද සන්ධිස්ථානයකට පැමිණ ඇත. අද ඊට නායකත්වය දෙමින් කටයුතු කරන්නේ සභාපති, වෛද්‍ය සයුරු සමරසුන්දර මහතාය. 
 
සහන මිලකට මෙන්ම විශේෂයෙන් ගුණත්වයෙන් යුතු ඖෂධ මහජනතාවට ලබා දීමේ එම අභියෝගාත්මක එමෙන්ම සංකීර්ණ ක්‍රියාවලිය පිළිබඳ අපි වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා සමඟ කතාබහ කළෙමු. මේ එම වදන් පෙළගැස්මයි.
 
ආයතනයේ ආරම්භය සහ මේ වන විට පැමිණ ඇති ගමන් මඟ පිළිබඳව සටහනක් තබමින්ම අපි කතා බහ ආරම්භ කරමු ?
 
sayuru 11987 ජපාන ආධාර මගින් තමයි මේ ආයතනය ගොඩනැගෙන්නේ. ඒ කාලේ  සේවක පිරිස 20ක් විතර හිටියේ. මේ වෙද්දී, 2014 ට සාපේක්ෂව නිෂ්පාදනය දෙගුණයක් වැඩි වෙලා තියෙනවා. 2018 මැද සිට හතර ගුණයක් දක්වා වැඩි කරනවා. බිලියන 1.2 ක ජයිකා ණයක් ගත්තා තව දියුණු කරන්න.. එකම කර්මාන්තශාලාව තුළ තමයි මේ නිෂ්පාදන ධාරිතාව වැඩිකරන්නෙ. 
 
ලාභය පිළිබඳ කතා කළොත් 2015 වසරේ රු.මිලියන 214ක් වගේ තිබුණේ. 2016 - 2017 වෙද්දී මිලියන 460 දක්වා විතර වැඩි කළා. අලෙවිය 2017 මිලියන 3.1ක්. ඉතිහාසයේ වැඩිම අලෙවිය. මේක මගේ ජයග්‍රහණයක් විතරක් නෙවෙයි. මෙතන සියලුම  සේවකයන්ගේ ජයග්‍රහණයක්. ඔවුන් තමයි මේ වැඩේට උර දුන්නේ. හොඳ සේවක පිරිසක් ඉන්නවා.  2020 වෙද්දී ලංකාවට අවශ්‍ය සියලුම ඖෂධ නිෂ්පාදනය කරන්න වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම අපනයනය කරන්නත් පටන් ගන්නවා. මගේ සැලැස්මට අනුව මේ කර්මාන්තශාලාවෙන් නිෂ්පාදනයන්ගෙන් හතරෙන් එකක් පෞද්ගලික අංශයට විකුණන ඕනේ. පිටරට යවන්නත් ඕනේ. නිෂ්පාදනාගාර වලට මම හැම විටම කියන දෙයක් තමයි පිටරට වලට යවන්න පුළුවන් මට්ටමේ ඖෂධ හදන්න කියන එක. ගිය අවුරුදු දෙක ඇතුළත නව කර්මාන්තශාලා තුනක් ආරම්භ වුණා. සාමාන්‍යයෙන්  කර්මාන්තශාලාවක් ආරම්භ කරන්න අවුරුදු දෙකක් විතර යනවා. පහසු කටයුත්තක් නවෙයි. ඒ නිසා තමයි අපි 2020 ඉලක්ක කරලා තියෙන්නේ. 
 
ගිය වසර වන විට පටන් ගත්ත කර්මාන්තශාලා තුන නිසා පමණක් ලංකාවෙන් පිටරටට යන මුදල් වලින් බිලියන 1.5ක් විතර ඉතිරි වුණා. ලංකාවේ දී ඖෂධ නිෂ්පාදනය කරද්දී තියෙන ලොකුම ගැටලුව තමයි පිටරටින් ඖෂධ ගෙන්වන මාෆියාවට සම්බන්ධ වී සිටින අය මේක අපිට කරන්න දුන්නේ නැහැ. ඔවුන් මුලින් ඉදිරිපත් කළ තර්කය  තමයි ලංකාවේ ඖෂධ නිෂ්පාදනය කර වැඩක් නැහැ. වියදම වැඩියි කියන කාරණය. ඇමතිතුමා  වගේම ජනාධිපතිතුමාත් විශාල සහයෝගයක් ලබා දුන්නා.  නමුත් මම හැමදාම කියන දෙයක් තමයි  ඖෂධ නිෂ්පාදනය කියන්නේ ලාභය ගන්න එකම නෙවෙයි ලොකු තාක්ෂණයකුත් ඒ සමඟ  ලංකාවට එනවා කියන එක. අනික ලොවම පිළිගත් රැකියා අවස්ථා.  අනික විදේශ විනිමය. මිල ටිකක්  වැඩි වුණත් එය නැවත ලැබෙනේ රටට. එකෙන් වෙන්නේ ආණ්ඩුවේ  ආයතනයක ලාභය වැඩි වන එක. මේක .පුද්ගලයන්ගෙන් අයකරගනිමක් නැහැ. නොමිලේ දෙන්නේ. ආණ්ඩුව තමයි මිලදී ගන්නේ. 
 
ඖෂධ නිෂ්පාදනය වැඩි කරන සැලැස්ම පිළිබඳව කතා කළොත් ?
 
හොරණ කර්මාන්තශාලාවක් ආරම්භ කළා ප්‍රතිජීවක හදන. මේක හැදුවෙත් ලාංකිකයෙක්. අවුරුදු 35ක විතර කෙනෙක්. එය ලොකු අවධානමක් ගැනීමක්. කවුරුත් හිතුවේ  නැහැ ලංකාවේ  මෙහෙම ප්‍රතිජීවක  හදන්න පුළුවන් වෙයි කියලා. මේ කර්මාන්තශාලාව හදද්දී තිබුණේ නිෂ්පාදනයෙන් තුනෙන් එකයි රටට අවශ්‍ය. ඒ නිසා හදලා වැඩක් නැහැ වගේ තත්ත්වයක් තිබුණේ. අපිත් එක්ක කතා කරද්දී මම කිව්වේ තුනෙන් එක අපි මිලදී ගන්නවා. ඔයා පිරිවැය ඒ ගානට තියාගන්න කියල.  ඒ අතරේ පිටරට යවන්න පුළුවන් විදිහේ නිෂ්පාදනය වැඩි කරන්න කියලා. මේ වෙද්දී ඔහු යුරෝපයේ රටවලට ගිහින් සාකච්ජා කරනවා මේ ප්‍රතිජීවක  විකුණන්න. මේක හොඳ කර්මාන්තයක්.  බය නැතිව කරන්න ඕනේ. මේ වෙද්දී අපි පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය  එකතු වෙලා වැඩේ කරගෙන යනවා. තවත් කාරණයක් තමයි ඖෂධ නිෂ්පාදනය කරද්දී මිනිස්සුන්ට බයක් තියෙනවා රසායනික ද්‍රව්‍ය  තමයි නැවත් පරිසරයට යන්නේ කියලා. දැන් කැළණි ගඟ දිගේ බැලුවොත් කොයිතරම් ඩයි  කර්මාන්තශාලා තියෙනවාද? ඔක්කොම යන්නේ ගඟටනේ. හැබැයි ඖෂධ නිෂ්පාදනයේදී එහෙම නැහැ. නවතම රසායනාගාර තාක්ෂණය අනුව මෙතනින් පිටවෙන ඒ වතුර බොන්න පුළුවන්. මේක සාමානය  කෙනෙක්ට තේරෙන්නේ නැහැ. 
 
එක එක තැන්වල හතු  පිපෙනවා වගේ කර්මාන්තශාලා හදන්නේ නැතුව පළමුවෙනි වතාවට ලංකාවේ ඖෂධ කර්මාන්ත පුරයක් හැදුවා. වැලිපැන්න ප්‍රදේශයේ  තියෙන්නේ. මෙතන කර්මාන්ත ශාලා 17 ක් දාන්න සැලසුම් කරලා තියන්නේ. මේ කර්මාන්තශාලා 17 ම හදන ඖෂධ එහිම තියෙන රසායනාගාරවල තත්ත්ව පාලනයට යටත්.
 
sayuru 2ඇයි තාමත් ඖෂධ නාමය භාවිතා කරන්න බැරිවෙලා තියෙන්නේ ?
 
මේ සියල්ල තියෙන්නේ සේනක බිබිලේ මැතිතුමාගේ ඖෂධ ප්‍රතිපත්තියේ . මේක මෙතෙක් කාලයකට ලංකාවේ එක සෞඛ්‍ය  ඇමතිවරයෙකුටවත් කරගන්න බැරි වුණ දෙයක්. අපේ ඇමතිතුමා තමයි එය ක්‍රියාත්මක  කළේ. ඖෂධ විවිධ මිල ගණන් යටතේ  පවතින නිසා අපි තීරණය කරලා තියෙනවා ඖෂධ ඖෂධීය නාමයෙන්ම ලබා දිය යුතුයි  කියලා. හැබැයි මේක ඇමතිතුමාට කරගන්න බැරි වුණා. සමහර වෛද්‍යවරු කිව්වා සමහර බෙහෙත් තියෙනවා ගණන් අඩුයි. හැබැයි මගේ ලෙඩා ඔපරේෂන්  එකක් කරලා හොඳ බෙහෙත් දුන්නේ නැත්නම් ඒ ඔපරේෂන්  එකෙන් වැඩකුත් නැහැ කියලා. ඒ නිසා වෙළෙඳපොලේ හොඳ බෙහෙත් වගේම හොඳ නැති බෙහෙතුත් තියෙනවා. ලංකාවට ගේන හැම බෙහෙතකම  තත්ත්වය බලන්න අපිට විදිහක් නැහැ. රට තුළම  බෙහෙත්  නිෂ්පාදනය වෙද්දී ඒ ප්‍රශ්නෙටත් විසඳුම් ලැබෙනවා. ඒ තැනට  අපි 2020 දී එනවා.
 
සාමානයයෙන් ඖෂධ ගෙන්වීමට පෙර ඒ සමාගම් වල ලියාපදිංචියේ සිට දේවල් බලනවා. ලංකාවට  ගේන හැම ඖෂධයක්ම රසායනාගාර ඇතුළේ තත්ත්ව පාලනයක් කරන්න බැහැ. එහෙම රසායනාගාර පහසුකම් තාම නැහැ. දැනට චීන ආධාර වලින් රසායනාගාරයක් හදාගෙන යනවා. ඒ රසායනාගාරය ආවට පස්සේ මේ ගැටලුව නැහැ. සමහර බෙහෙත් තියෙනවා ඒවා හදන්න අවශ්‍ය  මූල ද්‍රව්‍ය ගණන් බෙහෙතට වඩා. එතකොට අපි කියනවා හරි මේක තත්ත්ව පාලනය බලන්න කියලා. එක නැතිකරන්න පුළුවන් එකම විදිහ තමයි රසායනාගාර පහසුකම් හදන එක. එහෙම කියලා මම කියන්නේ නැහැ ලංකාවට ගේන ගෙහෙත් ඔක්කොම බාල තත්ත්වයේ තියෙන්නේ කියලා. ඖෂධීය නාමයෙන් ලියන්න බැරිවුණ හේතුව ඕක. 
 
සාමාන්‍ය කෙනෙකුට හිතාගත නොහැකි තාක්ෂණයක් මෙහි තිබෙනවා. අපිට පුළුවන්ද එතැනට ළඟා වෙන්න?
 
මේ ක්ෂේත්‍රය ඇවිල්ලා දවසින් ඉගෙනගන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමහරු තාම බයයි මේකට එන්න. මොකද තාකෂණය නැති නිසා. මෙතැනදී අපි සලකා බලන්නේ ලෝකයේ තාක්ෂණයෙන් දියුණු උපදේශකවරු ගැන. එයාලත් එක්ක තමයි තාක්ෂණය මෙහෙට ගේන්නේ. මේ ආයතනයේ  තියෙනවා  වට්ටෝරු අංශයක්. මම හැමවෙලාවෙම කියන්නේ අවුරුද්දට මට අලුත් බෙහෙත් වර්ග 5ක් ඕනේ කියලා. මෙයාලා මුළු කාලයම යොදවන්නේ අලුත් බෙහෙත් නිෂ්පාදනය කරන්න.  අපි හැම වෙලාවේම බලන්න ඕනේ ඉස්සරහට අවශ්‍ය  වෙන ඖෂධ නිෂ්පාදනය කරන්න. ඖෂධ වල වුනත් ජෙනරේෂන් වෙනස් වෙනවා. අපි අලුත් තාක්ෂණය අරගෙන දියුණු වුණේ නැත්නමම් අපිට ලෝකයත් එක්ක යන්න බැහැ. අනිත් පැත්තෙන් ඒක  රජයේ රෝහල් වලට  එන අයට කරන අසාධාරණයක්. 
 
සාමාන්‍ය ජනතාව තුළ මිලෙන් වැඩි ආනයනික ඖෂධ පිළිබඳ යම් විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. දේශීය නිෂ්පාදනයට වඩා  ආනයනික ඖෂධ දිහා ඔවුන් ගොඩනැගුණු වෙනත් විශ්වාසයකින් බලන්නේ. ඇතැම් විට මිල නිසා එම ඖෂධ ලබා ගන්නේ නැහැ. මේ තත්ත්වය ගැන ඔබේ අදහස මොකක්ද?
 
රජයේ බෙහෙත් ජාති දෙකක තියෙනවා. ගොඩක් අය රජයේ බෙහෙත් කියලා කතා කරන්නේ SPC බෙහෙත් වලට. මේවා ලංකාවේ බෙහෙත් නෙවෙයි. පිටරටින් ගෙන්වන ඒවා. SPC නමට පැක් කරලා දෙන බෙහෙත්. රජයේ බෙහෙත් හදන්නේ අපි විතරයි. අපේ තත්ත්ව පාලනයේදී  අමු ද්‍රව්‍යයක් ගනිද්දී ඒක ගෙනල්ල පරික්ෂා කරනවා. බෙහෙත් හදාගෙන  යද්දී ඒක පරික්ෂා කරනවා. අපේ ප්‍රතික්ෂේප වීම් 1%ක් වත් නැහැ. ලංකාවේ දැනට ඉන්නවා ඖෂධ නිෂ්පාදකයින් 11ක්.මේ සියලුම දෙනා  අතරින් අපි තමයි ගොඩක් ඉස්සරහින් ඉන්නේ. අපි බය නැතිව කියනවා ලංකාවේ නිෂ්පාදනය කරන බෙහෙත් ගන්න ඒ ගැන 100%ක් අපිට වගවෙන්න පුළුවන්.  මම මෙහෙම වෙනසක් කළා. ඇත්තටම අපේ බෙහෙත් ඇසුරුම් දැක්කමහ ඒ බෙහෙත් බොන්න හිතෙන්නේ නැහැ. බෙහෙතේ ප්‍රශ්නයක් නෙවෙයි. ඇසුරුමේ පෙනුම මදිකම. මම පෞද්ගලික අංශයේ වගේ  ඇසුරුම වෙනස් කළා. සමහරුන්ට ඒක දැක්කහම  හිතෙන්නේ නැහැ ඒක ලංකාවේ හදපු එකක කියලා. හොඳට විකිණෙනවා. 
 
උදාහරණයක් කියන්නම් ප්‍රතිජීවකයක් තිබුණා එකේ මිල රු  70යි. ඇමතිතුමා කිව්වා රු .30ට අඩුකරන්න කියලා. ඔවුන් කිව්වා බැහැ කියලා. පස්සේ මම බැලුවා ඒක මෙතන හදන්න මට යන්නේ රු 11යි. රු. 20 ට දුන්නත් ප්‍රශ්නයක් නැහැ. රජයේ රෝහල් වලට ඒ බෙහෙත් මිලියන 40ක් විකිණෙනවා. හිතන්න වැය වෙන මුදල ගැන. ඇයි බැරි අපි මෙහෙ නිෂ්පාදනය කරලා අර වැඩි වෙන මුදලින් මාර්කටින් කරලා මිනිස්සුන්ගේ ඔලු හදන්න. ඒ ප්‍රතිජීවකය  හදන්න අමුද්‍රව්‍ය  ගන්න තැනින් තමයි මමත් ගන්නේ. යොදන ප්‍රමාණයත් එකයි. සමහර ආයතන තියෙනවා බෙහෙත් වර්ග තුනයි අලෙවි කරන්නේ. මාර්කටින් වලට වියදම් කරනවා මිලියන 350ක් 400ක්. සාමාන්‍යයෙන්  ඒවා පත්තර වල ඇඩ්  එකකවත් යන්නේ නැහැ. කොහොමද එතකොට ඒක විකුණන්නේ. කොහොමත් කවද හරි ලංකාව යන්න ඕනේ ගුණාත්මකභාවය තියාගෙන  ඖෂධ නාමයෙන් බෙහෙත් දෙන තැනට.
 
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන  සංස්ථාව මේ වෙද්දී මොනවගේ ඖෂධ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවාද ?
 
sayuru 3අපි බෙහෙත් වර්ග 57ක් නිෂ්පාදනය කරනවා. පෙති ,කරල් මම පටන් ගන්න කාලේ මිලියන 500 හැදුවේ. ගිය අවුරුද්ද වෙද්දී බිලියන 2ට වැඩි වුණා. මේ අවුරුද්දේ වැඩ සියල්ල ඉවරවෙද්දි බිලියන 4ක් කරනවා. එකෙන් පෙති, කරල් බිලියන 1ක් පෞද්ගලික අංශයට විකුණනවා. බිලියන තුනක් දෙනවා ආණ්ඩුවට. සීනි වලට ගන්න බෙහෙත්, ප්‍රෙෂර්  එකට ගන්න බෙහෙත්, කොලෙස්ටරෝල් වලට ගන්න බෙහෙත් විදිහට ගොඩක් බෙහෙත් වර්ග ආවරණය වෙනවා. ඒ කියන්නේ අත්‍යවශ්‍ය බෙහෙත්. ඒ වගේම තමයි අලුතෙන් එන නිෂ්පාදනාගාර එක අංශයකට විශේෂ කිරීමේ සැලැස්මක් තියෙනවා. ඒ කියන්නේ කොලෙස්ටරෝල්, පපුවේ අමාරුවට වගේ බෙහෙත් හදන කර්මාන්තශාලාවක්. ඒ අයට තියෙන්නේ බෙහෙත් වර්ග 5ක් හෝ 10ක් නම්  ඒකට ඔවුන් විශේෂ කරනවා. එතකොට අපිට පුළුවන් මෙන්න මේ ලෙඩේට බෙහෙත ලංකාවේ අහවල් තැන  හදනවා කියලා ප්‍රචලිත කරන්න. අපි ඉස්සරහට යන්න ඕනේ ඒ විදිහට. 
 
ඖෂධ නිෂ්පාදනය කියන්නේ විශාල කර්මාන්තයක්. මෙවැනි කර්මාන්තයක නිෂ්පාදනය වගේම අනිත් පැත්තෙන් සේවක සුභසාධනයත් වැදගත් තවත් කාරණයක් තමයි මානව ප්‍රාග්ධනය වැඩිකරගන්න මොනවද කරන්නේ කියන කාරණය ?
 
රජයේ ආයතනයක් විදිහට අපි ඉන්නේ B ශ්රේණියේ.ලාභයත් එක්කබලද්දී අපි දැන් A ශ්‍රේණියේ  ආයතනයකට යන්න ඕනේ. A ශ්‍රේණියේ  ආයතනයකට යන්න බැරි අවම වශයෙන් සේවකයෝ 1000ක් වත් ඉන්න ඕනේ. මම මේක කරන්නේ සේවකයෝ 200න් විතර. A ශ්‍රේණියේ මුල්‍ය  වර්ධනයකුත් වගේම පහසුකම් අපි දීලා තියෙනවා. මේ ක්ෂේත්‍රයේ  ඉන්න පළපුරුදුම සේවකයෝ ටික අපි ළඟ ඉන්නේ. අලුතෙන් එන කර්මාන්ත්ශාවට සේවකයන්ගේ අඩුපාඩුවක් තියෙනවා. ඒ නිසා මම පටන් ගත්තා ඖෂධ නිෂ්පාදනය කිරීමේ පාඨමලාකරන පාසලක්. බුලත්සිංහල තමයි මේක ගොඩනැගෙන්නේ. මෙතන තියෙනව නිෂ්පාදනාගාරයක් කොහොමද තියෙන්නේ, ෆාමසියක්  කොහොමද තියෙන්නේ වගේ දේවලුත්ව. ට්ටෝරුවක් කොහොමද කියවන්නේ වගේ දේවල් උගන්වනවා. අලුතෙන් කර්මාන්තශාලාවක් දාද්දි කොහෙන්වත් සේවකයෝ ගෙන්නඅවශ්‍ය  නැහැ. මේ වගේ ආයතන වලින් මිනිස්සු එළියට ගන්න ඕනෙත් නැහැ. දකුණු ආසියාවේ එහෙම පාසලක් නැහැ ඖෂධ නිෂ්පාදනය වෙනුවෙන්.
 
පර්යේෂණ පැත්ත දියුණු කරන්න ඔබ මොනවගේ වැඩපිළිවෙලකද ඉන්නේ?  
 
අපි මේ වෙද්දී සින්ටෙක් ආයතනයත් එක්ක එකතුවෙලා බලනවා මෝෆින් හදන්න පුලුවන්ද කියලා. මෝෆින් හැමතැනම හදන්නේ නැහැ. ගංජා පැළ  ගත්තොත් ඊශ්‍රායලය ඇමෙරිකාව වගේ රටවල් ගොඩක් අත්‍යාවශ්‍ය  බෙහෙත් ගංජා යොදාගෙන හදනවා. ඇමතිතුමා මේ යෝජනාව  කැබිනට් එකට දාලා තියෙනවා. හමුදාව එක්ක එකතු වෙලා හරි මේක කළානම්  ඒ වගේ අමුද්‍රව්‍ය  ලංකාවේ හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මුහුදේ තියෙන සමහර පැළෑටි වලින් පිළිකා නාශක බෙහෙත් හදන්න පුළුවන්. වැදගත් දෙයක් තමයි විද්‍යා හා  හාතාක්ෂණ අමාත්‍යංශයේ  සහය. 
 
රජයේ සහයෝගය ගැන කතා නොකළොත් එය අඩුවක්?
 
මේක ඇත්තටම ඇමතිතුමාගේ සංකල්පයක්. ජනාධිපතිතුමාගේ හොඳ සහයක් තියෙනවා. එතුමාටත් සෞඛ්‍ය  ඇමති වෙලා ඉන්න කාලේ මේක කරන්න වුවමනාව තිබුණා. පෞද්ගලික අංශයේ සමහර පැතිවලින් අපිට ගොඩක් ගැටළු ඇතිකරනවා මේක නවත්වන්න. ඕන  කෙනෙකුට තේරෙනවා  බිලියන 65ක බෙහෙත් පිට රටින් ගෙන්වලා එකපාර ඒක  රට තුළ හදන්න හැදුවාම මොනවගේ තත්ත්වයක්ද  මතුවෙන්නේ  කියලා.
 
ආශිකා බ්‍රාහ්මණ 
ජායාරූප - අජිත් සෙනෙවිරත්න
 
sayuru 4

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top