1150 x 80 px
තාත්තා නායකයා වෙලා හිටියා කියලා පුතාත් නායකයා කරන්න අවශ්‍ය නැහැ - රවී කරුණානායක
අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය වීමෙන් පසු ඊට සහය දුන් ආණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායමේ 16 දෙන ඉවත් වීම, ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය, ජාතික ආණ්ඩුව තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යාම හා තනිව ආණ්ඩුව පිහිටුවීම යනාදී කතා බොහොමයක් මැද මේ වන විට මෙරට දේශපාලනය දෝලනය වෙමින් තිබේ. එමෙන්ම ජනාධිපතිවරයාගේ එංගලන්ත සංචාරයෙන් පසු ඉදිරි සතියේදී නැවත පූර්ණ කැබිනට සංශෝධනයක් සිදුවීමට නියමිතය. කෙසේ වෙතත් යහපාලනය ආණ්ඩුවේ පළමු ඉනිම අවසන් වීමට ඇත්තේ තවත් මාස 18ක පමණ කාලයකි. "යහපාලනය" බලය අත්පත් කර ගැනීමෙන් පසු මේ දක්වා කාලය තුළ සිදු වූ දේවල්  මෙන්ම හෙට දිනයේදීද තවත් බොහෝ දෑ සිදුවනු ඇත. අනාවැකි කිරි ගහට ඇන්නා වාගේ හරියන්නටත් පුළුවන. වැරදෙන්නත් පුළුවන. ඒ දේශපාලනයේ ස්වභාවයයි.
මේ නොයෙක් කතන්දර මැද යහපාලන ආණ්ඩුවේ වැඩිම කතා බහකට ලක්වූ හිටපු මුදල් අමාත්‍ය  රවී කරුණානායක  මහතා සමඟ අපි මේ මොහොතේ සම්මුඛ වූයේ දේශපාලන පෙරළිකාරකම් තුළ ඔහුද බලපෑම් සහගත චරිතයක් වන නිසාවෙනි. යහපාලන ආණ්ඩුවේත්  තුළත් එක්සත් ජාතික පක්ෂයෙත්  හෙට දවස කෙබඳු තැනකට ගමන් කරාවිද?   රවී කරුණානායක හිටපු ඇමතිතුමා කියන්නේ මෙහෙම කතාවක්. 
 
මේ වෙද්දී බරපතලම දේශපාලන කාරණාවක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන  කටයුතු පත්වෙලා තිබෙනවා. විශේෂයෙන් දෙවන පෙළ මන්ත්‍රී කණ්ඩායමෙන් ඊට විශාල බලපෑමක් එල්ල වුණා. විශ්වාසභංග යෝජනාවත් සමඟ පැවති විවාදාපන්න තත්ත්වය මතුපිටට යම් තරමක් යටපත් වුවත් ඒ කතාබහ අවසන් වී නැහැ. පක්ෂයේ ප්‍රතිසංවිධානයෙන්ම අපේ කතා බහ ආරම්භ කරමු ?
 
ravi karunanayaka 1අපි පක්ෂයක් ලෙස දිගින් දිගටම පක්ෂයේ ප්‍රතිසංවිධාන  කටයුතු පිළිබඳව කතා කළා. මේ වෙද්දී ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. මේ වැඩ කටයුතු කොයිතරම් දුරට ඉක්මණින් වෙයිද කියන්න දන්නේ නැහැ. ඒ ගැන දැන්ම තීරණය කරන්න බැහැ. නමුත් රැඩිකල් වෙනසක් විය යුතුයි. මෙතැනදී අපි ජනතාවට පෙන්වීමට අවශ්‍ය  වෙනවා එක්සත් ජාතික පක්ෂය කියන්නේ නම්‍යශීලි  පොළොවේ පයගහලා ඉන්න පක්ෂයක් බව.  
 
මෙතැනදී බරපතල විවේචනයට ලක්වූ පුද්ගලයෙක් තමයි ඔබේ පක්ෂයේ නායක රටේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඔබ දැන් කියනවා පක්ෂයේ රැඩිකල් වෙනසක් ගැන. තවදුරටත් නම්‍යශීලි වියයුතු බව. ඔබ සඟවා කියන්නේ අලුත් මුහුණක අවශ්‍යතාව  වියහැකියි. ඒ කියන්නේ දැන් වික්‍රමසිංහ  මහත්මයාගේ කාලය අවසන් බවද ? 
 
මෙහෙමයි, නායකයෙක් පත්තර කෑල්ලකින් හදන්නත් බැහැ. නැතිකරන්නත් බැහැ. නමුත් නායකයෙකුගේ හැසිරීම තුළ පක්ෂයේ ස්වභාවය පෙන්නුම් කරනවා. හදන්න දෙයක් තියෙනවා නම් එක හදන්න ඕනේ. එහෙම නැතුව මූණ එක්ක තරහට නහය කපා ගෙන හරියන්නේ නැහැ. මේක තමයි අපේ පක්ෂයේ තියෙන ප්‍රශ්නය. මේක අපි නිවැරදි කර ගන්න අවශ්‍යයි. යම් නම්‍යශීලි බවක් ඇති කර ගන්න අවශ්‍යයි.  දැන් තියෙන්නේ ඒක කොහොමද කරන්නේ කියන කියන ප්‍රශ්නය. රනිල් වික්‍රමසිංහ මහත්මයට මේ වෙනස්කම් කරන්න ශක්තිය තියෙනවා. ඒ වගේම දුර්වලතාත් තියෙනවා. දුර්වලතා වලට වඩා ශක්තිමත්භාවක් තියෙනවා කියන්න අපි පිළිගන්නවා. මේ තැන තියෙන තවත් කාරණයක් තමයි හැමෝම කියනවා වෙනස් වෙන්න ඕනේ කියලා. හැබැයි අනිත් පැත්තට ඒ තැන්වලට කවුද සුදුසු කියලා ඇහුවහම ඒවාට උත්තර නැහැ. මේ තත්ත්වය තමයි අපි නැවත සාකච්ඡා කළ යුතු වෙන්නේ. 
 
ප්‍රතිසංවිධාන කමිටුවෙන් සුභවාදී ප්‍රතිචාරයක් ලැබෙයිද ? 
 
ravi karunanayaka 2ඒක තමයි අපි දැන් පළමු අදියර තියලා තියෙන්නේ. තාම අපිට කියන්න බැහැ පුද්ගලයන් විදිහට වෙනස් වෙන්නේ කවුද කියන එක. ප්‍රබලයන්  කවුද කියන එක වැඩ ටික ඉදිරියට යද්දී බලාගන්න පුළුවන්. මම කියන්නේ මුලින්ම නායකත්ව මණ්ඩලයක් හදන්න ඕනේ. එතනින් කැපී පෙනෙන පුද්ගලයා කවුද කියලා තීරණය කරන්න පුළුවන්. නැත්නම් සමහරු කියනවනේ මගේ තාත්තා මෙහෙම හිටියා අර විදිහට හිටියා කියලා. ඒවා වැඩක් නැහැ. මෙතන බලන්න ඕනේ කවුද දක්ෂයා කියන එකයි. තමන්ගේ ආසනය, කොට්ඨාසය දිනාගන්න බැරි කෙනාගෙන් වැඩක් නැහැ. සමහර අපිට ඇඟිලි දික්කරන අය අන්ත පරාජයට පත්වෙලා ඉන්න අය. ඒ දේවල් ඇත්තටම වෙනස් වෙන්න ඕනේ. 
 
යහපාලන ආණ්ඩුව විදිහට දේශපාලන සංස්කෘතිකමය වෙනස ගෙනාපු වෙලාවේ මේ දේවල් නිවැරදි කර ගන්න තිබුණා ? 
 
මම හිතන්නේ ඊට වඩා අපි තනි ආණ්ඩුවක් විදිහට වැඩ කළා නම් මීට වඩා වෙනසක් කරන්න තිබුණා. එහෙම වුණා නම් ඇත්තටම මේ තරම් ප්‍රශ්න  එන්නේ නැති වෙන්න තිබුණා කියලත් හිතෙනවා. මොකද අපි පසුගිය කාලයේ යම් පසුබෑමකට ලක් වෙන්නේ දිනලා. ජනාධිපති කියන්නේ අපේ පොදු අපේක්ෂකයා. එතනදී අපේ එකඟතාවන් තියෙනවා. එහෙම තියෙද්දිත් නිකම් බලාගෙන ඉන්න බැහැ. මම කියන්නේ අපි හවුල් ආණ්ඩුවකට නොගියා නම් තත්ත්වය මීට වඩා හොඳ වෙන්න තිබුණා. 
 
පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්න හවුල් ආණ්ඩුවට බැර කරන එක යුක්තිසහගත නැහැනේ ?
 
දැන් බලන්න මේ තරම් ප්‍රශ්න  ඇතිවෙන්න හේතුව මේ හවුල් ආණ්ඩුව නෙවෙයිද? ඇත්ත වශයෙන්ම යහපාලනය උදාවෙලා තියෙන්නේ විපක්ෂයට. ඔවුන්ට තරු පහේ පාලනය. අපිට තමයි නැත්තටම නැති වෙලා තියෙන්නේ. අපි ආණ්ඩුවක් හදලත් අපිට වැඩක් වෙලා නැහැ. අපි වගේ අය දිහා බලන්න. අපි වේදිකා හදනවා නටන්නේ වෙන වෙන අය. අපෙත් නටන්න බැරි අය නැතුව නෙවෙයි. සමහරු පරදිලාත් ජාතික ලැයිස්තුවෙන් ඇවිත් නටනවා. ජනතාවට මේ දේවල් බලා ඉන්න වෙලා තියෙන්නේ. මේවා තවත් හංගගෙන ඉන්න බැහැ. ඇත්තටම දැන් ඇති මේවා හංගගෙන හිටියා. අපිටත් කොන්දක් තියෙනවා නැගිටලා මේවා ගැන කතා කරන්න.  
 
ravi karunanayaka 3යහපාලනයේ වැරදුණ තැන මොකක්ද ?
 
මම හිතන්නේ ඉලක්කයක් තිබුණේ නැහැ. කතා කළාට ක්‍රියාවෙන්  කරන්න බැරිවුණා. දෙපැත්තටම එකට හිතන්න බැරිවෙන විදිහට අවිශ්වාසයයි වැඩි වුණේ. ජනාධිපතියි අගමැතියි දෙන්නම වැරදියි. ඒ දෙන්නා නටද්දී තැලෙන්නේ අපි. අන්තිමට ආණ්ඩුව  හදපු පක්ෂය තැලෙනවා. විපක්ෂෙට රජ සැප. මේ  යහපාලනය ගැන කතා කරන්න ඕනේ නම් ඉස්සෙල්ලා මුලින් කියපු තැනින් පටන් ගන්න. එහෙම නැතුව යහපාලනයක් අවශ්‍ය නැහැ. මම බොහොම ප්‍රසිද්ධියේ  කියන්නේ. මේකේ ඇතුළේ වැරදි තියෙනවා. ප්‍රශ්නේ  තියෙන්නේ නැති වැරදි එල්ල එල්ල ගහනවා.එහෙම වුනාම වෙන්නේ ඇත්තටම තියෙන වැරදි යටපත් වෙන එක. එක තමයි අපට තියෙන ප්‍රශ්නේ. 
 
ඔබ කියනාවා ඉලක්කයක් තිබුනේ නැහැ කියලා. එහෙම නම් මැතිවරණයට පෙර හා පසුව  වරින් වර ඉදිරිපත් කල ප්‍රතිපත්ති, ආර්ථික වැඩසටහන් බොරුවක්ද ? මොනවහරි කරන්න ඕන නිසා රටට පෙන්නපුවද ?
 
ප්‍රතිපත්ති ප්‍රකාශ  නම්  අපි ක්‍රියාත්කම කළා. අපිට ගහන්නේ අපි කරපු නිසානේ. හැබැයි ඉතින් අපි වැඩියෙන් කරලා තියෙන්නේ කයිවාරු ගහපු එක. ක්‍රියාවෙන් පෙන්නපු එක නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු ආණ්ඩුවේ අපි සමහර වෙලාවට ලක්ෂ ගණන් වියදම් කරලා ව්‍යාපෘති  පටන් අරන් තියෙනවා. නමුත් මාධ්‍යයෙන් ඒවාට ලැබුණේ  ඉඩ 10%යි. ගිය ආණ්ඩුව   මිලියන ගණන් මාධ්‍යයට  වියදම් කළා. හැබැයි මාධ්‍ය කතා කළේ  රුපියල් 10 ව්‍යාපෘති  ගැන. ඔය දෙක අතර තියෙන ප්‍රශ්නෙත්  මෙතනට බලපාලා තියෙනවා. අවුරුදු 11ට කලින් කරපු එක ගැන කතා කරනවා. අපි අවුරුදු දෙකකට කරපුව ඊට වඩා විශාලයි. නමුත්  ඒ ගැන කතා  නැහැ. මම හුඟක්  සතුටු වෙන්නේ, මුදල්  අමාත්‍යංශයේ  දණ ගස්සපු ආර්ථිකය හදලා  ගත්තේ අපි. අද රට ඉදිරියට යන්නේ අපි කරපු දේ නිසා. නමුත්  අපිව පැත්තකට දාලා නැති කට්ටිය ගැන  කතා කර කර ආණ්ඩු ගෙනියන්න හදනවා. එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් තියෙන ලොකුම දුක තමයි මේ පක්ෂයේ එදා වැඩකළේ තණ්හාවෙන්. දැන් මේක ඉරිසියාව බවට පත්වෙලා. එදා තණ්හාව  ඇතුළේ තිබුණේ තරඟකාරීත්වය. ප්‍රේමදාසලා, ලලිත්ලා, ගාමිණි දිසානායකලා, රොනී ද මැල් වගේ අය  මේක හදාගෙන ගියා . අද සම්පුර්ණයෙන්ම  වෙන්නේ අනෙකාව යටපත් කරන එක. හැකියාවට අවස්ථාව  ලබා නොදෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් මේ unp යට බෝවෙලා තියෙන රෝගය ඕක. 
 
අගමැතිවරයා නායකත්වය දුන් ආර්ථික කමිටුවේ ක්‍රියාකාරිත්වයත් බොහෝ අවස්ථා වලදී බලපෑවේ හොඳ පැත්තට නෙවෙයි. අන්තිමට ජනාධිපතිවරයා මැදිහත් වෙලා එය අහෝසි කරන තැනට පත්වෙනවා ? 
 
ලේසියෙන් චෝදනා කරන්න පුළුවන්. මම හිතන්නේ එතන වැඩවලට කල් ගත්තා වැඩියි. නිශ්චිත කාල රාමුවක් දෙන්න තිබුණා.  ඒ තත්ත්වේ ඇති කළා නම් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. මගේ අමාත්‍යාංශය  මම බොහොම සෘජුව ගෙනිච්චේ. අතපත ගගා යන්න ඇමතිවරයෙක් අවශ්‍ය  නැහැනේ. එහෙම නම් රජයේ නිලධාරීන්ගෙන්  දුවන්න පුළුවන්. මේ රටේ ලොකුම ප්‍රශ්නේ  රජයේ  නිලධාරීන්. ඔවුන් අද ජනතාව ප්‍රාණ  ඇපයට අරන් තියෙන්නේ. අද රටේ ආදායමෙන් තුනෙන් එකක්  යන්නේ රජයේ පඩි ගෙවන්න. තවත් 10% -15% යනවා පෙන්ෂන් එකට. රජයේ නිලධාරීන්ට එච්චර යද්දී අහිංසක ජනතාවට මොනවද ලැබෙන්නේ. මේක කවුරුත් අහන්නේ නැහැ. 
 
ඇයි ඔබතුමන්ලගේ නඩත්තුව. ඒකත් ලෙහෙසි පහසු නැහැනේ ? 
 
(සිනාසෙමින්) ඔබතුමාලගේ ඉතා සතුටුදායක විෂයක් නේ ඕක. නඩත්තු කරන්න බැරි අයව අයින් කරන්න ඕනේ. නඩත්තුවක නැහැ කියන්නේ නැහැ. එහෙම කිව්වොත් කියයි අපි අපිවම  ආරක්ෂා කරගන්නවා කියලා. හැබැයි නාස්තියක්  තියෙනවා. මම ඒක පිළිගන්නවා. ඒක හදන්න ඔයාලා පවා අපිත් එක්ක එකතු වෙන්න ඕනේ. බලන්න සිංගප්පුරුව, ඒ අයට ගෙවනවා නැවත හොයන්න අවශ්‍ය  නැති විදිහට. නැති හිගන්නෝ බවට පත්කලාම තමයි කොහෙන් හරි හොයන්න බලන්නේ. නැති දේ පස්සේ දුවනවා. තියෙනව නම් යන්නේ නැහැනේ. මේ රටේ දේශපාලනය කිව්වම හිතන්නේ නිකන් ඇවිල්ලා වැඩ කරන්න ඕනේ කියලා. කවුද එහෙම කරන්නේ. අපිට දේශපාලන හයියක් තියෙන්නේ පෞද්ගලික අංශයේ වැඩ කරලා. ඒ ශක්තියෙන් අපි වැඩකරගෙන යනවා. ඒ කරන අපටත් ගහනවනේ. දැන් පේනවනේ අපිව දේශපාලන හිගන්නෝ බවට පත්කරලානේ. 
 
ඔබ ඔය කියන තත්ත්වයට ආණ්ඩුව පත්වෙන්න ප්‍රධානම හේතුවක් විදිහට බිම් මට්ටමේ සිටම පෙන්නුම් කළේ බලයට පත්වෙන්න කලින් කියපු දේ කළා නම් ඔහොම වෙන්නේ නැහැ කියලා. වංචා,දුෂණ වලට එරෙහි  පාලනයක්  ලෙස බලයට පත් වුණත් අන්තිමට හොරු ආරක්ෂා කළා කියන චෝදනාව නැගුණේ. අදටත් ඒ චෝදනාව එපරිද්දෙන්ම තිබෙනවා ?
 
ravi karunanayaka 4මම කාටවත් චෝදනා කරන්නේ නැහැ. මොකද මාවත් අභූත චෝදනා වලට ලක්වෙලානේ ඉන්නේ. මම කියන්නේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ අවෛරයෙන් වෛරය සන්සිඳේ කියලා කතාවක් තියෙනවානේ. ඒ නිසා ඒ ගැන මම බලන්නේ වෙනත් දෘෂ්ටි  කෝණයකින්. මුළු රටම දැන් ලොකු ප්‍රශ්නෙක ඉන්නේ. අපි ඔක්කොම හිතලා වැඩ කළේ  නැත්නම්  ලොකු අර්බුදයකට ලක්වෙනවා. දැන් ඔය බොහොම ප්‍රසාදයට  ලක්වෙන ප්‍රකාශ කරලා වැඩක් නැහැ. මොකක්ද රටට හොදක් වෙන්නේ කියන එක තීරණය කරන්න ඕනේ. මම 2015 මුදල් අමාත්‍යාංශය  හදලා ගන්නකොට බැන්නා. නමුත් දැන්  ඇයි  ඒක නැත්තේ කියන ප්‍රශ්නේ ඇවිත් තියෙනවනේ. බලය හොයන එක නෙවෙයි රට ගැන  හිතල වැඩ කරන්න ඕනේ. එක රනිල් වික්‍රමසිංහටත්, මෛත්‍රීපාල සිරිසේනටත්, මහින්ද රාජපක්ෂටත්,  අනුර දිසානායකටත් පොදුයි.
 
අපිට තියෙන්න ඕනේ අවුරු 10ක වත් ඉදිරි වැඩපිළිවෙලක්. එහෙම නැති වුනාම එක පැත්තකින් දෙමළ  මිනිස්සු හිතනවා ඔවුන්ගේ ප්‍රශ්න බලන්නේ නැහැ කියල. දකුණ  තවත් එකක්  කියනවා. අනිත් පැත්තෙන් මුස්ලිම් මිනිස්සු හිතනවා ඔවුන් නොසලකා හරිනවා කියලා. එහෙම නෙවෙයි මේ හැම තත්ත්වයක් දිහාම  බලලා ඕනේ තීරණ අරගෙන වැඩ කරන්න. ඔහේ යන්න ඇරලා හරියන්නේ නැහැ. මේ ඇත්ත ගැන කියද්දී අපිට දමාගෙන ගහනවා. ගැහුවත් කමක් නැහැ. දැන් අපි මේ ඇත්තට මුහුණ දෙන්න ඕනේ. 
 
වසර තුනකට අසන්න කාලයක් ගතවෙලත් ඇයි ශ්‍රීලනිප - එජප කණ්ඩායම් දෙකට එක් ස්ථාවරයකට එන්න බැරි වෙලා තියෙන්නේ ? 
 
ඇත්තටම හරිම කණගාටු තත්ත්වයක්. ලෝකයම අපි දෙස බලාගෙන සිටිනවා. මෙහෙම විහිළු සපයන තත්ත්වයක් ඇති වෙයි කියලා කවුරුත් හිතුවේ නැහැ. 
 
විශ්වාසභංගයෙන්  පස්සෙන් කිව්වා ජාතික ආණ්ඩුව පැත්තකින්   තියලා තනි ආණ්ඩුවක් හදනවා කියලා. දැන් ශ්‍රීලනිප කණ්ඩායමත් ඒක කියනවා. බලාගෙන ගිහාම කියන තරම් ලේසියෙන් කාටවත් ඒ වැඩෙත් කරන්න බැහැ වගේ ?
 
ඔව්, අපිට ආණ්ඩුවක්  හදන්න පුළුවන්. 2015ත් හදන්න තිබුණා. නමුත් මම තාමත් කියනවා එහෙම තනි ආණ්ඩුවක් හදන්නේ නැතුව මේ ජඩ දේශපාලනය පැත්තකින් තියලා එකට හිතන්න පුළුවන් අවස්ථාවක්  ඇති කරලා  මේ මාස 18 තුළ පෙරළියක් ඇති  කරන්න වැඩ කරමු කියලා. ඕනා කමක් තියේ නම්  ඒක කරන්න පුළුවන්. 
 
නමුත් මේ වෙද්දී ආණ්ඩුව නියෝජනය කළ ශ්‍රීලනිප කණ්ඩායමකුත් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙලා. විරෝධතා උත්සන්න වෙමින් තියෙන වටපිටාවක් ගොඩනැගෙමින් තියෙන්නේ. අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර වුණත් සම්මුතිකාමී බවක් පෙනෙන්නට නැහැ ? 
 
මතක තියා ගන්න 2014 රාජපක්ෂ පරද්දන්න පුළුවන් වුණා  නම් මාස 18 කාලයක් කියන්නේ හුඟක්  දේවල් වෙන්න පුළුවන්. ජනතාව දැනගන්න  ඕනේ වැඩියෙන් කතා කරන අය නෙවෙයි රටට ආදරය  කරන්නේ කියන එක. වැඩ කරන යයි රටට ආදරේ. වැඩ කරන අයත් තාමව ජයග්‍රහණය  කරන්නද නැත්නම් රට ජයග්‍රහණය  කරන්නද වැඩ කරන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ.  ඒ වගේ 10ක් ඇති මේ රට හදන්න. ඒ වෙනස කරන්න මේ කාලය ඇති. මම මේ කතා කරන්නේ දුකින්ම  නෙවෙයි. නමුත් වැඩකරන්න ගිහින් යම්  අසාධාරණකම් වලට ලක්වෙලා. තවත් පැත්තකින් පක්ෂේ ආරක්ෂා කරන්න ගිහින් අපට නිකරුණේ ගහලා තියෙන්නේ. මට ඒක කියන්න ශක්තියක් තියෙනවා. මට ඇගිල්ලක් දික් කරන විට තවත් ඇඟිලි හතරක් ඔවුන්ගේ  පැත්තට. එදා මම වැඩකරද්දී මට ඇඟිල්ල දික් කරපු අය අද කොහෙද ඉන්නේ කියල පෙන්න තියෙනවනේ. පහුගිය  පළාත් පාලන මැතිවරණයේත් 100% කොට්ඨාසේ  දිනුවේ මම. කෝ දැන් ඔය අභූත චෝදනා. 
 
ඉදිරි කැබිනට සංශෝධනයේදීවත් සාධාරණයක් ඉටු වෙයිද ?
 
අනිවාර්යයෙන්ම අසාධාරණය සාධාරණීකරණය කරන්න වෙනවා. ඉස්සෙල්ලම අහන්න ඕනේ ඇයි මගෙන් අමාත්‍යධූරය  ගැලෙව්වේ  කියලා. චෝදනා කරපුවා ගැන අනිවාර්යයෙන් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. වෙන දෙයක් එපා අපිව පැත්තකට කරපු දවසේ පටන්  මේකට හෙනයක් වැදිලා වගේ තියෙන්නේ. 
 
නමුත් ඉතින් එක්සත් ජාතික පක්ෂය පැත්තෙන්වත් රවී කරුණානායක වෙනුවෙන් පෙනී සිටින බවක් පෙනෙන්න නැහැනේ ?
 
අපේ පක්ෂයේත් කළු බැටළුවෝ ඉන්නවනේ. ඉරිසියාවෙන් පෙළෙන අය.
 
ආණ්ඩුව පොරොන්දු වුණ  විධායකය අහෝසි කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනය දැන්  ජවිපෙන් ගෙන්න සූදානමක් තියෙනවා. එජාපයේ සහය හිමි වෙයිද?  
 
ravi karunanayaka 5අනිවාර්යයෙන්ම එය  ජයග්‍රහණය  කරවන්න 100%ක් වැඩ කරන්න ඕනේ. එහම සහය දෙන්න බැරි කෙනෙක් ඉන්නව නම් ඒ දේශද්‍රෝහියෙක් . අපි ආවේ මේක අහෝසි කරන්න. තියාගන්න කිසිම හේතුවක් නැහැ. චන්ද්‍රිකා  කුමාරතුංගත් පොරොන්දු වුණා විධායකය අහෝසි කරන්න. දෙපාරක් ආවා. නමුත් කළේ නැහැ.  මහින්ද රාජපක්ෂ දෙපාරක් ඇවිල්ලත් එය කලේ නැහැ. දැන් එ්ක අහෝසි කරන්නම අවශ්‍යයි. හැංගි හොරා නෙවෙයි අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඕනේ. ඒක කරන්න බැරි වුනොත් නැවත රටේ වෛරයක් ඇති වෙනවා. මේ ඒක පුද්ගල රඟපාම අවසන් කරන්නම ඕනේ. 
 
විධායකය අහෝසි කරන එකට එරෙහි කණ්ඩායම දිගින් දිගටම කියන්නේ ඉන් රට බෙදෙනවා කියලා. බෙදුම්වාදය පෝෂණය වෙනවා කියලා. ඇයි තාමත් මේ කාරණා වල ඇත්ත නැත්ත ජනතාවට නිවැරදිව සන්නිවේදනය නොකරන්නේ ?
 
විධායක ජනාධිපතිධූරය හැදුවට පස්සේ තමයි ඔය බෙදීම ඇති වුණේ .1978න් පස්සෙනේ බෙදුම්වාදය ඇති වෙන්න පටන් ගත්තේ. ඊට කලින් එහෙම තත්ත්වයක් තිබුණේ නැහැනේ. ඕවා  බේබද්දෙක් ලයිට්  කණුවක් අල්ලාගෙන නැගිටින්න  හදනවා වගේ කතා. රටේ ඒකීය භාවය ඇති කළේ කවුද,ජේ ආර් ජයවර්ධන . දැන් මේක ගෙනාපු අපිම කියනව නම් මේක අහෝසි කරන්න ඕනේ කියලා අපට ඇගිල්ල දික්කරන්න අවශ්‍ය නැහැ. 
 
ආශිකා බ්‍රාහ්මණ 
ජායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන 
 
ravi karunanayaka 6
ravi karunanayaka 7
ravi karunanayaka 8

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top