බෝම්බ ප්‍රහාර වලට ලක් වෙමින් දිවි නොතකා යුද පීඩිත භූමීයේ සේවය කළ තමන් ඇතුලු වෛද්‍ය වරුන් සීමිත පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගැනීමේ වගකීම වෛද්‍ය සංගමය විසින් පැහැර හරින ලද බව ලන්ඩනයේ ගගන රුපවාහිනී මැදිරියේ දී විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මුලතිව් දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්යක්ෂ තුරෙයිරාජා වර්ධරාජා ප්‍රකාශ කළේය.
යුද්ධයේ තොරතුරු හෙළි කිරීම
උතුරෙන් පිට ස්වාධීන මාධ්‍යවේදීන්ට ඇතුල් වීමට අවසර දෙනු නොලැබූ යුද කලාපයේ සිදුවන දෑ පිළිබඳ එදිනෙදා තොරතුරු බාහිර ලෝකයට හෙළි කරනු ලැබුවේ දොස්තර වර්ධරාජා ඇතුලු වෛද්‍යවරුන්ය.
යුද්ධයේ වෙඩි බෝම්බ වලින් ආතුරවූ වන්නි වාසීන් ප්‍රතිකාර සොයා පැමිණි රජයේ රෝහල් රජයේම ආරක්ෂක හමුදා ප්‍රහාරයට දිගටම ගොදුරු වන බව හෙළි කරමින් දොස්තර වර්ධරාජා ඇතුලු අනිකුත් වෛද්‍යවරුන් නීති පතා ඉල්ලීම් කළේ එම ප්‍රහාර අත් හිටුවන ලෙසයි. රෝහල්ද පිහිටි ජනාකීර්ණ ප්‍රදේශ වලට තම හමුදා බර අවි වලින් පහර දෙන වග රජය විසින් තරයේ ප්‍රතික්ෂේප කරන ලදී.
එසේ වෙතත්, රජය රෝහල් වෙත බර අවි ප්‍රහාර එල්ල කළ වග එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලේඛන ගත කොට තිබෙන අතර අඩුම වශයෙන් එක ෂෙල් ප්‍රහාරයකට රජයේ රෝහලක් ගොදුරු වූ බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් පිළිගෙන තිබේ.
දොස්තර වර්ධරාජා සමග යුද කලාපයේ සේවය කළ කිලිනොච්චි ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්යක්ෂ තංගමුත්තු සත්‍යමුර්ති, වීරකත්තිපිල්ලේ ශන්මුගරාජා, කදිරවේල් ඉලන්චෙලියන් වල්ලයන් සහ එස් සිවපාලන් යන වෛද්‍යවරුන් වන්නියෙන් පිටව එද්දී 2009 මැයි 15 දා රජයේ හමුදා විසින් අත් අඩංගුවට ගෙන තුන් මාසයකට වැඩි කාලයක් අත් අඩංගුවේ රඳවා ගන්නා ලදී.
යුද සමයේ එලි කළ තොරතුරු අසත්‍ය බවට අත් අඩංගුවේ පසුවන සමයේ ජාතික ආරක්ෂාව සඳහාවූ මාධ්‍ය මධ්‍යස්ථානය විසින් 2009 ජූලි 9 දා කැඳවන ලද හැත්තෑවක් පමණ වන මාධ්‍යවේදීන් සමුහයක් ඉදිරියේ ප්‍රකාශ කරන්නට සිදුවුයේ බලපෑම් සහ තර්ජන වලට බියේ බව දොස්තර වර්ධරාජා ප්‍රකාශ කළේය.
වෘත්තීය සමිති වගකීම
උතුරේ යුද පීඩිත කලාපයේ සේවය කරද්දී හෝ අගෝස්තු 24දා ඇප ලබා නිදහස ලබන තුරු කොළඹ අත් අඩංගුවේ පසුවෙද්දී හෝ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් තමන් බලාපොරොත්තු වූ පිහිට නො ලද බව ඔහු කියා සිටියේ මහත් කණස්සල්ලෙනි.
තම සාමාජිකත්වය වෙනුවෙන් පෙනී හිඳීම ප්‍රතිපත්තිමය වශයෙන් වෘත්තීය සමිතියක් සතු මානව වාදී වගකීමක් බව ඔහු පෙන්වා දෙයි.
වන්නියේ වෛද්‍ය වරුන් ගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් නොවන්නේ මන්දැයි ඇතැම් මාධ්‍යවේදීන් යුද සමයේ විමසූ කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නායකත්වය ප්‍රකාශ කළේ ඔවුන් තම සාමාජිකයන්දැයි නොදන්නා වගයි.
ඒ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන දොස්තර තුරෙයිරාජා වර්ධරාජා පවසන්නේ බෝම්බ ප්‍රහාරවලට මුහුණ දෙමින් යුද කලාපයේ සේවය කළ තමන් ඇතුලු සියලුම වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සාමාජිකත්වය දැරූ බවයි.