1150 x 80 px
මාදුරු ඔය සංහාරය තහවුරු කරමින් පරිසර වාර්තාව එළියට - තොරතුරු පනතේ තවත් ජයග්‍රහණයක්

මාදුරු ඔය දකුණු ඉවුර සංවර්ධනයට මුවා වෙමින් අක්කර 54250ක භූමි ප්‍රමාණයක් චීනයට ලබා දීමේ සැලැස්මක් ඇති බවට අපි මීට ඉහතදී වාර්තා කළෙමු.

ඒ හරහා දකුණ ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය මඟින් අක්කර 43250ක උක් වගා කිරීමේ සැලැස්මක් ඇති බවටයි තොරතුරු වාර්තා වී තිබුණේ. මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හරහා එම සංවර්ධන ව්‍යාපෘති යෝජනාව කරළියට ගෙනවිත් තිබූ අතර මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය ඊට සෘජුව මැදිහත් වී තිබුණි. මේ වන විට එම සංවර්ධන යෝජනාවට අදාළ පාරිසරික ඇගයීම් වාර්තාව හා චීනය සමඟ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ එකඟතා ගිවිසුම අනාවරණ වී තිබේ. 

පොළොන්නරුව අරලගංවිල ප්‍රාදේශීය මාධ්‍යවේදී මනෝජ් ප්‍රසන්න මහතා මෙම මාදුරු ඔය සංහාරය පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ගැනීම සඳහා තොරතුරු දැන ගැනීම පනත යටතේ මහවැලි අධිකාරියෙන් මාදුරු ඔය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ පාරිසරික ඇගයීම් වාර්තාව, ශක්‍යතා වාර්තාව හා කොන්ත්‍රාත් ගිවිසුමේ පිටපත් ඉල්ලා තිබුණි. ඒ අනුව මෙම කාරණය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ කොමිසම මනෝජ් ප්‍රසන්න මහතා, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා තිබු අතර මනෝජ් ප්‍රසන්න මහතාගේ පැමිණිල්ල විභාග කර තිබුණි. එම ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස මේ වන විට කොන්ත්‍රාත් ගිවිසුම, පාරිසරික ඇගයීම් වාර්තාව හා ශක්‍යතා වාර්තාව ලැබී තිබේ. එහෙත් මෙහි ප්‍රධාන ගැටලුවක් වන මෙම සංවර්ධන ව්‍යාපෘතියට අදාළ මාදුරු ඔය ජලාශයේ දකුණ ඉවුර ප්‍රදේශයේ සිට පාසිකුඩා වෙත දිවෙන ඇල මාර්ගය ඉදිකිරිම අදාළ තොරතුරු මනෝජ් ප්‍රසන්න මහතා ඉල්ලා තිබුණ ද ඔහුට එම තොරතුරු ලබා දී තිබුණේ නැත.

ඒ අනුව මාදුරු ඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය චීනයේ CAMC ඉංජිනේරු සමාගම සමඟ 2016 වසරේ ඔක්තෝබර් 26 වැනි දින ගිවිසුම්ගත වී තිබේ. එම ගිවිසුම තුළින් මාදුරු ඔය කතන්දරයට චීනයේ සම්බන්ධය තහවුරු වී හමාරය.

ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන ලද යෝජිත මාදුරු ඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතියේ පාරිසරික ඇගයීම් වාර්තාවට අනුව හෙක්ටයාර 10,000ක ශුද්ධ වාරිකරණ ප්‍රදේශයෙන් 70%ක් උක් වගාව සඳහා වෙන් කෙරෙන අතර 30%ක් වී වගාව හා වෙනත් ක්‍ෂේත්‍ර බෝග වගා කිරීම සඳහා භාවිතා කෙරෙනු ඇති බවට දක්වා තිබේ. ඒ වන විට සහලින් රට ස්වයංපෝෂිතව තිබූ හෙයින් 2016 දී ගන්නා ලද කැබිනට් තීරණයකට අනුව එම උක් වගා සැලැස්ම සකස් කර ඇති බවයි පාරිසරික ඇගයීම් වාර්තාවෙන් පෙන්වා දෙන්නේ. මේ අතර රට සීනිවලින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණින් තවත් හෙක්ටයාර 102,000ක උක් වගාව ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව සලකා උක් විකල්ප බෝගයක් ලෙස ද යෝජනා කර තිබේ. මෙහිදී මතුවන ගැටලුවක් වන්නේ මෙම උක් වගාව සිදු කරන්නේ කවුරුන්ද යන ප්‍රශ්නයයි. සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ චීන සමාගමක් සමඟ වන නමුත් ඔවුන් නිශ්චිතව සිදු කරන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත. කෙසේ හෝ පාරිසරික ඇගයීම් වාර්තාවට අනුව උක් වගාවට පමණක් අක්කර 68250ක් වෙන් වීමට නියමිතය. එය ඉදිරියේ වෙනස් වීමටද හැකි බව ද දක්වා තිබේ.

කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘති යටතේ 1983 වසරේදී මාදුරු ඔය දකුණු ඉවුර සංවර්ධනය සඳහා මූල්‍යමය සහයෝගය ලබා දෙන ලෙස ලෝක බැංකුවෙන් නිල වශයෙන් ඉල්ලා ඇති අතර 83 මැද භාගයේ දී ලෝක බැංකු නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණ ඔවුන්ගේ ඇගයීම් වාර්තාව සකස් කර තිබුණි. එය 1984 වසරේ මැයි මාසයේදී නිකුත් කිරීමට ද ඔවුන් කටයුතු කර ඇත. 1985 වසරේ සිට වසර 05ක් කාලයක් තුළ ප්‍රධාන හා අතු ඇළවල් ඉදිකිරීමට එම වාර්තාවෙන් යෝජනා කර තිබේ. සෞදි සංවර්ධන අරමුදල, කැනේඩියානු අන්තර්ජාතික ඒජන්සිය හා ශ්‍රී ලංකා රජයේ එකමුතුවෙන් එම සංවර්ධන කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇත. නමුත් ආරම්භ වූ සන්නද්ධ අරගලය හේතුවෙන් එම කටයුතු සම්පූර්ණයෙන්ම වාගේ අඩාල විය. යුද්ධය අවසන් වීමෙන් පසු වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය නැවත මාදුරු ඔය දකුණ ඉවුර සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කර ඇත්තේ මඩකලපුව ජනතාවගේ වත්මන් ජල ඉල්ලුම ගැන සලකා බව සඳහන්.

යුද්ධය හේතුවෙන් දශක තුනක පමණ කාලයක් එම ප්‍රදේශයේ කිසිදු සංවර්ධන වැඩකටයුත්තක් සිදු නොවූ හෙයින් මාදුරු ඔය දකුණ ඉවුර ව්‍යාපෘති බල ප්‍රදේශයෙන් සැලකිය යුතු භූමි ප්‍රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරී තිබේ. මේ වන විට එම ප්‍රදේශයෙන් හෙක්ටයාර 17300ක් සංවර්ධනය සඳහා නිදහස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකඟතාව පළකර ඇති බවයි පාරිසරික ඇගයීම් වාර්තාව පවසන්නේ. එම භූමි ප්‍රදේශය රක්ෂිත ප්‍රදේශයෙන් හා අලිමංකඩවලින් පරිබාහිර ප්‍රදේශ බවයි පාරිසරික ඇගයීම් වාර්තාව සඳහන් කරන්නේ. එය කෙතරම් දුරට සත්‍යයද යන්න ප්‍රායෝගිකව සිතා බැලිය යුතු කාරණයකි.

මෙම දකුණු ඉවුර සංවර්ධනයේ අරමුණ ලෙස දක්වන්නේ වාරි පහසුකම් සහිත කෘෂිකර්මය හා සම්බන්ධ ක්‍රියාකාරකම් තුළින් තිරසාර ග්‍රාමීය සමාජයක් ස්ථාපනය කර ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමය. අරමුණ එසේ වන විට සංවර්ධනය භාරගෙන ඇති චීන සමාගම පවසන්නේ ඔවුන් එම භූමිය සංවර්ධනය කිරීමට භාර ගන්නේ ජනතාව ඉවත් වන්නේ නම් පමණක් බවයි.

යුද්ධය හේතුවෙන් එම ප්‍රදේශයෙන් පලා ගිය ජනතාව යුද්ධය අවසන් වීමෙන් පසු නැවත පදිංචි කිරීම් ඇරඹු අතර යළි පණ ගැසූ කෘෂිකර්මාන්තය හරහා ධාන්‍ය කිලෝ එක්කෝටි විසිතුන් ලක්ෂයක් ජාතික නිෂ්පාදනයට එක් විය. එහෙත් 2015න් පසු පාරම්පරික හේන් ගොවියන් අත්අඩංගුවට ගැනීම ආරම්භ වී තිබේ. එය දිසා අඩවි වන නිලධාරියාගේ මැදිහත් වීමෙන් සිදු වන බව ගොවීහු පවසති. පාරම්පරික හේන් ගොවියන්ට අමතරව මීට වසරකට පමණ ඉහත සිට එම ප්‍රදේශයට ගව පාලනය කරන පිරිස්ද පැමිණ තිබේ. හේන් ගොවියන්ට කරන කිසිදු අවහිරයක් ඔවුන්ට සිදු නොවන අතර ඒ සම්බන්ධයෙන් විමසීමකදී දිසා අඩවි වන නිලධාරියා පවසා ඇත්තේ මඩකලපුව දිසාපතිවරියගේ ඉල්ලීමකට අනුව මඩකලපුවේ වී ගොවියන් ගොවිතැන් කරන කාලයට දකුණු ඉවුර ප්‍රදේශයට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු භූමි තුළට ගවයන් ඇතුළු කිරීමට අවසර ලබා දී ඇති බවයි. මෙය එක් අතකින් ජනතාව අතර නොසන්සුන්තාවක් ඇති කිරිමකි.

මේ අතර මඩකලපුව ජනතාවගේ ජල ප්‍රශ්නයට විසඳුමක් ලෙස මාදුරු ඔය දකුණ ඉවුර ප්‍රදේශයෙන් පාසිකුඩා වෙත ඉදිකිරීමට යෝජිත ඇල මාර්ගය තවත් පාරසරික ප්‍රශ්නයක් මෙන්ම සිංහල දෙමළ ජනතාව අතර ප්‍රශ්නයක් නිර්මාණය වීමට පසුබිම සැකසී ඇත. ඉක්කාගල රක්ෂිතය හරහා දිවෙන එම ඇල මාර්ගය ඉදිකිරිම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබූ රක්ෂිත භූමිය ද මහවැලි අධිකාරියට මේ වන විටත් පවරා හමාරය. රක්ෂිතයේ දැන් පවත්නා ස්වරූපයෙන් කිසිදු සීමා මායිම් ලකුණු වීමක් නොවන නමුත් ඇල මාර්ගය ඉදි වූ පසු දෙපසකට වෙන් වීමට නියමිතය. දැනටමත් පාරම්පරික ගොවියන් එම භූමියෙන් ඉවත්කිරීම සිදු කරන්නේ මේ සඳහාය. එම ජනතාව ඉවත් කිරීම සඳහා අධිකරණ නියෝගයක්ද ගෙන තිබේ. මෙය මඩකලපුව හා පොළොන්නරුව ජනතාවගේ හොඳ හිත පළුදු කිරීමක් බව ගොවියන්ම පවසති.

සංවර්ධනයට මුවා වෙමින් රක්ෂිත විනාශ කිරීමත් ජනතාවගේ පාරම්පරික ඉඩම් උදුරා ගැනීමත් සිදු කර ඉන් නොනැවතී සහජීවනය ද විනාශ කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි ජනතාව පෙන්වා දෙන්නේ. ජල ප්‍රශ්නයට මුවා වෙමින් රක්ෂිත බිම විනාශ කර උක් වගාව ආරම්භ කිරිම කුමන සංවර්ධනයක්දැයි ඔවුහු ප්‍රශ්න කරති. පාරිසරික ඇගයීම් වාර්තාව ද ඇතැම් කාරණා වසන් කරමින් කොළේ වසා සිටින බව එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් හා ප්‍රයෝගිකව එම භූමියේ සිදුවන දේ නිරීක්ෂණය කිරීමෙන්ම පැහැදිලි වෙයි. සංවර්ධන ව්‍යාපෘතිය කරළියට ගෙනවිත් එය සාධාරණීකරණය කිරීම සඳහා මුල්ම පියවර ලෙස සිදු කළේ මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ තොප්පිගල පෙදෙසටවන රක්ෂිත ප්‍රදේශයේ අක්කර 4200ක පමණ භූමි ප්‍රමාණයක් නීති විරෝධීව එළිපෙහෙළි කරමින් පුද්ගලයන් පදිංචි කිරීමේ උත්සාහයයි. ඒ පිළිබඳව ද අපි කරුණු අනාවරණ කළෙමු.

කෙසේ වෙතත් පාරිසරික සහජීවන පිළිබඳ කුමන කයිවාරුව ගැසුවද ඒ කතා අතරේ ඇති යථාර්තය දැන් ඔවුනොවුන් විසින්ම ආනාවරණය කරමින් හිදින බව අපි අවධාරණයෙන් සටහන් කරන්නෙමු.

maduru 12 web

maduru11 web

maduru10 web

maduru 1 web

maduru 2 web

maduru3 web

maduru4 web

maduru5 web

maduru6 web

maduru7 web

maduru8 web

maduru9 web

ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top