1150 x 80 px
පුංචි ඡන්දෙට රාජ්‍ය දේපළ පාවිච්චි කළොත් වැඩ වැරදියි - මැකෝගෙන් අතිවිශේෂ චක්‍රලේඛයක්
පළාත් පාලන ජන්ද විමසීමට අදාළව රාජ්‍ය දේපළ යොදා ගැනීම වළක්වමින් සියලුම රාජ්‍ය ආයතන,දෙපාර්තමේන්තු,සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල යන සියලුම ආයතන වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් චක්‍ර ලේඛය නිකුත් කර තිබේ. රජයට සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩවලට අයත් දේපළ මැතිවරණ කාල සීමාව තුළදී අනිසි ලෙස භාවිතා කිරීම වැලැක්වීම සහ ජන්ද විමසීම පැවැත්වෙන පළාත්වලට අදාළ නිලධාරීන්, සේවකයන් බඳවා ගැනීම, උසස් කිරීම, මාරු කිරීම එමඟින් සිමා කර තිබේ. 
පළාත් පාලන ආයතන 93ක් සඳහා නාමයෝජනා කැඳවීමේ දැන්වීම 2017 නොවැම්බර් 27 වැනි දින ප්‍රසිද්ධ කළ අතර එතැන් පටන් ජන්දය පවත්වා ප්‍රතිඵල ප්‍රකාශ කරන තුරු කාල සීමාව ජන්ද විමසීමේ කාලසීමාව ලෙස දැක්වෙයි. 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් එය බලාත්මක කර තිබේ. ඒ අනුව මෙම කාල සීමාව තුළ දේශපාලන පක්ෂ,කණ්ඩායම්,අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට හේතුවන නැත්නම් වෙනත් පක්ෂ,කණ්ඩායම්,අපේක්ෂකයන් අගතියට පත්වන ආකාරයෙන් කටයුතු කිරීම සඳහා රාජ්‍ය දේපළ භාවිතා කිරීමෙන් වැළකිය යුතු බවට හා ජන්ද විමසීම සිදු වන දිස්ත්‍රික්ක වල රාජ්‍ය නිලධාරීන්,සේවකයන් බඳවා ගැනීම ආදී කරුණු සීමා කළ යුතු බවට රාජ්‍ය දේපළ භාරවසිටින අමාත්‍යාංශ ලේකම්වරු ප්‍රමුඛ නිලධාරීන් එම චක්‍ර ලේඛයෙන් දැනුවත් කර තිබේ. පසුගිය පාලන සමයේදීද මැතිවරණ සමයේ මෙවැනි පාලනයක් තිබුණද එය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් තිබුණේ ප්‍රශ්නකාරී තැනක පසුවිය. මේ සියල්ල පිළිබද සලකා බලා මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
 
බරපතල කාරණයක්ව පවතින මැතිවරණ ප්‍රචාරණ වැඩසටහන් සඳහා රාජ්‍ය සතු වාහන යොදා ගැනීම වළක්වමින් ආයතන සතු වාහන සංචිත නඩත්තු කළ යුතු බවට මතිවරණ කොමිසම දැනුම් දී තිබේ. නිලධාරීන්ට වෙන් කර ඇති රජය සතු වාහන සහ කුලියට ලබාගෙන මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම වළක්වා ඇත. භාවිතා කළ හැකි වන්නේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට වෙන් කර ඇති වාහන දෙකකට පමණි. එමෙන්ම රාජ්‍ය ආයතනයන්හි  වාහන වල ධාවන සටහන්  මාණ්ඩලික  නිලධාරියෙකු විසින් සෑම දිනකම පරික්ෂාවට ලක් කලයුතු වෙයි. ව්‍යාජ කරුණු සඳහන් කරමින් රජයේ වාහන නිදහස් නොකිරීමටද මාණ්ඩලික නිලධාරීන් වගබලා ගත යුතු වෙයි. 
 
මේ අතර රජයේ කාර්යාල, ගොඩනැගිලි,පාසල්,සංචාරක නිවාස යනාදී රාජ්‍ය ගොඩනැගිලි මැතිවරණ ප්‍රචාරණ හා ප්‍රවර්ධනය වෙනුවෙන් යොදා ගැනීමද මෙම චක්‍ර ලේඛය හරහා අත්හිටුවා තිබේ. රාජ්‍ය ආයතන සතු තානායම්, සංචාරක නිවාස හා නිවාඩු නිකේතන වල නවාතැන් ගන්නා පුද්ගලයින් දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට සහය දීමද චක්‍ර ලේඛය උල්ලංඝනය කිරීමකි. බිහෝ විට දේශපාලකයන් ග්‍රාමීය වශයෙන් උත්සව සංවිධානය කිරීමද මැතිවරණ සමයේදී වෙනදාට වඩා වැඩියෙන් කරන දෙයකි. සහනාධාර බෙදා දීම, මාර්ග විවෘත කිරීම,නොයෙක් ජංගම සේවා ආදිය සංවිධානය කරන අතර ඒවාට සහභාගී වී අපේක්ෂකයන්, පක්ෂ ප්‍රවර්ධනය කරන හෙයින් හැකි තරම් එම අවස්ථා සංවිධානය නොකිරීම යෝග්‍ය බවයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ. මහජන අවශ්‍යතා සපුරාලීම සඳහා අත්‍යාවශ්‍ය ජංගම සේවා පැවැත්වීම ජන්ද විමසීම කෙරෙන කාල සීමාව තුළ කිරීමට නාමයෝජනා දැන්වීම ප්‍රසිද්ධ කිරීමට ප්‍රථම යොදා ගෙන තිබුණේ නම් එය පැවැත්වීමට පෙර මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසද කොමිසම දන්වා ඇත. එමඟින් එය පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය කොමිසම විසින් දැනුවත් කෙරෙනු ඇති. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෝ රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව විසින් පවත්වන ජංගම සේවා සඳහා එම සීමා කිරීම බලපෑමක් නොවේ. 
 
විශේෂයෙන්ම ජන්ද විමසීම කෙරෙන ප්‍රදේශ වල මැතිවරණ ප්‍රචාරණයට අදාළව පදිංචිකරුවන්ට ඉඩම් බෙදා දීම,රජයේ ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රධානය හෝ නිවාස අයිතිය ලබා දීම, වැවිලි කර්මාන්තයට අදාළව වගා සහනාධාර බෙදා දීම,උපකරණ බෙදා දීම,ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම,ස්වයං රැකියා වෙනුවෙන් උපකරණ බෙදීම,පාපැදි, සූර්ය බලවිදුලි පහන්,ගොඩනැගිලි ඉදිකිරිම සඳහා අමුද්‍රව්‍ය බෙදා දීම,ව්‍යාපෘති හා නිවාස ණය නිකුත් කිරීම හා වන්දි මුදල් ප්‍රදානය වැනි වැඩසටහන් ද අත්හිටුවීමට නියෝග කර තිබේ. රජ්‍ය සේවකයන්,නිලධාරීන් රාජකාරී වෙලාව තුළදී හෝ කාර්යාල දිනවලදී රාජකාරී නිවාඩු ලබා ගෙන මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් විනයානුකූලව ක්‍රියා මාර්ග ගත යුතු බවටද මැතිවරණ කොමිසම උපදෙස් දී ඇත. රජයේ  සේවකයන්ගේ සාමාන්‍ය ස්ථාන මාරු වීම් දෙසැම්බර් 01 වැනි දින සිට 2108 පෙබරවාරි මස 15 වැනි දින දක්වා අත්හිටුවිමටද අදාළ උපදෙස් කොමිසම දක්වා තිබේ. කරුණු 16ක් යටතේ නිකුත් කර ඇති එම චක්‍ර ලේඛය පිළිබඳව සියලුම දේශපාලන පක්ෂ, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන , පොලිස් නිලධාරීන්  ඇතුළු පාර්ශවයන් දැනුවත් කර ඇති අතර එහි සඳහන් කරුණු වලට අදාළව ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීමට නියමිතය. 
 
ආශිකා බ්‍රාහ්මණ 
 
maco 1
maco 2
maco 3
maco 4
maco 5

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top