1150 x 80 px
සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ජවිපෙ මන්ත්‍රීට පහර දෙමින් බිම දිගේ ඇදගෙන යයි !

සපුගස්කන්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතාට අමානුෂික ලෙස පහර දී ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා ඔහු රාගම රෝහලට ඇතුළත් කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික තරුණයෙකුට සපුගස්කන්ද පොලිසිය පහර දීමක් සිදුකර ඇති බවට මන්ත්‍රීවරයාට දැනගන්නට ලැබී ඇති අතර ඒ පිළිබඳ විමසීමට පොලිසියට ගිය අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා විසින් මන්ත්‍රීවරයාට අමානුෂික ලෙස පහර දී බිම දිගේ ඇදගෙන ගොස් ඇති බව සඳහන්.

මෙම සිදුවීම ඊයේ පස්වරුවේ සිදුව තිබේ. පහර කෑමට ලක්වූ තරුණයා රෝහල ගත කරන ලෙස මන්ත්‍රීවරයා පොලිසියෙන් ඉල්ලා ඇති ඇති අතර එම අවස්ථාවේ ස්ථානාධිපතිවරයා වගකීම් විරහිත ලෙස කටයුතු කර ඇති හෙයින් මන්ත්‍රීවරයා හා ස්ථානාධිපතිවරයා අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ. ඊට ප්‍රතිචාර ලෙස ස්ථානාධිපතිවරයා මන්ත්‍රීවරයාට පහර දී අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේ රන්වල මහතා සමඟ පොලීසියට ගොස් සිටි පක්ෂ සාමාජිකයෙකු එම සිදුවීම පිළිබඳව ඒ වන විට කිරිබත්ගොඩ නගරයේ තිබූ පක්ෂයේ රැළියට සහභාගී වූ මහින්ද ජයසිංහ මහතා වෙත දන්වා තිබේ. සිද්ධිය පිළිබඳ විමසීමට මහින්ද ජයසිංහ මහතාද සපුගස්කන්ද පොලීසියට ගොස් ඇති අතර ඔහුටද ස්ථානාධිපතිවරයා බැණ වැදී ඇත. එම අවස්ථාවේදීද උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර පොලිසිය විසින් එය වීඩියෝ කර ගෙන ඇති බවද සඳහන්. කෙසේ වෙතත් ඒ වන විටත් අමානුෂික ලෙස පහර කෑමට ලක්ව සිටි රන්වල මහතා රෝහල් ගත කිරීමට හෝ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලබා ගැනීමට සපුගස්කන්ද පොලිසිය කටයුතු කර නැත. ඒ අනුව සිය පක්ෂ සාමාජිකයන්ට පහර දීමේ එම සිදුවීම පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පොලිස්පතිවරයා දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.

සිද්ධිය පිළිබඳ විමසීමට පොලිස්පතිවරයා සපුගස්කන්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කර ඇතත් ඔහු පොලිස්පතිවරයාගෙන් ලැබුන දුරකථන ඇමතුම හා සම්බන්ධ වී නැත. පසුව පොලිස්පතිවරයාගේ නියමය පරිදි කඩවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හරහා පැමිණිල්ල ලබා ගෙන රන්වල මහතා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහින්ද ජයසිංහ මහතා සඳහන් කරන්නේ තම පක්ෂයේ සාමාජිකයෙකුට පොලිසිය පහර දී ඇති අතර ඔහුව රෝහල් ගත කරන ලෙස රන්වල මහතා කළ ඉල්ලීමට පොලීසිය අමානුෂික ලෙස ප්‍රතිචාර දක්වා ඇති බවයි. තම රාජකාරියට බාධාකරන බව පවසමින් පොලිසිය රන්වල මහතාට අමානුෂික ලෙස පහර දී ඇති බවයි ජයසිංහ මහතා ප්‍රකාශ කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් වැඩබලන ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ මන්ත්‍රීවරයා තමන්ට තර්ජනය කළ හෙයින් අත්අඩංගුවට ගත් නමුත් පහර දීමක් සිදු නොවූ බවයි.

අත්අඩංගුවට ගෙන සිටින මන්ත්‍රීවරයාව අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top