1150 x 80 px
සංගාගේ ලක්ෂ 38 අතුරුපස - කෑවට ගෙව්වෙ නෑ! - සංගා කියයි.

රුපියල් ලක්ෂ 38 ක් හෙවත් රුපියල් මිලියන 3.8 ක් වටිනා අතුරුපසක් හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර විසින් සිය බිරිඳ සමග රස බලන ආකාරය පසුගිය දිනවල සමාජ ජාලවල ඇති කර තිබුණේ ආන්දෝලනයකි. මේ පිළිබඳ ට්විටර් සමාජ ජාලය ඔස්සේ අසා තිබූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සංගා කියා තිබෙන්නේ එය හුදෙක් දොරට වැඩීමේ අවස්ථාවක් පමණක් වූ බවත් කිසිවෙකු විසින් ඒ සඳහා මුදල් ගෙවීමේ අවශ්‍යතාවක් පැන නොනැගුණු බවත් ය.

‘It’s the headlines that grab the attention. The details are lost to some’ යනුවෙන් ඔහු ඊයේ දිනයේ ට්විටර් සටහනක් තබා තිබුණි.

මෙම අතුරුපස නුවරඑළියේ ග්‍රෑන්ඩ් හොටෙල් හිදී එළිදක්වා තිබුණේ ‘Marry Me’තේමාව යටතේ ය. එය Master Chef විරාජ් ජයරත්න ගේ වෘත්තීය ජීවිතයට වසර 25 ක් සපිරීම නිමිත්තෙන් එළි දක්වා තිබිණි. හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර වෙත එය රස බැලීමේ අවස්ථාවට ඇරයුම් කර තිබුණේ ඔහු විසිනි.

මෙහි ඡායාරූප පළවීමත් සමග ට්විටර් හරහා සංගාගේ ට්විටර් ගිණුමේ අනුගාමිකයන් (followers) මේ අවස්ථාව දැඩි සේ විවේචනය කර තිබිණි. ඒවායින් ඇතැමක් මෙසේ ය.

‘‘සංගක්කාර මෙවැනි අති දැවැන්ත මුදල් නාස්තියක් සිදුවන කටයුත්තකට සහභාගි වුණා කියා මට විශ්වාස කරන්නට බැහැ.“

‘‘ඊළඟ වතාවේ ඔබ මෙවැනි අවස්ථාවකට සහභාගි වන විට, ඔවුන් ඔබට ලක්ෂ 38 ක කේක් කෑල්ලක් කන්න යැයි කියන විට, ඒ වෙනුවට අනාථ දරුවන් 100 දෙනෙකුට ඒ මුදලින් සතියකට කන්න දෙන්න කියන්න. ඒක, ඔබ මෙතෙක් කල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලබාගත් දේවල්වලට වඩා ලොකු දෙයක් වේවි...“

‘‘මේ මිලියන 3.8 වියදම් කිරීමෙන් කොයිතරම් හොඳ දේවල් ඔබට කළ හැකිව තිබුණාද?“

‘‘ඇත්තටම ඔබ කෑවෙ දියමන්තිද නැතිනම් රත්තරන්ද?“ යනුවෙන් ද තවත් අයෙක් විමසා තිබිණි.

කෙසේ වෙතත් මේ ‘Marry Me’ අතුරුපස මේ තරම් මිල අධික වී තිබුණේ එහි මුදුනත තිබූ නිල් මැණික (blue sapphire) හේතුවෙනි. අතුරුපස මිලදී ගන්නා තැනැත්තාට එම නිල් මැණික ද හිමි වේ.

- අමාලි ජයවීර

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top