1150 x 80 px
රාජගිරිය ගුවන් පාලම හෙට සිට ගමනාගමනයට විවෘත වෙයි
රුපියල් මිලියන 4,700 ක වියදමින් ඉදිකළ රාජගිරිය ගුවන් පාලම හෙට (08) සිට ගමනාගමනය සඳහා විවෘත කිරීමට නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාලම විවෘත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ සිට බොරැල්ල දක්වා සහ නාවල පාරේ තිබෙන දැඩි මාර්ග තදබදයට විසඳුමක් ලෙස 2016 වසරේදී මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ අතර ස්පාඤ්ඤ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේය.
 
මංතීරු හතරකින් සමන්විත ගුවන් පාලම දිගින් මීටර් 534 ක් වේ. පාලමේ ඉදිකිරීම් මෙම වසර අවසානයේදී අවසන් කිරීමට නියමිතව තිබුණද ජනාධිපතිවරයාගේ උපදෙස් මත එහි ඉදිකිරීම් මාස 11 ක් තුළ අවසන් කර තිබේ. මෙම ව්‍යාපෘතියට සමගාමීව නාරාහේන්පිට දක්වා විකල්ප මාර්ගයක් සහ බුත්ගමුව පාර මංතීරු 03 කින් සමන්විත වන සේ සංවර්ධනය කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරන්නේ.
 
මැතිවරණ සමයේදී මෙම පාලම විවෘත කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් විරෝධතා එල්ල වූ අතර මැතිවරණ කොමිසම විසින් අනුගමනය කළයුතු ක්‍රියා පටිපාටියක් ද චක්‍රලේඛයක් මගින් නිකුත් කර තිබේ. ඒ අනුව දේශපාලනඥයන්ගෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් තොරව මෙවැනි විවෘත කිරීම් සිදු කළයුතුය. යම් පක්ෂයක් හෝ යම් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය නොවන ආකාරයෙන් හා සෙසු පක්ෂවලට මෙන්ම සෙසු අපේක්ෂකයන්ට අගතියක් නොවන ආකාරයෙන් කටයුතු කළයුතු බව ද මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top