1150 x 80 px
ජනාධිපති ධුර කාලය, බැඳුම්කර චෝදනා සහ පොදු ජන පෙරමුණ ගැන මහින්ද කතා කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැඳුම්කර වංචා පිළිබඳ චෝදනා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ධුර කාලය, පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගැනීමට ඉඩ තිබෙන විනය ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ධුර කාලය වසර හයක් විය යුතු බවට නීතිපති ජයන්ත ජයසූරිය ඉදිරිපත් කළ තර්කය පිළිබඳව විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එහි තීන්දුව කවරක් වුවත් "මට ප්‍රශ්නයක් නැති," බවය.

එහෙත් කිසියම් ලෙසකින් අධිකරණය නීපතිවරයාගේ තර්කය පිළිගන්නේ නම්, "අනිවාර්යයෙන්ම මට සහ චන්ද්‍රිකාටත් ඉස්සරහට දෙපාරක් තරග කළොත් පමණයි තරග කිරීමේ අයිතිය අහෝසි වෙන්නේ" යනුවෙන් ද කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"ඒ නිසා නීතිපතිවරයාගේ තර්කය එයාල පිළිගත්තොත් මට තරග කරන්න පුළුවන්."
පළමු හඬ පටය: "මටත්, චන්ද්‍රිකාටත් නැවත ඉදිරිපත් වෙන්න පුළුවන්"
සාකච්ඡාවේ දෙවැනි කොටස: අගමැතිවරයාගේ හැසිරීම "ලාබාල හැසිරීමක්"

එසේ වුවහොත් යළිත් වරක් ජනාධිපති පදවියට තරග කිරීමේ බලාපොරොත්තුවක් තිබෙන්නේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට හිටපු ජනාධිවරයාගේ ප්‍රතිචාරය වූයේ එය පසුව ගත යුතු තීන්දුවක් බවය.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ජනාධිපතිවරයාගේ නිල කාලය සය වසරක් විය නොහැකි බව සිය පෞද්ගලික මතය බව ද ඔහු සඳහන් කළේය.

ජනතාව වසර හයකට පත් කළ ජනාධිපතිවරයකුගේ ධූර කාලය අඩු කිරීම ජනතාවගේ ඡන්ද බලය හා පරමාධිපත්‍යයට බලපාන කරුණක් වන බවට නීතිපතිවරයා මතු කළ තර්කයට ප්‍රති තර්කයකින් පිළිතුරු දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, "පාර්ලිමේන්තුව පත්කර ගත්තේ කොහොමද, ජනතාවනේ?" යනුවෙන් ප්‍රශ්න කළේය.
බැඳුම්කර: 'අගමැති තවත් හිරවේවි'

2008 වසරේ සිට 2014 වසර දක්වා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලදි සිදුව ඇති අවභාවිතයන් පිළිබඳව ද විමර්ශනය කළ යුතු යයි ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොමිසමේ නිර්දේශ ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේය.

අඟහරුවාදා (ජනවාරි 10) පාර්ලිමේන්තුව ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ, එම වංචා සොයා බලා වැරදිකරුවන්ට දඬුවම් දීමට කටයුතු කරන බව අවධාරණය කළේය.

ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින් අදාළ වකවානුවේ ජනාධිපති පදවිය මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව භාරව සිටි මුදල් අමාත්‍යවරයා ද වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ එවැනි පරීක්ෂණයකට තමන්ගේ පූර්ණ සහාය හිමි වන බවය.

"මම විතරක් නෙවෙයි නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ (හිටපු) අධිපතිවරයා බොහොම පැහැදිලිව කියල තියෙනව මේක කරන්න. එතකොට අගමැතිතුමා තව තවත් හිරවෙනවා කියන එක තමයි මගේ මතය."

අඟහරුවාදා අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී හැසිරුනේ රාජකීය සහ ශාන්ත තෝමස් විද්‍යාල අතර "බිග් මැච් එකේදි හැසිරෙන ආකාරයට" බව වැඩිදුරටත් සඳහන් කළ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා, "මම හිතන්නේ අගමැතිවරයෙකුට නුසුදුසු විධියට තමයි එතුමා හැසිරුනේ," යනුවෙන් ද කියා සිටියේය.

සිය පාලන සමයේදී කිසිදු අවස්තාවක මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය රහිතව බැඳුම්කර නිකුත් කළේ යයි තමා විශ්වාස නොකරන බවත් හිටපු ජනාධිපතිවරයා පවසයි.
පොදු ජන පෙරමුණ සහ ශ්‍රීලනිප

මෙවර පළාත් පාලන මැතිවරණයේදී පොදු ජන පෙරමුණට සහාය දීම පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, මේ අවස්ථාවේ "ආණ්ඩුවට විරුද්ධව තිබෙන එකම බලවේගය" පොදු ජන පෙරමුණ බවය.

එහෙත් එහි නායකයා තමන් නොවන බව ද ඔහු සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව පොදු ජන පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇති බව ඔහුගේ විග්‍රහය වෙයි.

"කොහොම වුනත් එක්සත් ජාතික පක්ෂය එක්ක නම් එකතු වෙන්නේ නෑ කියල මට විශ්වාසයක් තියෙනව."

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටිමින් වෙනත් පක්ෂයකට සහයෝගය දීම පක්ෂ විනය උල්ලංඝනය කිරීමක් නොවේ දැයි විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ "පක්ෂයේ ප්‍රතිපත්ති කඩ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන" බවය.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඝාතනය වුනේ ජනවාරි 08 වෙනිදා."

පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වෙනත් පක්ෂවලට සහාය දිය නොහැකි බවට මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගෙන තිබෙනවා නොවේ දැයි කළ විමසීමට ඔහුගේ ප්‍රතිචාරය වූයේ ශ්‍රීලනිපයේ වත්මන් මධ්‍යම කාරක සභාව "නීත්‍යානුකූල නැති" බවය.
- BBC-

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top