1150 x 80 px
ප්‍රයිස් වෝටර්හවුස් Price Waterhouse Coopers (PwC) විගණන ආයතනය ඉන්දියාවේ වසර 2කට තහනම් !

ප්‍රයිස් වෝටර්හවුස් කූපර්ස් ප්‍රකට විගණන සමාගම - Price Waterhouse Coopers (PwC) ඉන්දියාව විසින් මාර්තු 31 වැනිදා පටන් තහනම් කර ඇත.

මෙම තහනම වසර 2 ක කාලයක් සඳහා බලපැවැත්වෙන අතර, මේ කාලය තුළ ඉන්දියාවේ කොටස්වෙළඳපොළ තුළ කිසිදු ලැයිස්තුගත සමාගමක විගණන කටයුතු කිරීම ඔවුන්ට සපුරා තහනම් වේ.

2009 වසරේදී සත්‍යම් පරිගණක සමාගමේ විගණන කටයුතු කිරීමේදී ඔවුන් විසින් ආදායම් සහ වත්කම් වැඩි කර පෙන්වීම මගින් ගිණුම් වංචාවක් කළ බව තහවුරු වී තිබේ. ආදායම් වැඩි කර පෙන්වීම හේතුවෙන් සත්‍යම් සමාගමේ කොටස් මිල ඉහළ ගිය අතර, එම කොටස්වල ආයෝජනය සඳහා විශාල පෙළඹවීමක් ඇති විය.

අවසානයේ 2009 වසරේදීම සත්‍යම් පරිගණක සමාගම ඇද වැටුණේ එහි කොටස් හිමියන් හට ඩොලර් බිලියන 2කට අධික මූල්‍ය පාඩුවක් සිදු කරමිනි. සත්‍යම් සමාගමේ හිමිකරු වු බී. රාමලිංගම් රාජු ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිරගත කෙරිණි.

නඩු විභාගයේදී රාමලිංගම් රාජු විසින් සිදුකළ පාපොච්ඡාරණයෙන් පසුව මෙම සමාගමේ කීර්තිය විශාල වශයෙන් විනාශ වූ අතර බොහෝ සුප්‍රසිද්ධ සමාගම් සිය විගණන කටයුතුවලින් සමාගම ඉවත් කිරීමට කටයුතු කළහ. ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ඉන්දියාව තුළ විගණන කර්මාන්තයෙන් 40%කට හිමිකම් කියූ අතර Tata Steel වැනි ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයන්ගේ විගණන කටයුතු සම්පුර්ණයෙන්ම පාහේ මෙහෙයවනු ලැබුවේ ද ඔවුන් විසිනි.

මෙසේ එය තහනම් කර තිබෙන්නේ Sebi යන කෙටි නමින් හඳුන්වන ඉන්දියාවේ සුරැකුම් සහ විනිමය හුවමාරු මණ්ඩලය විසිනි. විගණන සමාගම මෙම තීන්දුවට එරෙහිව අභියාචනය කිරීමට බලාපොරොත්තු වෙයි.

ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් හි මව් සමාගම පිහිටා තිබෙන්නේ ලන්ඩනයේ ය. එය ලෝකයේ විගණන ක්ෂේත්‍රෙය් දෙවැනුවට විශාලතම සමාගම වශයෙන් සැලකෙයි. ලෝකයේ රටවල් 157 ක ක්‍රියාත්මක එහි ශාඛාවක් ලංකාවේ ද පිහිටා ඇත.

- අමාලි ජයවීර

අවුට් බවුන්ඩ් ටුඩේ | outboundtoday.com

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top