1150 x 80 px
බැසිල්ගේ ලිත් නඩුව කල් යයි

දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් වැය කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව ඇතුළත් ලිත් මුද්‍රණය කර බෙදා හැරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව මැයි මස 4 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළේය.

 

පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක මුදලක් වැය කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව ඇතුළත් කොට ලිත් පනස් ලක්ෂයක් මුද්‍රණය කර බෙදා හැරි බවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන අයට විරුද්ධ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ අධි නීතීඥ සුදර්ශන ද සිල්වා කියා සිටියේ මෙම නඩුව ගිහාන් කුලතුංග විනිසුරුවරයා ඉදිරියේ විභාගයට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබන මස 16 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවයි.

අභියාචනාධිකරණය හමුවේ බැසිල් රාජපක්ෂ විසින් ගොනු කර ඇති එම පෙත්සම ලබන 15 වනදා සලකා බැලීමට නියමිත බව අධී නීතීඥවරයා පෙන්වා දුන් අනතුරුව කරුණු සලකා බලමින් නඩු විභාගය මැයි මස 4 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කරන ලදී.

RN

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top