1150 x 80 px
කාලගුණ අනතුරු ඇඟවීම් නොතකා මුහුදු ගිය ධීවරයින් පිරිසක් අතුරුදහන්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් හේතුවෙන් මුහුදු යාමෙන් වලකින ලෙසට අනතුරු අගවා තිබුනද එම අනතුරු ඇඟවීම් නොතකා ධීවර කටයුතු සඳහා මුහුදු ගිය මුලතිව් පොලිස් වසමේ මුලතිව් නයාරු ප්‍රදේශයේ ධීවරයන් තිදෙනෙක් රැගත් බෝට්ටුවක් අතුරුදන් වී ඇතැයි මුලතිව් පොලිසියට පැමිණිල්ලක් අද (13) අළුයම ලැබී ඇත.

මුලතිව් පොලීසියට ලැබුණු පැමිණිල්ලට අනුව අතුරුදන්ව ඇත්තේ හලාවත බංගදෙනියේ පදිංචි 50 හැවිරිදි මිල්රාජ් මිරෙන්ඩා, 48 හැවිරිදි එමානුවෙල් මිරෙන්ඩා හා 24 හැවිරිදි රදන් මිරෙන්ඩා යන ධීවරයින් බව පොලිසිය කියා සිටියේය. අතුරුදන් පුද්ගලයන් සෙවීම සඳහා මේ වන විට නාවික හමුදාවේ සහය ලබාගෙන ඇති අතර මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට මුහුදු යාමෙන් වළකින්නැයි උපදෙස් දී තිබූ අතර ධීවරයන් විශාල පිරිසක් ඊයේ (12) සහ අද (13) මුහුදු යාමෙන් වැළකී සිටී. එසේ මුහුදු යාමට අවශ්‍ය අයකුට නාවික හමුදාවෙන් අවසර ගත යුතුව ඇති බවටද උතුරු පලාත් ධීවර පරික්ෂක කාර්යාල හරහා ධීවරයින්ට දැනුම් දී තිබේ. කෙසේ වෙතත් අවදානම් නොතකා මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු මෙසේ මුලතිව් මුහුදේදී අතුරුදහන්ව ඇති අතර මේ වන විටත් එම ධීවරයින් සෙවීමේ කටයුතු සිදුවන බව මුලතිව් පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.

රොමේෂ් මධුෂංක - වන්නි 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top