1150 x 80 px
මීතොටමුල්ල  අඳුරු මතකයට වසරයි! (වීඩියෝ)

කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නාය ගොස් අදට වසරකි. පසුගිය වසරේ සිංහල ,දෙමළ අළුත් අවුරුදු ප්‍රීතිය ගෙවී යන්නටත් මත්තෙන් මීතොටමුල්ල දහම්පුර ප්‍රදේශයෙන් කුණු කන්ද නාය ගියේ ජිවීත 32ක් උදුරා ගනිමිනි. 40ක් පමණ නිවාසද මෙම ඛේදවාචකයෙන් විනාශ වී ගියේය. වසර හතක පමණ කාලයක සිට කුණු කන්දට එරෙහිව මීතොටමුල්ල වැසියන් අරගලයක නිරත වුවද කුණු කන්ද නාය යනතුරු එම අරගලය බීරි අලින්ට වීණා වැයීමක් පමණක්ම විය. නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය තහවුරු කරන ලෙස මීතොටමුල්ල ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලන විට පෙරළා ඔවුන්ට ලැබුණේ කඳුළු ගෑස් බටන් පොළු ප්‍රහාර හා සිර මැදිරියයි. රාජපක්ෂ පාලන සමයේදී අධිකරණ නියෝගයක් පවා ලැබුණේ මීතොටමුල්ලට කසල බැහැර කිරීම නවතා දමන ලෙසය. නීතියට තබා මානව හිමිකම් හෝ නොතැකූ මෙරට දේශපාලන යාන්ත්‍රණය කුණු කන්ද දෙස ආපසු හැරී බැලුවේ කුණු කන්ද වෙනුවෙන් ජීවිත 32ක් වන්දියක් ලෙස අහිමි වීමෙන් අනතුරුවය.

2008 වසරේ බ්ලුමැන්ඩල් කුණු කන්දට කසල බැහැර කිරීම නවතා දැමීමෙන් අනතුරුව මීතොටමුල්ල කුණු ගොදුරක් බවට පත්විය. 1989 වසර කාලය වන තෙක් පොතුවිල් කුඹුර ලෙස හැඳින්වූ එම භූමිය එවකට ගං වතුරට හසුවීමෙන් විනාශ වී ගිය අතර පසුකාලීනව බ්ලුමැන්ඩල් කුණු කන්දට විරෝධය එල්ල වනවිට කුණු කන්දේ දිශානතිය වෙනස් වූයේ මීතොටමුල්ලටය. එයද අවසන් වූයේ ඛේදවාචකයක් ආපදා ඉතිහාසයට එක් කරමිනි.

මීතොටමුල්ල කුණු කන්ද ඛේදවාචකයෙන් වසරක් ගත වන විටත් ඔවුන්ගේ සිත් සුවපත් නොවී තිබීම සමාජක් ලෙස ඊට ඇති සංවේදීභාවය පෙන්නුම් කරන්නකි. පසුගිය 12 වෙනි දින සන්ධ්‍යාවේ පැවති අනුස්මරණය වැඩසටහන තුළ එය මනාව පෙන්නුම් කර තිබේ. කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් සිය සහෝදර ජනතාව අනුස්මරණය කිරීම සඳහා එම ස්ථානයේ ස්මාරකයක් ගොඩනැගීමෙන් මෙවන් ඛේදවාචකය ඉදිරියේ සමස්ත ජනතාවගේ සංවේදීභාවයේ තරම අනාවරණය කර තිබේ.

නිශාන්ත ප්‍රියදර්ශන

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top