1150 x 80 px
19 වැනිදායින් පසු ශ්‍රීලනිප, සන්ධාන ලේකම්වරුන්ගේ වෙනසක්!

එළඹෙන 19 වැනිදායින් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරුන්ගේ වෙනසක් සිදුවන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරයි. හෙට දින (16) පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය නායක හමුව සඳහා ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත අතර ඉන් පසු පාර්ලිමේන්තුව 19 වැනිදා රැස්වීමට නියමිතය. විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය කතානායක කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු 16 දෙනා ජාතික ආණ්ඩුවෙන් ඉල්ලා අස් වූ අතර ඔවුන් 19 වැනිදා පැවත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී නොවීමට තීරණය කර ඇති බව සඳහන්.

එම තීරණයට එළඹ ඇත්තේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස එක් ස්ථාවරයක නොසිට කටයුතු කිරීම සම්බන්ධයෙන් පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වීමෙනි. විශ්වාසභංග යෝජනාවෙන් පසු ශ්‍රීලනිපයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීම් වලදී ඒ පිළිබඳව සාකච්ජා කර තිබේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි විශ්වාසභංග යෝජනාවට ජන්දය දීමට හෝ නොදීමට පාර්ලිමේන්තුවට නොපැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය සමඟ එකඟතාවකට පැමිණ ඇත්තේ ඔවුන්ගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙනි. ඒ අනුව ශ්‍රීලනිප 23 කණ්ඩායමේ සිටින ඉදිරිපෙළ ඇමතිවරු මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය සමඟ සිය ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමට එකඟ වී ඇති බවයි වාර්තා වුණේ. ඉදිරි මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඔවුන්ට ආසන පවා වෙන් කර ඇති බව සඳහන්. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද දැනුවත් බවයි කියවුණේ. මෙම තත්ත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන අනාගතයට සුභවාදී නොවන හෙයින් එම මැති ඇමතිවරු පිළිබඳ පක්ෂයක් ලෙස තීරණයකට එළඹිය යුතු බවයි විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මතය වී ඇත්තේ.

මේ අනුව 19 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව කඩිනමින් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් කරන ලෙස ජනාධිපතිවරයාට ඉල්ලීමක් කිරීමට නියමිතව ඇත. එම මධ්‍යම කාරක සභා රැස්වීමේදී විවෘතව මතුව තිබෙන ප්‍රශ්නකාරී තත්ත්වය සාකච්ජා කිරීමට නියමිත අතර එක්සත් ජාතික පක්ෂය සමඟ අනාගත දේශපාලනය තීන්දු කර ඇති මැති ඇමතිවරු පිළිබඳ පක්ෂයක් ලෙස තීන්දුවක් ගැනීමට නියමිත බව වාර්තා විය.

එක්සත් ජාතික පක්ෂය සමඟ ඉදිරි දේශපාලන කටයුතු තීරණය කර ඇති මැති ඇමතිවරු තව දුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තනතුරු වල තවදුරටත් ක්‍රියා කළ නොහැකි බවයි සෙසු පිරිස අවධාරණය කර ඇත්තේ.

ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top