1150 x 80 px
මහින්දානන්ද අලුත්ගමගේ FCIDයට

ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අද උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ තිබේ. මේ වන විටත් මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ රැඳී සිටින අතර ඒ අවට පොලිස් කැරළි මර්දන ඒකකය ද යොදවා ඇත.

අලුත්ගමගේ මහතා ක්‍රීඩා ඇමතිවරයාව සිටි සමයේ ක්‍රීඩා අමාත්‍යංශයට කැරම් බෝඩ් ඇතුළු ක්‍රීඩා ආම්පන්න මිලදී ගැනීමේදී රුපියල් මිලියන 39කට ආසන්න වංචාවක් සිදුවී ඇති බවට චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (16) දින ඔහු පොලිස් මූල්‍ය ආරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබේ.

මිට පෙර අවස්ථාවකදී ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම චෝදනාව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තමන්ව නීති විරෝධී අන්දමින් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින අතර එය වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනා අවසර පෙත්සමක් ද ඉදිරිපත් කළේය. මෙම ඉල්ලීමට පෙර ද ඔහු , තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය කටයුතු කළේය.

මෙම සිද්ධියට අදාළව පසුගිය 06 වැනිදා සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතා ද කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනුණු අතර රු.ලක්ෂ 03ක ශරීර ඇප 2ක් හා රු.විසිපන්දහසක මුදල් ඇපයක් මත කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මුදා හැරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට හා නලින් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල කර තිබුණේ සතොස ආයතනය හරහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට භාණ්ඩ මිලදී ගැනීමේදී රුපියල් මිලියන 39කට ආසන්න මුදලක් රජයට පාඩු කිරීම සමබන්ධයෙනි.

ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top