1150 x 80 px
මිරිස්සේදී තරුණියන් බේරා ගත් ඕලන්ද සංචාරකයාට පහර දුන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මිරිස්ස සිද්ධියේ සැකකරුවන් 4 දෙනෙක් අත්අඩංගුවට ගැනේ.

නිවාඩුව ගත කිරීම සඳහා මිරිස්ස වෙරළ තීරයට පැමිණ සිටි ඕලන්ද ජාතිකයෙකුට අවන්හලක සේවකයන් විසින් පහර දුන් පුවතක් පසුගිය සතියේ වාර්තා විය. එම පහර දීම සම්බන්ධයෙන් සැක පිට එම ආපනශාලාවේ සේවය කළ සිව් දෙනෙක් අද දින (16) අත්අඩංගුවට ගනු ලැබිණි.

මහා බ්‍රිතාන්‍යයේ පළ වන ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ ඕලන්ද ජාතික සංචාරකයා එම පහරකෑමට ලක්ව තිබෙන්නේ එකී සේවකයන් විසින් විදේශීය සංචාරක කාන්තාවන් දෙදෙනෙකුට සිදුකරමින් සිටි ලිංගික අඩන්තේට්ටම් නතර කිරීමට උත්සාහ කිරීමේදී බවයි.

එම ඕලන්ද ජාතික සංචාරකයා දිවයිනට පැමිණ සිටියේ එම කාන්තාවන් දෙදෙනා සමග ය. ඔවුන් තිදෙනා මිරිස්ස අවන්හලකින් රාත්‍රී ආහාරය ගත් බවත්, එම ස්ථානය මත් පැන් විකුණන ස්ථානයක් බවත් වාර්තා වේ.

‘‘මේ වේටර්වරුන් අප සමීපයට පැමිණ අප සමග නර්තනයේ යෙදෙන්නට උත්සාහ කළා. පසුව අපට බලහත්කාරකම් කිරීමට පටන් ගත්තා..“ යැයි අපහරණයට පත් කාන්තාවන් ඩේලි මිරර් පුවත්පත සමග පවසා තිබේ. පසුව ඒ අවට සිටි තරුණයන් කිහිප දෙනෙක් ද එම ස්ථානය වෙත පැමිණ තිබේ. 

පහර කෑමට ලක් වූ ඕලන්ද ජාතිකයා 19 හැවිරිදි තරුණයෙකි.

‘‘අපි ඔවුන්ගේ හැසිරීම ගැන බාර් එකේ සේවය කළ අයට පැමිණිලි කළත් ඔවුන් අපට හිනා වුණා.“ යැයි ද ඔහු බ්‍රිතාන්‍ය පුවත්පතට පවසා තිබේ. පසුව එක් තරුණියකට බරපතළ හිංසාවක් සිදුකිරීමෙන් පපසුව ඔවුන් එතැනින් ඉවත්වී යාමට සැරසෙන විට අට දෙනෙක් පමණ එතැනට පැමිණ ඔහුව බිම දමා වටකරගෙන පහර දී ඇත. විනාඩි 10 ක් පමණ පහර දීම සිදුවී ඇති අතර, නෙදර්ලන්ත ජාතික සංචාරකයාගේ නළල, දකුණු කන සහ දකුණු අතට පහර දීමෙන් දැඩි තුවාළ සිදු වී තිබේ.

පොලිසිය අද දිනයේ ප්‍රකාශ කළේ එම ස්ථානය පවත්වාගෙන ගොස් තිබෙන්නේ මත්පැන් විකිණීම සඳහා බලපත්‍රයක් ද රහිතව බවයි.

මේ අතර නෙදර්ලන්ත (ඕලන්ද) විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය ද සිද්ධිය සම්බන්ධයෙන් යොමු වී තිබේ. ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ සංචාරකයන් බොහෝ දෙනෙක් ගැවසෙන ලංකාවේ වෙරළ තීර වැනි ස්ථානවලදී විශේෂයෙන්ම කාන්තාවන් ප්‍රවේශම් විය යුතු බවයි.

- අමාලි ජයවීර

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top