1150 x 80 px
සේවක අර්ථ සාධක අරමුදල් (EPF) ආයෝජනයෙන් පුද්ගලික සමාගම් බහුතරයකින් සතයකවත් ලාභයක් නැහැ!!

රටේ විශාලතම විශ්‍රාමික අරමුදල වන, මහබැංකුවේ භාරකාරත්වය යටතේ පවතින සේවක අර්ථ සාධක අරමුදල (EPF) පුද්ගලික අංශයේ සිදුකළ ආයෝජනය කිරීම්වල බහුතරයකින් මේ දක්වා සතයකවත් ලාභයක් උපයා නැති බව තොරතුරු පනතෙන් හෙළි වේ.

බිලියන 9.3 ක් බොල් ආයෝජන

2014 වසර දක්වා සේවක අර්ථ සාධක අරමුදලේ මුදල්වලින් ආයෝජනය කළ රුපියල් බිලියන 9.3 ක් මේ අන්දමින් කිසිදු ලාභයක් ලබා දීමට සමත් වී නැත.

මේ මුදල, 2015-2016 වසරවල සිදුවූ බව කියන බැඳුම්කර වංචාව නිසා රජයට අහිමි වූ මුදලටද වඩා විශාල ය.

මේ බව අනාවරණය වන්නේ ඩේලි මිරර් පුවත්පතේ මිරර් බිස්නස් (Mirror Business) අතිරේකය විසින් ගොනු කරන ලද තොරතුරු ඉල්ලීමකට ලැබුණු ප්‍රතිචාරවලිනි. එම තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම බලධාරීන් විසින් විශාල වශයෙන් ප්‍රමාද කර තිබුණේ ඉල්ලා තිබූ දත්තවල විෂය පථය සැලකිල්ලට ගනිමිනි.

ප්‍රශ්නගත කාලය තුළ සේවක අර්ථසාධක අරමුදල විසින් රුපියල් බිලියන 10.8 ක් පුද්ගලික ආයතන 7ක කොටස් මිලදී ගැනීම සඳහා යොදවා තිබේ.

කබ්රාල් නෑ කිව්වාට...

තොරතුරු ඉල්ලීම මගින් තොරතුරු ඉල්ලා සිටි කාලපරිච්ඡේදයට අදාළ ව මහබැංකු අධිපතිවරයා ව සිටියේ අජිත් නිවාඩ් කබ්රාල් ය.

බැඳුම්කර සිද්ධියට අදාළ ජනාධිපති කොමිෂන් සභාව විසින් පවසන ආකාරයට, සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් ‘ඉන්සයිඩ් ට්‍රේඩින්‘ හෙවත් කොටස් වෙළඳපොළ තොරතුරු අයථා ලෙස අභ්‍යන්තරයෙන් ලබාගැනීම හරහා  ආයෝජනය කිරීම මගින් මෙයට ද වඩා අලාභයක් සිදු වී තිබෙනවා විය හැකිය. එසේ නමුත් කබ්රාල් මේ චෝදනා ප්‍රතික්ෂේප කළේය.

එසේ වුවත් මේ කාලපරිච්ඡේදය තුළ සේවක අර්ථසාධක අරමුදල විසින් පාඩු ලබමින් සිටි ලේඛනගත සමාගම්වල රුපියල් බිලියන ගණනක් ආයෝජනය කර තිබේ.

තවද එසේ ආයෝජනය කරන ලද පුද්ගලික සමාගම්වල කොටස්, මිලදී ගත් අගයට වඩා සැලකිය යුතු අන්දමින් පහළ වැටෙන අතරවාරයේ ඇතැම් සමාගම්වලට මෙම සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් තවදුරටත්-දිගින් දිගටම ආයෝජනය කිරීම ද සිදුව ඇත. මෙම කොටස් ආයෝජනය (equity investments) සඳහා වැය කර තිබූ මුදල, සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් ට්‍රිලියන 2 ක් වන ආයෝජන කළඹ (portfolio) වත්කමෙන් 5% ක ප්‍රමාණයක් වන අතර, පුද්ගලික අංශයේ ආයෝජනය කර ඇති බිලියන 10.8 ක මුදල එයින් 0.5%කට සමාන වේ.

තවමත් හදමින් පවතින හෝටලයකට බිලියන 7.5 ක්!

මෙම ආයෝජනයෙන් විශාලතම ආයෝජනය සිදු කර තිබෙන්නේ 2013 වසරේදී ය.

එ්, රාජ්‍ය හිමිකාරිත්වය සහිත කැන්විල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම (Canwill Holdings (Pvt.) Ltd) සඳහා ය. ආයෝජනය කළ මුදල රුපියල් බිලියන 7.5 කි. මෙකී සමාගම, මේ වන විට ඉදිවෙමින් පවතින තරු පහේ හෝටල් සමාගමක් වන කොළඹ ග්‍රෑන්ඩ් හයෙට් (Grand Hyatt) සමාගම් සමූහයට අයත් ය.

පසුගියදා රජය නිවේදනය කළේ ග්‍රෑන්ඩ් හයෙට් සමාගම් සමූහය කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර ඇති බව ය. නමුත් මිරර් බිස්නස් පුවත්පත විසින් පසුගියදා සිදුකළ අනාවරණයට අනුව මෙම හෝටලය තවමත් ඉදිකර අවසන් නැති අතර, එහි ඉදිකිරීම් පමා වෙමින් තිබෙන්නේ මුදල් ගැටළුවක් හේතුවෙනි.

කාගිල්ස් බැංකුවට මිලියන 495 ක්!

මේ අතර 2014 වසරේදී කාගිල්ස් බැංකුවේ (Cargills Bank Ltd) ද සේවක අර්ථ සාධක අරමුදල රුපියල් මිලියන 495 ක් ආයෝජනය කර ඇත.

වැලිගම හෝටලයට මිලියන 405 ක්!

ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් සමාගම (East West Properties PLC) හි ශාඛාවක් සහ වැලිගම බේ මැරියට් රිසෝට් ඇන්ඩ් ස්පා (Weligama Bay Marriott Resort & Spa) හි හිමිකාරිත්වය දරන වැලිගම හොටෙල් ප්‍රොපටීස් පුද්ගලික සමාගම (Weligama Hotel Properties (Pvt.) Ltd) එම වර්ෂයේදීම රුපියල් මිලියන 405 ක ආයෝජනයක් ලබාගත්තේ ද සේවක අර්ථසාධක අරමුදලෙනි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට මිලියන 500 ක්!

මිලියන දහස් ගණන් පාඩු ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය (SriLankan Airlines) ද 2010 වසරේදී සේවක අර්ථ සාධක අරමුදලෙන් රුපියල් මිලියන 500 ක ආයෝජනයක් ලබාගෙන තිබේ.

මේ අතර, ජෙට්වින් සිම්ෆනි ලිමිටඩ් (Jetwing Symphony Limited), 2014 වසරේදී සේවක අර්ථ සාධක අරමුදල විසින් රුපියල් මිලියන 390 ක් ආයෝජනය කිරීමේදී එම අරමුදල සමග ඇතිකර ගත් පූර්ව එකඟතා කොන්දේසියක් මත පසුගියදා මූලික කොටස් නිකුතුවක් (initial public offering -IPO) සිදුකළේය. ඒ අනුව ජෙට්වින් සිම්ෆනි සමාගම රු. 15 ක කොටස් මිලකට සිය කොටස් අලෙවි කිරීම ආරම්භ කළ අතර, එ් හරහා සේවක අර්ථ සාධක අරමුදලට සමථමය අගයක් වූ 10.9%ක  වාර්ෂික වර්ධන අනුපාතිකයක් කරා යාමට හැකි විය. මෙය, අරමුදල සමග පූර්ව කොන්දේසියක් වශයෙන් එකඟ වී තිබූ 11.3%ක අගයට වඩා මදක් අඩු අගයකි.

ජෙට්වින් සිම්ෆනි කොටස් මිල රුපියලට වැටිලා!

කෙසේ නමුත් ජෙට්වින් සමාගම පාඩු ලබමින් තිබියදී වුවත්, සේවක අර්ථ සාධක අරමුදල එම ආයෝජන කොන්දේසි අවසන් කර එයින් ඉවත් නොවුණේ, එම හෝටල්වලින් වැඩි කොටස විසින් සිය මෙහෙයුම් ආරම්භ කර තිබුණේ 2016 සහ 2017 වසරේදී වූ බැවින් සහ, ලාභ ඉපයීම සඳහා දළ වශයෙන් වසර 2 ක කාලයක් ගත වන හෙයිනි. මේ අතරවාරයේ මේ සමාගමේ කොටස් මිල දෙසැම්බරයේ සිදුකළ මූලික කොටස් නිකුතුවෙන් පසුව රු.15 සිට රු. 1 දක්වා පහළ වැටුණේය.

සමාගම් දෙකකින් පමණක් ලාභයක්

සේවක අර්ථ සාධක අරමුදල විසින් මේ අන්දමින් පුද්ගලික අංශයේ කොටස් මිලදී ගැනීම සඳහා සිදුකළ බිලියන 10.8 ක ආයෝජන අතරින්, වරණීය කොටස් හරහා ආයෝජනය මත ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇත්තේ වෙස්ට් කෝස්ට් පවර් පුද්ගලික සමාගම (West Coast Power (Pvt.) Ltd) සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගම (SriLankan Catering) පමණි. මෙම සමාගම් ද්විත්වය විසින් ගතවූ වසර 8 ක කාලය තුළ රුපියල් බිලියන 1 ක ලාභාංශයක් ඉපැයීමට සමත් වී තිබේ.

වැඩිම ලාභය කෙරවළපිටිය තාප බලාගාරයෙන්

වෙස්ට් කෝස්ට් පවර් සමාගම වෙත ආයෝජනය කළ රුපියල් මිලියන 494.8, සේවක අර්ථ සාධක අරමුදල විසින් සිදුකළ සාර්ථකම ආයෝජනය බවට මේ අනුව පත් වේ. 2011 සිට 2017 වසර දක්වා කාලය තුළ ඔවුන් විසින් රුපියල් බිලියන 5.3 ක ලාභාංශ ගෙවා ඇත. කෙරවළපිටිය තාප බලාගාරය (යුගදනවි) ක්‍රියාත්මක කරන්නේ මෙම සමාගම විසිනි.

සේවක අර්ථසාධක අරමුදලෙන් 90%ක් ම පවතින බව කියන්නේ අවදානම් රහිත-රාජ්‍ය සුරැකුම් වශයෙනි. නමුත් රජයේ සුරැකුම් සම්බන්ධයෙන් පසුගියදා පැන නැගුණු ‘ඉන්සයිඩ් ට්‍රේඩින්‘ අපවාදය හේතුවෙන් රජයට සේවක අර්ථසාධක අරමුදලේ සහ රජය විසින් පාලනය කරන වෙනත් අරමුදල්වල මුදල්වලින් රුපියල් බිලියන 8.5ක් අහිමි වී තිබෙන බව ද පැහැදිලිව පෙනී යයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top