1150 x 80 px
එස්.බී.  යළිත්  ආණ්ඩුවට!

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය පළකර ආණ්ඩුවෙන් ඉවත් වූ සමාජ සවිබල ගැන්වීම, සුබසාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතා නැවතත් ආණ්ඩුවට එක්වීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරයි. නැවත වරක් ජාතික ආණ්ඩුව හා එක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සමඟ සාකච්ජා කර ඇති බවයි එම දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේ .

 

අගමැතිවරයාට එරහි විශ්වාසභංග යෝජනාවට සහය පලකළ ආණ්ඩුවේ සිටි ශ්‍රීලනිප කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස එස්.බී. දිසානායක මහතා පෙනී සිටිය ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඔහු ස්ව කැමැත්තෙන් ඒ වෙනුවෙන් පෙනී නොසිටි බවයි. එම මොහොතේ ශ්‍රීලනිප අභ්‍යන්තරයේ පැවති දේශපාලන තත්ත්වය මත එස්. බී. දිසානායක මහතා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය දීමට තීරණය කර ඇත්තේ ද අවසන් මොහොතේය. 16 කණ්ඩායමේ සෙසු පිරිසේ බලවත් ඉල්ලීම හා ඊට ජනාධිපතිවරයා ද එකඟතාව පළකර තිබූ බව සඳහන් වූ හෙයින් දිසානායක මහතා අග්‍රාමාත්‍යවරයාට එරෙහි කණ්ඩායමට සහය දීමට තීරණය වී ඇත.

විශ්වාසභංග යෝජනාවට සහය දෙනවාද නැද්ද යන්න පිළිබඳ ශ්‍රීලනිප අභ්‍යන්තරයේ පැවති සාකච්ජා වලදී එස්. බී. දිසානායක මහතා දිගින් දිගටම අවධාරණය කර ඇත්තේ තවදුරටත් ජාතික ආණ්ඩුවේ රැඳී සිටීමට හැකි වන පරිදි ක්‍රියා කළ යුතු බවයි. විශ්වාසභංග යෝජනාවට සහය පළ කිරීමෙන් අනතුරුව ශ්‍රීලනිප 16 කණ්ඩායමට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි බලපෑමක් පැවති මොහොතේ පවා එස් .බී.දිසානායක මහතා අවධාරණය කර ඇත්තේ එජාපයේ බලපෑම් පැමිණිය ද ජනාධිපතිවරයා සමඟ තවදුරටත් ආණ්ඩුවේ සිටිය යුතු බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top