1150 x 80 px
ඇමතිකම නැවත දෙන්න. දින 100න් රට හදනවා - රවී
ආර්ථිකය ගොඩනැංවීම සම්බන්ධයෙන් තමන්ට සියළු වගකීම් පැවරෙන්නේ නම් දින 100ක් ඇතුළත ආර්ථිකය ගොඩනගන බව හිටපු මුදල්  අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේ ඊයේ (20) තොටළඟ  එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති රැස්වීමකදීය.
රටේ ආර්ථිකය වැටීමට හේතුවට ආණ්ඩුවට එක්ව සිටින කිහිපදෙනෙකුගේ ක්‍රියාකලාපය බව ඔහු සඳහන් කළේය. 
 
"මම දින 100ක් ඇතුළත රටේ ආර්ථිකය ගොඩනංවනවා. දක්ෂ නිලධාරීන් පිරිසක් සමඟ එම අභියෝගයට මුහුණ දෙනවා. ජනතාව පීඩාවට පත්කිරීමේ අනවශ්‍ය බදු පැනවීම් වලට මම  තරයේ විරුද්ධයි. විශේෂයෙන් ආණ්ඩු වෙනස් වුණාට, දේශපාලකයන් පිටුපස යන නිලධාරීන් වෙනස් නොවීමේ ප්‍රතිඵලයක් තමයි මේ ආර්ථික ව්‍යාකූලත්වයට හේතුවෙලා තියෙන්නේ. අද දක්ෂතා ඇති පුද්ගලයන්ට නිසි තැනක් නොලැබීම නිසා රටේ ආර්ථික අර්බුද සහ අනෙකුත් අර්බුද උත්සන්න වෙලා.
 
අපි කවුරුත් දන්නවා පෙරහර ගත්තහම ඒකෙ ප්‍රමුඛත්වය දෙන්නේ කරඬුව වඩම්මන හස්තියාට,  ඒ හස්තියා ගමන් ගන්නෙ ඒ සඳහා විශේෂයෙන් සකස් කළ පාවඩ මතින්,   ඊළඟට ඒ ඒ දේවාල වල නිලමේවරුන්, ගමන් ගන්නා අලි, ඇතුන්. අද වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. කොහෙවත් ඉන්න පන්දම් කාරයෝ, අලි පැටවුන්, රබන් කාරයෝ, බොරු කකුල් කාරයෝ තමා පෙරහරේ ඉදිරියෙන් යන්නේ. 
 
කොහොමත් ඉදිරියේදී බලාගන්න පුළුවන් හස්තියෝ ඉදිරියෙන් ගමන් ගන්නා පෙරහරක්.
 
 ඒ වගේම තමයි  ජනාධිපතිවරයාත් අගමැතිවරයාත්  රටේ ආර්ථිකය හදන්න දැඩි පරිශ්‍රමයක් දරන මොහොතක, ඒ ගමන කඩාකප්පල් කරන්න හදන  දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒක අපේ නායකයන් දෙදෙනා අවබෝධ කරගෙන ඇතිබව මම හිතනවා.”
 
මේ වන විට ආනයනික රත්රන් මත 15%ක බද්දක් පැනවීම අනුමත කළ නොහැකි බවද හිටපු මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
 
ආශිකා බ්‍රාහ්මණ 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top