1150 x 80 px
අපිට බලය දෙන්න, දිනවලා පෙන්නන්නම් - 16 කල්ලිය ජනපතිගෙන් ඉල්ලයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණ දී සිටින පසුබෑමෙන් පක්ෂය ගලවාගෙන නැවත ජයග්‍රාහී මාවතට ගැනීම සඳහා පක්ෂයේ බලය තමන් වෙත ලබාදෙන ලෙස 16 කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. ශ්‍රීලනිප මහ ලේකම් තනතුර සහ එජනිස මහ ලේකම් තනතුර තමන් වෙත ලබාදිය යුතු බවයි ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන්නේ.
ඩිලාන් පෙරේරා සහ චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරුන් පසුගියදා ලන්ඩන් බලා පිටත්ව ගොස් ඇත්තේ ද මෙහි ඉදිරි පියවරක් ලෙසයි.
 
මෙම යෝජනාව සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා ලන්ඩනය වෙත පැමිණෙන ලෙස ජනාධිපතිවරයා විසින් එම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු කැඳවා තිබෙන අතර කෙසේ වෙතත් අවසානයේදී ලන්ඩන් වෙත ගොස් ඇත්තේ ඩිලාන් සහ චන්දිම යන මන්ත්‍රීවරුන් දෙදෙනා පමණි.
 
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපය දැඩි පසුබෑමකට ලක් වූ අතර ආණ්ඩුවේ රැඳී සිටීම එම පරාජයට දැඩි ලෙස බලපෑ බව එම මන්ත්‍රීවරුන් කණ්ඩායමේ මතය වී තිබෙනවා. තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටියහොත් පක්ෂය නැත්තටම නැති වී යාහැකි බැවින් තමන්ට බලය දෙන්නේ නම් පක්ෂය ජයග්‍රාහී මාවතට ගෙන ඒමට හැකි බවයි ඔවුන් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ.
 
කෙසේ වෙතත් ඔවුන් කණ්ඩායමක් වශයෙන් ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන මතයේ සිටියද එම කණ්ඩායමේ සමහර මන්ත්‍රීවරුන් නැවත ඇමතිකම් ලබා ගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව ද වාර්තා වේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top