1150 x 80 px
සිරිකොත තුනට කැඩේ!

ජාතික ආණ්ඩුවේ අනාගතය මෙන්ම දේශපාලන පිටියේ මේ දිනවල වැඩි කතා බහට ලක්ව ඇති තවත් කාරණයකි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ආ සමයේ මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ දැඩි කතා බහකට ලක්ව තිබුණු අතර විශ්වාසභංග යෝජනාවෙන් පසු පක්ෂයේ ප්‍රතිසංවිධානය කඩිනම් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාම පක්ෂයට පොරොන්දුවක් දී තිබුණි. ඒ අනුව එම ප්‍රතිසංවිධාන කටයුතු සඳහා කමිටුවක් ද පත්කරනු ලැබීය. මෙම මස 30 වැනිදාට පෙර එම ප්‍රතිසංවිධානය නැත්නම් පක්ෂයේ තනතුරු වල දැනෙන වෙනස සිදුකරන බවටයි එම කමිටුව මාධ්‍යයට කියා සිටියේ.

 

එම ප්‍රතිසංවිධාන කටයුතු වලට සමගාමීව සිරිකොත පක්ෂ මුලස්ථානයේ ව්‍යුහයේ වෙනසක් කිරීමටද තීරණය වී තිබේ. ඒ අනුව සිරිකොත පක්ෂ මුලස්ථානය අංශ 03කට වෙන් කර එහි කටයුතු කාර්යක්ෂමව කරගෙන යාම සඳහා නිලධාරි මණ්ඩලයකට බලය පැවරීමට නියමිත බවයි එජාපය නිවේදනය කරන්නේ. එම තීරණයට අනුව පක්ෂ මුලස්ථානය ජනසන්නිවේදන හා ප්‍රචාරක අංශය, ප්‍රධාන කාර්යාලය මෙහෙයවීම, සාමාජිකයන් බඳවා ගැනීම හා ප්‍රවර්ධන කටයුතු ලෙස වෙන් කිරීමට තීරණය කර ඇත. එම කටයුතු පවත්වාගෙන යාම සඳහා නිලධාරීන් තිදෙනෙකු පත්කරන බවයි එජාපය පෙන්වා දෙන්නේ. එම නිලධාරීන්ට සහය දැක්වීම සඳහා විෂය භාර නව ලේකම්වරු තිදෙනෙක් ද පත්කෙරෙනු ඇති.

පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම හා ප්‍රවර්ධන කටයුතු බිම් මට්ටමේ සිට ක්‍රියාවට නැංවීම ජාතික සංවිධායක වෙතත් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය මෙහෙය වීම මහලේකම්වරයා වෙතත් පැවරෙන අතර ජනසන්නිවේදන හා ප්‍රචාරක කටයුතු වෙනුවෙන් නව නිලධාරියෙක් පත්කිරීමටත් තීරණය කර ඇත.

මෙම ප්‍රතිසංවිධාන හරහා තවදුරටත් පක්ෂය ශක්තිමත් වනු ඇති බවට සාමාජිකත්වය විශ්වාසය පළ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top