1150 x 80 px
වව්නියාව මණ්ඩපයේ කළමනාකරණ පීඨයේ ගැටලු විසඳීමට පියවර

යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ කළමනාකරණ පීඨයට දින නියමයක් නොමැතිව නිවාඩු ලබා දීමෙන් පසුව එම පීඨයට අයත් සිසුන් නේවාසිකාගාරයන්ගෙන් ඉවත් නොවීමත් සමග ඇතිවූ ගැටලුව විසඳීමට මේ වන විට පියවර ගෙන තිබේ.

පසුගිය 23 වනදා වව්නියාව මණ්ඩපයේ කළමනාකරණ පීඨයේ නේවාසිකාගාරය තුළදී පාලනාධිකාරිය සමග එහි සිසුන් ඇතිවූ නොසන්සුන්තාවයක් මත එම පීඨයට නැවත දැනුම් දෙන තුරු නිවාඩු ලබා දෙනු ලැබුවේ අවුරුදු නිවාඩුව අවසන් වී නැවත අධ්‍යයන කටයුතු ආරම්භ කළ දිනයේදීමය.

කෙසේ වෙතත් ගාල්ල, මාතර, හම්බන්තොට වැනි පළාත්වල සිට නිවාඩුව අවසන් වී නැවත පැමිණි සිසුන් ආපසු යාමට නොහැකි බව පවසමින් පාලනාධිකාරියේ තීරණය ඉවත් කරගන්නැයි ඉල්ලමින් පසුගිය දින දෙක පුරාම කළමනාකරණ පීඨයේ පාලනාධිකාරිය ඉදිරිපිටට රැස් වී ඉල්ලීම් කරනු ලැබීය.

මේ අතර ඊයේ (24) දිනයේදී ද වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පැමිණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග සාකච්ඡා කළ අතර පසුව පාලනාධිකාරිය සමගද සාකච්ඡා කරනු ලැබීය.

අනතුරුව වව්නියාව මණ්ඩපයේ පාලනාධිකාරිය විසින් කළමනාකරණ පීඨයේ සිසුන්ට දැනුම් දී ඇත්තේ නිවාඩු ලබා දුන් හෙයින් නැවත නිවෙස් වෙත යන ලෙසත් සතියක් වැනි කෙටි කාලයක් ඇතුළත විසඳුම් සමග නැවත අධ්‍යයන කටයුතු ආරම්භ කරන බවත් ය. ඒ සමඟ අද (25) දින කළමනාකරණ පීඨයේ සිසුහු මණ්ඩපයේ නේවාසිකාගාරවලින් ඉවත්ව නිවෙස් වෙතට ගියෝය.

wavniyawa campus 1

wavniyawa campus 2

රොමේෂ් මධුෂංඛ - වන්නි

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top