1150 x 80 px
අපිට මෙහෙම නම් සාමාන්‍ය කෙනෙකුට කොහොම වෙයිද? ඉරාන් කියයි

"අපි අද සාක්ෂි දීමට පැමිණයේ 2014 මාගම්පුර වරාය නිරීක්ෂණ චාරිකාවේ දී ඇති වූ තර්ජනය සම්බන්ධයෙන්. 2014න් පස්සෙ 2018 තමයි මේ නඩුව අධිකරණයට පැමිණිලා තියෙන්නෙ. අවුරුදු 4ක් ගිහිල්ලා තියෙනවා. අපි වගේ මන්ත්‍රීවරුන්ට අවුරුදු 4ක් යනව නම් නඩුවක් මහ අධිකරණයට පැමිණෙන්න, රටේ සාමාන්‍ය පුරවැසියෙකුට තියෙන ප්‍රමාදය ගැන හිතන්න පුළුවන්" යනුවෙන් බව සාක්ෂි ලබා දීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

ඉරාන් වික්‍රමරත්න මහතා මේ බව කියා සිටියේ මත්තල ගුවන්තොටුපල සහ හම්බන්තොට වරායේ නිරීක්ෂණ සංචාරයක යෙදුන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසකට 2014.04.17 වන හම්බන්තොට මාගම්පුර වාරයේදී එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් වූ නඩු විභාගය ඊයේ (15) දින හම්බන්තොට පළාත්බද මහා අධිකරණයේ දී පැමිණිලිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

කෙසේ වුවද පැමිණිලිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව යළි ජුනි 13 වනදා තෙක් නඩුව කල් තැබීමට මහ අධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා නියෝග කරනු ලැබීය.

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකුට විරුද්ධව ගොනු කරනු ලැබූ අධිචෝදන පත්‍ර ගොනු කිරීමකට අනුව සාක්ෂිකරුවන් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, අජිත් මාන්නප්පෙරුම, නලින් බණ්ඩාර යන සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම ඊයේ සිදු කෙරුණි.

මෙම නඩු විභාගය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් 52 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදු කිරීමට නියමිතව තිබේ. ඒ අතර මාධ්‍යවේදීන් ද සිටින අතර මේ වන විට සාක්ෂි සටහන් කර ගෙන ඇත්තේ සාක්ෂිකරුවන් හතර දෙනෙකුගෙන් පමණි.

එහිදී වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා,

''මෑතක දී අළුවිහාරයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුගේ ප්‍රධානත්වයෙන් කරපු පර්යේෂණයක දී දැනගන්නට ලැබුණා සාමාන්‍යයෙන් මේ රටේ නඩුවක් අහලා තීන්දුවක් දෙන්න අවුරුදු 10කට වඩා කාලයක් යන බව. පැමිණිල්ල දාලා නඩුව අධිකරණයට යොමු කරන්න අවුරුදු 4කට වඩා කාලයක් යනවා. අවුරුදු 10කට පස්සෙ තීන්දුව දුන්නම අභියාචනාවක් දානවා, ඒකට අවුරුදු 7ක් යනවා. ඒ කියන්නෙ සාමාන්‍ය නඩුවකට අවුරුදු 17ක් යනවා. ජනතාවට සාධාරණත්වයක් වෙන්නෙ නැහැ. මේ නඩුවෙත් අපිට මෙහෙම නම් සාමාන්‍ය කෙනෙකුට කොහොමද කියලා තමයි අහන්න තියෙන්නෙ.

ගිය සතියේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තීරණය කළා අල්ලස, දූෂණය, හොරකම අදාළ නඩු ඉක්මන් කරන්න ඕන කියලා. ඒ නිසා අලුතින් පනතක් ගෙනැත් සම්ම්ත කරගත්තා. ස්ථාවරව උසස් අධිකරණයක් නඩුව කල් නොදමා නඩුව පටන් ගත්ත දවසෙ අහලා ඉවර කරන්න ඕන. ඒ නිසා අපි විශ්වාස කරනවා, පසුගිය රජයේ හිටපු දූෂිතයන්ට අපේ රජයේ සිටින දූෂිතයන්ට නීතිපතිතුමා නඩුව ඉදිරිපත් කළා කියලා කිසිම ආරක්ෂාවක් නැහැ. අග්‍ර විනිශ්චයකරුට පුළුවන් තීරණය කරන්න මොන නඩුව ද අහන්නෙ කියලා. එවිට මේ රටේ ජනතාවට යම්කිසි සහනයක්වත් ඇතිවෙයි. ''

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top