1150 x 80 px
පෙළපොත් හිඟයට තවමත් පිළියමක් නෑ: ලංකා ගුරු සංගමයෙන් චෝදනාවක්
2018 වසර සඳහා සමස්ත පෙළපොත් අවශ්‍යතාවය 41,189,027ක් ව තිබියදී පෙළපොත් 28,210,600 ක් පමණක් මුද්‍රණය කිරීමට කටයුතු කිරීමෙන් බරපතළ පෙළපොත් හිඟයක් ඇති බවත් මුද්‍රණය කර ඇති පෙළපොත් ප්‍රමාණය තුළ ගුරුවරුන්ට අවශ්‍ය පෙළපොත් සංඛ්‍යාව ඇතුළත් නොවීම සහ ගුරුවරුන්ට ඉගැන්වීම් කටයුතුවලට අවශ්‍ය පෙළපොත් ලබා නොදීම තුළ ගුරුවරු බරපතල පීඩාවකට පත්ව ඇති බවටත් ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
 
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය කියා සිටින්නේ මුද්‍රණය කළ පෙළ පොත් 28,210,600 තුළ 1-4 ශ්‍රේණි සඳහා අවශ්‍ය පොත් 8,802,100 ක් හා 9 ශ්‍රේණිය සඳහා අවශ්‍ය පොත් 6,432,000 ක්, වැඩපොත් 2,630,000 අනිවාර්යයෙන් මුද්‍රණය කළ යුතු බවයි. එවැනි තත්ත්වයක් සත්‍ය වශයෙන්ම මුද්‍රණය කර ඇත්තේ සමස්ත පෙළපොත් අවශ්‍යතාවයෙන් කුඩා ප්‍රමාණයක් බව පැහැදිලි වන බවද ලංකා ගුරු සංගමය චෝදනා කර සිටී.
 
පෙළපොත් මුද්‍රණය සඳහා අයවැයෙන් රුපියල් මිලියන 4385 ක මුදලක් වෙන් කර තිබියදී පෙළපොත් නැවත භාවිතය ගැන සඳහන් කරමින් අඩු පෙළපොත් ප්‍රමාණයක් මුද්‍රණය කර තිබීම ගැටලුවක් බවද ඔවුන් පෙන්වා දෙයි.
 
පවතින තත්ත්වය අනුව 2018 වසරට අදාළ පෙළපොත් මුද්‍රණය සඳහා දෙවැනි වරට 2018 වසරේ  ජනවාරි මස පුවත්පත් මගින් ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව ටෙන්ඩර් කැඳවා තිබීම විහිළුවක් බවත් මේ වන විට දෙවන පාසල් වාරයද ආරම්භ වී තිබුණ ද පාසල් දරුවන්ගේ පෙළපොත් ගැටලුවට විසඳුම් ලබා දී නැති බවද එම නිවේදනයෙන් ඔවුන් පෙන්වා දෙයි.
 
පාසල් ළමුන්ට අවශ්‍ය පෙළපොත් විධිමත්ව ලබා නොදීම හා නැවත භාවිතය යයි සඳහන් කරමින් අබලි පොත් ලබා දීමෙන් දෙමාපියන්ට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු අලෙවිසැල්වල පෙළපොත් මිල දී ගැනීමට පෝලිම්වල සිටීමට සිදු වී ඇති බව සහ එම තත්ත්වයට වගකිව යුතු නිලධාරීන්වම නැවත ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේනතුවේ කටයුතුවලට යොදවා පෙළපොත් ගැටලුව දිගින් දිගටම පැවතීමට ඉඩහැර ඇති බවද එම නිවේදනයේ ඔවුන් සඳහන් කරයි.
 
එම නිසා මෙවැනි තත්ත්වයක් තුළ පාසල් දරුවන්ගේ පෙළපොත කප්පාදු කොට පෙළපොත් මුදල විකිණීමේ වුවමනාව ඉටු කිරීමට අවශ්‍ය තත්ත්වයක් නිර්මාණය කරමින් සිටින බවටද ලංකා ගුරු සංගමය චෝදනා කරයි. 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top