රාජ්‍ය සංස්ථාවක ප්‍රධාන බලධාරියා වන්නේ සංස්ථා සභාපතිවරයාය. ඊයේ දිනයේ නඩුවට අදාලව හෙළිදරව් වූ පරිදි විමල් වීරවංශ හිටපු ඇමතිවරයාගේ පවුලේ ඥාතීන්ට සහ ඔහුගේ දේශපාලනික හිතවතුන්ට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙහි වියදමින් කුලී පදනම මත වාහන ලබා දීම පිළිබඳව ඒ අනුව මූලික වගකීම පැවරෙන්නේ එවකට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙහි හිටපු සභාපතිවරයා වූ ආශූ මාරසිංහ වෙතය. එවකට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( මානව සම්පත් සහ පාලන ) සමන්ත ලොකුහැන්නදිගේ විසින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය (FCID) වෙත ලබා දුන් ප්‍රකාශයෙහි ද පැහැදිලිව දක්වා ඇත්තේ ඔහු කටයුතු කර තිබුණේ ආශූ මාරසිංහ මහතාගේ උපදෙස් පරිදි බවය. නමුත් දැනට එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ, FCID අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති ප්රේමශාන්තගේ කාමරය තුළදී ප්‍රකාශයක් පමණක් ලබා දී පිටව ගොස් ඇත. එසේම එවකට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් විමල් වීරවංශ මහතා මෙන් තම හිතවතුන්ට නොව කෙළින් ම තමන්ගේ ම පාවිච්චිය සඳහා ඉංජිනේරු සංස්ථාවෙන් කුලී පදනම යටතේ වාහන ලබාගෙන ඇති බවද මෙතෙක් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. එසේ තිබියදී මීට විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ සමන්ත ලොකුහැන්නදිගේ යන අය පමණක් පටලැවීමෙන් සමස්ත ක්‍රියාවලිය පුස්ස බින්දාක් වැනි තත්වයකට නුදුරේ දී ම පත්වනු ඇත. සැබැවින් ම වාහන අවභාවිතාව සිදුව තිබියදී වුව මේ ආකාරයෙන් අසාර්ථක සහ අතාර්කික ලෙස නඩුව ගොනුකිරීමෙන් අවසානයේ විමල් වීරවංශ මහතා විසින් මෙය හුදෙක් දේශපාලන පළිගැනීමක් ලෙස හුවාදක්වමින් ප්රචාරක තළයේ වාසියක් ලබා ගැනීමෙන් පමණක් ම සිද්ධිය කෙළවර වීමේ ඉඩකඩ බොහෝය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් තිබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ ආණ්ඩුවක් බිහිකිරීම සඳහා ඉසුර දේවප්‍රිය මහතා අත විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල විසින් ජනාධිපතිවරයාට පණිවිඩ යවා ඇති බව හෙළිදරව් වීමත් සමඟය. දෙවසරක් තිස්සේ නොඇදුණු වාහන හුටපට ගොඩ ඇදෙන්නේ ඉන් පසුවය. එහෙත් විමල් වීරවංශගේ බිරිඳගේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයට ඉල්ලුම්පත ඔහුගේ අත් අකුරින් පුරවා තිබීමේ සිද්ධියට අදාලව විමර්ශන නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වර්ණා වර්ණකුල නම් නිලධාරිණිය ළඟ මෙතෙක් සිරවුණු ගමන්මය. නොකෙරෙණ වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයකුත් තවත් ටිකක් සොයන්නා සේ ඇය විසින් වසර එකහමාරක් තිස්සේ එහි අත් අකුරු සාම්පල් පරීක්ෂා කරමින් සිටී. එජාපයේ අනාගැනීම සහ හත්පොළේ ගා ගැනීම ආරම්භ වන්නේ එය පසෙක තිබියදී වාහන අවභාවිතා කිරීමේ චෝදනාව බාගෙට ගොනුකිරීම තුළය.
මෙහි මීළඟ ජවනිකාව ලෙස සිදුවිය යුත්තේ නම් විමල් සමඟ වාහන තොණ්ඩුව ආශූ මාරසිංහගේ සහ ලසන්ත අලගියවන්නගේත් ඔළුවට වැටීම හෙවත් ඔවුන් දෙදෙනා ද මෙහි සමවිත්තිකරුවන් වීමය. වරද කළ වුන් කවර පක්ෂයේ වුව ද ඔවුන්ට දඬුවම් ලැබිය යුතුය. නමුත් දැන් මෙහිදී සිදුවනු ඇත්තේ විමල්ලා විසින් මෙය දේශපාලන පළිගැනීමක් ලෙස මොර දීමත්, පවුලේ සහ දේශපාලන හිතවතුන්ට වාහන හැට හුටහමාරක් රජයේ වියදමින් ලබා දී තිබියදීත් විමල් අන්තිමේ වීරයකු ලෙසින් ඇප ලබා එළියට ඒමත් නඩුව දිගින් දිගට ඇදීමත්ය.
පාස්පෝට් දෙකක් ළඟ තබාගෙන සිට හසුවී හිරේ යන්නට නියමිතව සිටි විමල්ට එදා තමුන් ම දේශපාලනික මැදිහත්වීමක් කරමින් ඇප ලබා දී අද තමුන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආශු මාරසිංහ බේරමින් විමල් පමණක් වාහන අවභාවිතයට කොටු කරන්නට ගොස් රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව නාගන්නේ මෙසේය. ජනතාව මින් ඉගෙන ගත යුත්තේ කාගේ කාගේත් කිල්ලෝටවල හුණු ටික ටික නොව යහමින් ම ඇති බවත් එළියට ඇදෙන්නේ අවස්ථානුකූලව බවත්ය.