1150 x 80 px
තෙල් මිල අඩුවීමේ සහනය ජනතාවට ලබාදිය යුතුයි - විජිත හේරත්
පහුගිය අවුරුද්දෙ සිට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල විශාල ලෙස පහළට ඒමට පටන් ගත්තා. නමුත් ආණ්ඩුව ඒ වාසිය රටේ ජනතාවට ලබාදීමට අසමත් වී තිබෙනවා. ගිය වසරේ අගෝස්තු හා අද තත්වය සසඳා බැලූවහොත් මෙම මිල පහළයාම හොඳින්ම පැහැදිලියි. පසුගිය අගෝස්තුවෙදි ඩොලර් 51ට තිබුණු බොරතෙල් බැරලය අද ඩොලර් 36.38ට අඩුවෙලා. පහුගිය මාස දෙකට විශාල මිල අඩු වීමක්. මේ පසුගිය වසරේ ඩොලර් 100 ඉක්මවූ අගයක සිට පහළ යාමක්.
ලංකාවට බොරතෙල් සහ පිරිපහදු කරන ලද පෙට‍්‍රල් හා ඞීසල් ආනයනය කරනු ලබනවා. සපුගස්කන්දේ පිරිපහදු ක‍්‍රියාවලිය ප‍්‍රමානවත් ලෙස සිදු නොවීම නිසා ලංකාවේ පිරිපහදු කිරීමේ හැකියාව අවම වෙලා. රාජපක්‍ෂ ජනාධිපතිවරයා 2007 වසරේදී සපුගස්කන්දේ නව පිරිපහදුවක් හදන්න මුල්ගලක් තිබ්බා. ඒකට ඉරාන ජනාධිපතිවරයාත් ආවා. අද වෙනකම් ඒ පිරිපහදුව ගොඩනැගුණෙ නැහැ. දැන් ඒ මුල්ගල තිබුණු තැනක් හොයන්නත් බැහැ. කාර්යාලයක් තියෙනවා. ඒකට මුදල් වෙන් කරනවා. 
 
මේ වන විට පිරිපහදුව ක‍්‍රියාත්මක වන්නේ නැහැ. ඒ නිසා බොරතෙල් මිල අඩුවීමේ වාසිය උපරිම ලෙස අපට ලබාගන්න නොහැකිවී තිබෙනවා. ඒ නිසා අපට පිරිපහදු කළ ඞීසල් හා පෙට‍්‍රල් ආනයනය කිරීමට සිදුවී තිබෙනවා. වැඩි මිලක් සහිත පිරිපහදු කළ තෙල් ආනයනය කිරීමෙන් විශාල පාඩුවක් සිදුවෙනවා. සපුගස්කන්ද තිබෙන පිරිපහදුවේ නඩත්තු කටයුතු නිසි පරිදි සිදු වී නැහැ. ඒ නිසාම මේ ප‍්‍රශ්නය දිග්ගැස්සෙමින් තිබෙනවා. ගිය 2014 අවුරුද්දෙ අගෝස්තු මාසෙ වෙනකොට අපි ඞීසල් ගෙන්නුවෙ බැරලයක් ඩොලර් 109ට. මේ වසරේ දෙසැම්බර් මුල වන විට බැරලයක් ඩොලර් 40ට තිබෙන තත්වයක් යටතේ ඞීසල් ගෙන්නුවෙ ඩොලර් 55කට. ගිය අවුරුද්දෙ පෙට‍්‍රල් ගෙන්නුවෙ බැරලයක් ඩොලර් 116.74ට. මේ වෙනකොට ඒක අඩුවෙලා ඩෙලර් 54ට. එදා 2014 අගෝස්තුවේදී බොරතෙල් මිල ඩොලර් 102.15යි. අද වෙනකොට බොරතෙල් බැරලය ඩොලර් 36.38යි. ඒ අනුව රටේ ජනතාවට පැහැදිලියි, ආණ්ඩුව ලබන අයුතු ලාභය. 
 
සාමාන්‍යයෙන් කොළඹ වරායට පෙට‍්‍රල් ලීටර් එකක් ගොඩබානකොට වියදම රු. 59.39යි. ඒකට ආණ්ඩුව එකතු කරනවා බදු වර්ග රැුසක්. පැල් නමින් වන බද්දක් එකතු කරනවා රු. 2.97ක්. වරාය ගාස්තු රු.1.44යි. නිෂ්පාදන බද්ද රු. 27යි. රේගු බද්ද රු.23යි. රු. 59.39 ට ආණ්ඩුව එකතු කරනවා බදු විදියට රු 54.41 ක්. ඊට අමතරව මෙහෙයුම් ගාස්තු රු. 10ක් ගන්නව. මේ විදියට බදු ගහලා තමයි පෙට‍්‍රල් ලීටරයක් රු. 117ක අධික මිලක තියෙන්නේ. මේ බොරතෙල් බැරලය ඩොලර් 40ට තියෙද්දී. අද ඊටත් වඩා අඩුයි. ඞීසල් වරායට ගේනකොට ලීටරයක් රු. 51.86යි. ඒකට පැල් බද්ද ගහනවා රු. 2.59ක්. වරාය ගාස්තු රු. 1.43යි. නිෂ්පාදන බද්ද රු. 3.00යි. රේගු බද්ද රු. 13යි. මෙහෙයුම් ගාස්තුව රු 8.00යි. ඒ අනුව රු. 28.02ක මුළු බදු පැනවීමක් තියෙනවා. ඒ බදු එකතු කළත් ඞීසල් ලීටරයක් රු 79ට දෙන්න පුළුවන්. ඒත් විකුනන්නේ රු. 95කට. ආණ්ඩුව අතිරේකව රු. 16ක ලාභයක් ලබනවා. 
 
බරපතල ගැටලූව වන්නේ ආණ්ඩුව විසින් පමණක් නොව ඉන්දියානු තෙල් සමාගම විසින්ද මෙම අතිරේක ලාභය ලබාගැනීමයි. ඔවුන් මාසිකව තෙල් ලීටර් මිලියන 20ක් අලෙවි කරනවා. ඒ අනුව ඔවුන් මාසිකව ලංකාවෙන් රැගෙන යන අතිරේක ලාභය රු. මිලියන 320ක්. පසුගිය කාලයේ ඉන්ධන මිල සකස් කිරීම සඳහා සූත‍්‍රයක් හඳුන්වා දෙන බව ප‍්‍රකාශ වුණා. චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා සතියක් ඇතුළත මිල සූත‍්‍රයක් හඳුන්වා දෙන බව පාර්ලිමේන්තුවේදී කිව්වා. එහෙත් එවැන්නක් සකස් වුණේ නැහැ. තමන් මිලට ගන්නා තෙල්වල මිල තීරණය වන  ආකාරය ජනතාවට විනිවිද දැකිය හැකි විය යුතුයි. ඒත් ආණ්ඩුව එය සඟවා අයුතු ලාභයක් ලබනවා. දැනටත් මිල සකස් වන සූත‍්‍රයක් සකස්කර තිබෙනවා. අලූත් සූත‍්‍රයක් සකස් කරන තෙක් තිබෙන සූත‍්‍රය මගින් හෝ මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදිය යුතුයි. එක්සත් ජාතික පක්‍ෂය පසුගිය කාලයේ විපක්‍ෂයේ සිටියදී මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදිය යුතු බවට කිව්වා. නමුත් දැන් ආණ්ඩුවේ සිටින ඔවුන් ඒ පිළිබඳ කිසිදු ශබ්දයක් නැහැ. අපි අවධාරණය කරන්නේ ජනතාවට තෙල් මිල අඩුවීමේ සහනය ලබාදිය යුතු බවයි. එය ජනතාවට ලබා නොදී ඔවුන් මත අසාධාරණ බදු පනවා තිබීම හෙළා දකිනවා. 
ඉන්ධන මිල අඩුකිරීමෙන් ජනතාවට විශාල සහනයක් ලැබෙනවා. රටේ සමස්ත නිෂ්පාදන පිරිවැය අඩුවෙනවා. බස් ගාස්තු හා ප‍්‍රවාහන ගාස්තු අඩු වෙනවා. එයින් විශාල ප‍්‍රතිලාභයක් ජනතාවට අත් වෙනවා. ඒ නිසා ඉන්ධන මිල සූත‍්‍රය කි‍්‍රයාත්මක කර ජනතාවට එම සහනය ලබාදිය යුතුයි. ආණ්ඩුව ඒ කළ යුතු දේ නොකර ඇමතිවරු මාරු කරමින් දාම් අදිමින් ඉන්නවා. 
 
පසුගිය අයවැයෙන් ආණ්ඩුව වාහනවලට විශාල බදු පැනෙව්වා. මේ නිසා මේ අයවැය නොදැන වාහන ඇනවුම් කළ අය විශාල අපහසුතාවයකට පත්වුණා. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙන් ලක්‍ෂමන් යාපා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා නොවැම්බර් 26ට පෙර ඇනවුම් කළ වාහනවලට බදු සහනය ලබාදෙන බව කිව්වා. එහෙත් ඊයේ දිනයේ ඒ සහනය ලබාගැනීම සඳහා වාහන ආනයනය කළ රජයේ නිලධාරීන් මුදල් අමාත්‍යාංශයට ගියත් එම සහනය ඔවුන්ට ලබානොදෙන බව ප‍්‍රකාශ කර තිබෙනවා. මුදල් ඇමතිවරයා එවැනි සහන නොදෙන ලෙස අමාත්‍යංශ නිලධාරීන්ට නියෝග කරලා. අපි ආණ්ඩුවට බල කරන්නේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී කියපු දේ අනුව නොවැම්බර් 20වැනිදාට පෙර ඇනවුම් කළ වාහනවලට පෙර පැවති සහන ලබාදිය යුතු බවයි. 
 
පහුගිය අයවැය ගත්තොත් ජනතාවගෙන් වැඩියෙන්ම බැනුම් අහපු අයවැය. අගමැතිවරයා විටින් විට අයවැයට සංශෝධන ප‍්‍රකාශයට පත් කළත් ඒවා අයවැයට ඇතුල් වෙලා නැහැ. එනිසා නිලධාරීන් එම සංශෝධනවලින් ලැබිය යුතු සහන දෙන්නේ නැහැ. අවසන් වරට අයවැය සම්මත වීමට පෙර ඒවා එම සංශෝධන අයවැයට ඇතුල් විය යුතුව තිබුණා. එහෙත් ආණ්ඩුව එසේ නොකර ඒවා ජනවාරියේ ඇතුල් කරන බවට ඒ අවස්ථාවේ බොරු ප‍්‍රකාශ කරනවා. දැන් දැනගන්නට ඇති විදිහට නව ආදායම් සෙවීමේ කැබිනට් පත‍්‍රිකා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙමින් තිබෙනවා. 
අපේ රටේ ලක්ෂ 20ක පමණ ජනතාවක් විදේශ රැුකියාවල නිරත වෙනවා. වැඩිපුරම ඉන්නෙ මැද පෙරදිග රටවල. අපේ රටේ කාන්තාවො ගෘහසේවෙට යන්නෙ ජීවත් වෙන්න ආර්ථික හැකියාවක් නැති නිසා.  ආණ්ඩුව මැදපෙරදිගට පමණක් නිකුත් කරන ගමන් බලපත‍්‍රයේ ගාස්තුව වැඩි කළා. දැන් ඒක සියලූ රටවලට නිකුත් කරන ගමන්බලපත‍්‍රයේ ගාස්තුවට සමානයි. ආණ්ඩුව ඒ වැඩි කිරීම මගින් අමතර ආදායමක් උපයන්න ගියා. හැබැයි ආණ්ඩුව කරගෙන තියෙන්නෙ විශාල පාඩුවක්. නමුත් මැදපෙරදිග සඳහා වන ගමන් බලපත‍්‍ර 875,000ක් ගබඩාවල තිබෙනවා. මේ එක පොතක මුද්‍රණ වියදම රු. 65ක්. දැන් ඒවා අවශ්‍ය වෙන්නෙ නැහැ. ඒවා පුච්චන්න වේවි. එම නිසා මැදපෙරදිග සඳහා පමණක් වූ ගමන් බලපත‍්‍ර ඉදිරියේදී නිකුත් වෙන්නේ නැහැ. එය අහෝසි කිරීමෙන් ආණ්ඩුවට සිදුවන පාඩුව රු. 5,68,75,000ක්. මෙහෙ ජීවත් වෙන්න බැරිව මැදපෙරදිග යන දුප්පත් කාන්තාවන් මත අමතර බරක් පටවා ආණ්ඩුව ලාභ හොයන්න ගියා. ඒත් නිර්මාණය කරගෙන තිබෙන්නේ අමතර පාඩුවක්. මේ ආණ්ඩුව අයවැය මගිනුත් අයවැයෙන් පසුවත් දිගින් දිගටම අවුල් ඇතිකරගනිමින් තිබෙන බවක් මේ අනුව පේනවා. 
 
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක පළාත් සභා මන්තී‍්‍ර නාමල් කරුණාරත්න මහතා,
 
ගොවි ජනතාව පහුගිය 07වැනිදා සිට 17 වැනිදා දක්වා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නායකත්වයෙන් ගෙනගිය ගොවි සටනට දක්වන ලද සහයෝගයට සියලූ දෙනාට ස්තුතිවන්ත වෙනවා. එහෙත් මේ රටේ අතිවිශාල ගොවි ජනතාවගේ මෙම සටනට ආණ්ඩුව විසින් දන්වන ලද ප‍්‍රතිචාරය අතිශය කණගාටුදායකයි. ගොවි ජනතාව අලූතින් යමක් ඉල්ලූවේ නැහැ. ඔවුන් ඉල්ලූවේ එතෙක් දිනාගෙන ඔවුන් බුක්ති විඳිමින් හිටපු අයිතිවාසිිකමයි. ලිච්ඡුවී ප‍්‍රතිපත්තිය ගෙනයනවා යැයි කියන අගමැතිවරයා ගොවිජනතාව අරලියගහ මන්දිරයට යනකොට මගඇරියා. ගොවියෝ මෙම සටනට උදළු, නගුල්, දෑකැති, වියගස්, ගෙනාවා. ගෙනාවේ නැත්තේ අම්බරුවෝ විතරයි. ඇත්තටම පහුගිය කාලේ ඇමතිවරු කටයුතු කළේ අම්බරුවෝ ගානට. ගොයම් කොළේ යන අම්බරුවන්ගේ නායකයා මුදුනා. ඇමතිවරු ඒ මුදුනාගේ නායකත්ව ලක්‍ෂණයවත් පෙන්නුවේ නැහැ. අයවැයෙන් ට‍්‍රැක්ටර්වලට බදු පනවලා. ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම තවත් වැඩි කරලා. මේ රටේ වී ගොවිතැන තුරන් කරන්නයි ආණ්ඩුව කටයුතු කරන්නේ.
 
මේ තත්වය තුළ රට පුරා ගොවිබිම් ආණ්ඩුවේ මේ විනාශකාරී ප‍්‍රතිපත්තියට එරෙහිව සංවිධානය කරන්න අපි තීරණය කළා. මේ වනවිට සියලූ ගොවිබිම්වල සමුළු කැඳවීමට අපි කටයුතුකර තිබෙනවා. ඒ අනුව ලබන වසෙරේ මාර්තු මාසය වනවිට ජාතික සමුළුවක් කැඳවීමට අපි සූදානම්. එළඹෙන 30වැනිදා ඇඹිලිපිටියේදී පළමු ගොවි සමුළුව සංවිධානය කර තිබෙනවා. මේ රටේ ගොවි ජනතාවට පිටුපා ඉදිරියට යන්නට ආණ්ඩුවලට බැහැ. ආණ්ඩුව හදන්නෙත් ආණ්ඩු ගෙදර යවන්නෙත් ගොවි ජනතාව. ගොවියාට සුහද කොකා පෙන්වන්න හැදුවොත් ගොවි ජනතාවගේ ඡුන්දයෙන් බලයට ආ නායකයින්ට රජ ගෙවල්වලින් එළියට බහින්න වේවි. 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top