1150 x 80 px
මල්විල පුරාණ රජ මහා විහාරය නිධන් හොරුන්ගේ වාසභූමියක් වෙලා!

එකල රජ දවසට උරුමකම් කිවූ ප්‍රෞරාණික මෙන්ම ඵෛතිහාසික වැදගත්කමකින් සමන්විත මල්විල පුරාණ රජ මහා විහාරය මේ වන විට නිධන් සොරුන්ගේ සහ ඉඩම් මංකොල්ලකරුවන්ගේ පාරාදීසයක් බවට පත්වෙමින් තිබේ.

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයට අයත් සාලියපුර, මල්විල පුරාණ රජ මහා විහාරය පුරාවිද්‍යාත්මක සංරක්ෂිත මධ්‍යස්ථානයක් ලෙස නම් කර තිබුණද, මේ වන විට එහි කිසිදු නඩත්තුවක් හෝ ප්‍රතිසංස්කරණයක් සිදුකර නොමැත. අක්කර 50ට ආසන්න භූමි භාගයකින් සමන්විත මෙම විහාර භූමිය තුළ අඩි 50ක් පමණ උසකින් යුක්ත වූ ගරා වැටුන චෛත්‍යක්, කොරවක් ගල්, පාදම් කණු, සදකඩ පහන්, සහ තවත් දෑ ඇත.  මෙම විහාරය සාලිය අ‍ශෝක මාලා විසින් එකල ඉදිකර ලද්දක් බව පැවසේ. ඒ අනුව එම දෙපළ පැන් ස්නානය කිරීම සදහා සාදන ලද පොකුණෙහි අවශේෂ වූ නටඹුන් අදටත් දැක ගත හැකිය.

 මෙම පුදබිම වටා දුර්ලභ ගණයේ ඖෂධ ශාක දක්නට ලැබෙන අතර, කොතළහිඹුටු ප්‍රධාන තැනක් ගන්නා අතර විශාල ලෙස වැඩුණු පලු, කළුවර, වීර, බුරුත, කළුමැදිරිය වෘක්ෂ ඇත. මෙම පුදබිමට අයත් රක්ෂිත ඉඩම් තුලට නීති විරෝධිව ඇතුළත් වන සංවිධානාත්මක පිරිස් ගස් කපා විනාශ කරමින් එහි පදිංචියට පැමිණ තිබේ. එසෙම රක්ෂිතයේ පිහිටි දැවැන්ත ශාක කාර්යක්ෂම ජංගම කියත් ආධාර කරගනිමින් කපා අලෙවි කරයි. මෙම පුදබිමේ ආරක්ෂාව පිණිස සිවිල් ආරක්ෂක බලකාය මුරසංචාරය සදහා අනුයුක්ත කර තිබුණද මේ වන විට එකී රාජකාරිය ද ඇණ හිට ඇතැයි පැවසේ.

මීට අමතරව පුරා විද්‍යා දෙපාර්ත්තුමේන්තුව විසින් ඉදිකර ඇති ගොඩනැගිලි කිහිපයක් මේ වන විට වල් බිහිව තිබේ.

මේ සම්බන්ධයෙන් අප කල විමසුකදී වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් සංජීවනී හේරත් මහත්මිය පවසා සිටියේ ‘ඔය කියන ස්ථානය පුරාවිද්‍යා වටිනාකමකින් සමන්විත ස්ථානයක් ඒ නිසා අපි කිසිම පුද්ගලයෙකුට අනවසරෙන් පදිංචි වෙන්න කිසිදු ආකාරයකින් අවසරයක් දෙන්නෙ නැහැ. ඉතිං මට කලින් තොරතුරු අනාවරණය වුණා මේ පුදබිමේ අනවසරෙන් කිහිප දෙනෙකු පදිංචි වෙලා ඉන්නවා කියලා අපි එයාලට එම ස්ථානයෙන් වහාම ඉවත් වෙන්න කියලා ලිඛිතව දැණුම් දීම් කරලා තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි අපි මේ වෙද්දි ඒ පුද්ගලයින්ට විරුද්ධව නෛතික ක්‍රියා මාර්ග ගැනීමට අපි කටයුතු කරනවා. ඔය කියන රක්ෂිත පුරාවිද්‍යාවටද අපිටද අයිති කියන එක තහවුරු කර ගැනීමේ ගැටළුවක් පැන නැගී තියෙනවා ඒ නිසා අපි වහාම ඒ පිළිබද දැණුම් දීම් කරලා තියෙනවා.

මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදී ටී.පී. ගුණතිලක මහතා පවසා සිටියේ මෙවැන්නකි.

‘පුතේ මේ විහාරයට ලොකු ඉතිහාසයක් තියෙනවා. මේක රජ කාලෙ ඉදලා පැවත ගෙන එන එකක් අද වෙද්දි මේ පන්සල නිධන් හොරු විනාශ කරගෙන යනවා මේවා නඩත්තු කරන්න කිසිම කෙනෙක් නැහැ. මෙවැනි ස්ථාන පුරාවිද්‍යාව මගින් සංරක්ෂණය කරලා ජනතාවට නැරඹීමට ඉඩකඩ සලසා දෙන්න කියලා. දැන් ඉඩම් හොරු මේක ටික ටික අත්පත් කරගෙන යනවා' යනුවෙනි.
කේ. ප්‍රියංකර

uvs180109 006

uvs180109 012

uvs180109 018

uvs180109 020

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top