1150 x 80 px
ඉන්ධන මිල වැඩි වීම නිසා පළමු මරණය හලාවතින්

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා සිදුවූ පළමු මරණය ඊයේ (15 ) හලාවතින් වාර්තා විය.

මෙලෙස මිය ගොස් ඇත්තේ නිශාන්ත ප්‍රනාන්දු (53) නමැති හලාවත, වටවන පදිංචි මාළු ව්‍යාපාරිකයෙකි.

හලාවත මුන්නේශ්වරම ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදිය වෑන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පසු හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මොහු මියගොස් ඇත.

හලාවත මුන්නේශ්වරම ප්‍රදේශයේදී වෑන් රථයකට හරකෙකු පැනීම හේතුවෙන් මේ අනතුර සිදුව ඇති අතර මෙහිදී වෑන් රථය මාර්ගයේ ගමන් කළ මාළු පටවා ගත් ලොරියකද ගැටී ඇත. මේ අනතුරින් තුවාල ලැබූ තවත් හතර දෙනෙකු හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.

halawatha 2

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් පසුගිය (13) වන දින සිට හලාවත ධීවරයන් මුහුදු යාම වර්ජනය කර ඇති අතර ඒ අනුව හලාවත මාළු වෙළඳපොළේ වෙළඳාමද පසුගිය 14 වනදා සිට තහනම් කෙරුණි. ඒ අනුව 15 වනදා හලාවත ඇතුළු ප්‍රදේශ කීපයක කීප දෙනෙකු මුන්නේශ්වරම් ප්‍රදේශය මාළු විකිණීම සඳහා තෝරා ගත් එම ප්‍රදේශයට යමින් සිටියදී මේ අනතුර සිදුව තිබේ.

හලාවත රෝහලේ ප්‍රතිකාර ලබන දන්කොටුවේ මාළු ව්‍යාපාරිකයෙකු කියා සිටියේ හලාවත මාළු වෙළඳපොළේ මාළු අලෙවි කිරීමට නොහැකි නිසා මුන්නේශ්වරම ප්‍රදේශයට යමින් සිටියදී මේ අනතුර සිදු වූ බවයි.

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා සිදුවූ මේ මරණයට රජය වගකිව යුතු බව හලාවත ධීවර දිස්ත්‍රික්කයේ සභාපති රෝෂන් ප්‍රනාන්දු මහතා පැවසිය. එසේම ඊයේ දිනයේද වයඹ, බටහිර වෙරළ තීරයේ ගම්මාන රැසක ජනතාව මුහුදු යාම වර්ජනය කර තිබිණි.

halawatha 1

ප්‍රසාද් ජයමාන්න - මාරවිල

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top