1150 x 80 px
ආණ්ඩුව පොරොන්දු වූ රැකියා කෝ? - මධ්‍යම පළාත් උපාධිධාරීන් අසයි

උපාධිධාරීන් සදහා රජයේ රැකියා ලබා දෙන ලෙස ඉල්ලමින් මධ්‍යම පළාතේ උපාධිධාරීන් අද (16) මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ඉදිරිපිට සිට උද්ඝෝෂණයක නිරත විය.

නව ආණ්ඩුව බලයට පත්වීමේදී රැකියා ලක්ෂ දහයක් ලබා දෙන ලෙස පොරොන්දු වූ නමුත් ලක්ෂ දහයක් තබා පවතින පුරප්පාඩු හෝ පිරවීමට ආණ්ඩුවට නොහැකි වී ඇතැයි විරෝධතාකරුවෝ පවසති.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ මධ්‍යම පළාත් කැඳවුම්කරු දිනුදු වීරසේකර මහතා අදහස් දක්වමින් කියා සිටියේ රැකියා ලබා දෙන බවට රජය දුන් පොරොන්දුව කඩ කර ඇති බවත් මේ පිළිබඳව විමසන සෑම අවස්ථාවකම රජය ප්‍රකාශ කරන්නේ රජයේ පුරප්පාඩු මේ වන විට ගණනය කරමින් සිටින බවයි. මෑතකදී කළ විමසීමේදී ද මාස 06කට පමණ පෙර කළ විමසීමේදී ද මේ අයුරින් පුරප්පාඩු ගණනය කරනවා යැයි පවසනු මිස රැකියා ලබාදීමට නිසි වැඩපිළිවෙළක් යොදා නොමැති බව ඒ මහතා පැවසීය.

සෙසු පළාත් සභාවල රැකියා ලබා දීම සාමාන්‍ය පරිදි සිදුවුවත් පුරප්පාඩු 1500ක් පමණ ඇති මධ්‍යම පළාතේ පුරප්පාඩු පිරවීමට පළාත් බලධාරීන්ට නොහැකි වී ඇතැයි ද මධ්‍යම පළාත් කැඳවුම්කරු දිනුදු වීරසේකර මහතා ප්‍රකාශ කළේය.

මධ්‍යම පළාත් රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු නාලක දිසානායක මහතා විරෝධතාවට එක්වෙමින් කියා සිටියේ වසර ගණනාවක් තිස්සේ රැකියාවක් නොලැබීම නිසා උපාධිධාරීන් අපේක්ෂාභංගත්වයට පත්ව සිටින බවයි. සංවර්ධන නිලධාරින් බඳවා ගැනීම සඳහා කරන ක්‍රියාවලියේදී අවුරුදු 35ක සීමාවක් පනවා ඇති බැවින් අවුරුදු 35 ඉක්මවූ උපාධිධාරින්ට අසාධාරණයක් වී ඇති බවත් එම පුරප්පාඩු පිරවීමේදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම මඟින් දේශපාලන බලපෑම් මත පත්කිරීම් සිදුවන බවත් විරෝධතාවට එක්වෙමින් නාලක දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සහ මධ්‍යම පළාත් රැකියා විරහිත උපාධිධාරී සංගමයේ මෙහෙයවීමෙන් පැවැති මෙම විරෝධතාව පැයක පමණ කාලයක් පැවැත්විණි.

upadidareen 1

upadidareen 2

නදීක දයා බණ්ඩාර - මහනුවර

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top