1150 x 80 px
බරපතළ මූල්‍ය වංචා විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දුන් සාක්ෂිකරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක්

බරපතළ මූල්‍ය වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දුන් සාක්ෂිකරුවන්ගෙන් පළිගැනීමේ ක්‍රියාවලියක් ඒ ඒ ආයතන තුළින්ම දියත් වී ඇති බව ලංකා නිව්ස් වෙබ් වෙත වාර්තා වේ.

 

ජාතික ගමනාගමන කොමිශන් සභාව

ජාතික ගමනාගමන කොමිශන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා විසින් අධිවේගී මාර්ග බස් රථ සඳහා මාර්ග බලපත් ලබාදීමේ දී කළ වංචා පිළිබඳව මෙන්ම ඔහු විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා නීතිවිරෝධී අයුරින් මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් ද බරපතළ මූල්‍ය වංචා විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් ජාතික ගමනාගමන කොමිශන් සභාවේ සේවකයින්ගෙන් පළිගැනීමේ වැඩපිළිවෙලක් ජාතික ගමනාගමන කොමිශන් සභාව තුළින් ම ක්‍රියාත්මක වී ඇත. ප්‍රහාරය කොතරම් බලවත් ද යත් එහි අධ්‍යක්ෂ ජනරාල් නාරංගොඩ සේවයෙන් ඉවත්ව ගොස් තිබේ.

උසස් තාක්ෂණ ආයතනය

උසස් තාක්ෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්ගේ දූෂණ වලට එරෙහිව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් එම ආයතනයේ සේවකයින් ද දඩයමට ලක්ව තිබේ. පසුගිය රජය යටතේ කරන ලද දූෂණ පිළිබඳව හෙළිදරව් කළ පුද්ගලයින්ව වත්මන් රජය යටතේ දඩයමට ලක්වීම ඉතා කණගාටුදායක තත්වයකි.

පොල් කර්මාන්ත මණ්ඩලය

මහවැලියට අයත් වැලිකන්ද ප්‍රදේශයේ අක්කර 75ක ඉඩමක් හිටපු ඇමති ජගත් පුෂ්පකුමාර විසින් පුද්ගලිකව වගා කරවා ඇති අතර එහි සම්පූර්ණයෙන් ම පාහේ සේවය කර ඇත්තේ පොල් කර්මාන්ත මණ්ඩලයේ සේවකයින්ය. රාජ්‍ය සේවකයින් රජයෙන් වැටුප් ලබද්දී පුද්ගලික සේවයෙහි යෙදවීම පිළිබඳව සාක්ෂි දුන් සේවකයින්ට අද සේවය හැර යන තැනට කටයුතු යෙදී ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවය

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි හිටපු ආරක්ෂක ප්‍රධානියා හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝටාබය රාජපක්ෂගේ හිතවතෙකි. ඔහුගේ දූෂණ පිළිබඳව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් සේවකයින්ට ද අද රැකියා අහිමිවන තත්වයක් උද්ගතව තිබේ.

එසේම බරපතළ මූල්‍ය වංචා පිළිබඳ විමර්ශන ජනාධිපති කොමිසමේ කාලය දැන් අවසන්ව තිබේ. ඊට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දැන් කුරුඳුවත්ත පොලිසියට අනුයුක්ත කර ඇත. එහෙත් ඔවුන්ට එහි රාජකාරි කිසිවක් නොමැතිව නිකරුණේ රැඳී සිටීමට සිදුව ඇත. පොලිස්පතිවරයා පවසන්නේ මැතිවරණය හේතුවෙන් එම නිලධාරීන් ඔවුන් පෙර සිටි ස්ථානවලට අනුයුක්ත කළ නොහැකි බවය. එහෙත් කෙනෙක් කලින් සේවය කළ තැනට ම ආපසු යැවීමට මැතිවරණය හරස් කරගත යුතු නැත. මෙහෙදී පොලිස්පතිවරයා ද කොමිසමේ නිලධාරීන්ගෙන් පළිගන්නා ආකාරයක් පෙනී යයි.

පසුගිය රජය යටතේ සිදු වූ බරපතළ මූල්‍ය වංචා විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කොමිසම පත් කළ ද වත්මන් රජය තුළ ද පසුගිය රජයේ ප්‍රබලයින් හා ඔවුන්ගේ හිතවතුන් සිටීම මෙසේ කොමිසම හමුවේ සාක්ෂි දුන් පුද්ගලයින්ට පළිගැනීම් වලට මුහුණදීමට සිදු වීමේ හේතුව වී තිබේ. කොමිසම විසින් මීට පෙර පැමිණිලි 17 පිළිබඳ වාර්තා ජනාධිපතිවරයාට ලබා දුන්නද ඒ සම්බන්ධ තීරණාත්මක යමක් සිදු වූ ආකාරයක් දක්නට නොලැබුණි. මෙවර ද විමර්ශන 17ක් සම්බන්ධ වාර්තා ජනාධිපතිවරයාට භාර දීමට නියමිතව ඇති අතර ඒවා ද බොහෝ දුරට හමස් පෙට්ටියට යාමට නියමිතව ඇති බව පෙනේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top