1150 x 80 px
ටෙලිකොම් ප්‍රධාන විධායක ඉල්ලා අස්වෙයි!

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායක දිලීප විජේසුන්දර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඊයේ (12) සවස ඉල්ලා අස්වී ඇති බව එම සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

 

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ මෙම වසරේ ලාභය විශාල ලෙස පහල වැටීම සම්බන්ධයෙන් සභාපති කුමාරසිරි සිරිසේන මහතා සමග බහින්බස් වීමක් නිසා ප්‍රධාන විධායකවරයා මෙම තීරණයට එළඹී තිබේ.

මේ පිළිබඳව මාධ්‍ය ඔහුගෙන් කළ විමසීමකදී විජේසුන්දර මහතා පවසා ඇත්තේ ‘තම නව කළමණාකාර විධික්‍රම සහ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට සභාපතිවරයාගේ සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය නොලද බැවින් මෙම වසරේ ලාභය විශාල ලෙස පහත වැටීමේ වගකීම තමා භාරගන්නා බවත් යල්පැන ගිය 21 වැනි සියවසට නොගැලපෙන ව්‍යාපාරික ක්‍රමවේදයන් මතම සභාපතිවරයා හා අධ්‍යක්ෂක මණ්ඩලය පූර්ණ විශ්වාසය තබා ඇති තත්වයක් තුළ තවදුරටත් තමන්ට ප්‍රධාන විධායක ධූරයේ ක්‍රියාකිරීමට අපහසු බැවින් තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

කැනඩාවේ ද්විත්ව පුරවැසියෙකු වන දිලීප විජේසුන්දර මහතා මීට පෙර මංගල සමරවීර මහතා වරාය හා ගුවන් අමාත්‍යවරයා ලෙස ක්‍රියාකළ අවධියේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙසද ක්‍රියාකලේය. යහපාලන ආණ්ඩුවේ ප්‍රථම ටෙලිකොම් ඇමතිවරයා ලෙස මංගල සමරවීර මහතා ක්‍රියාකළ අවධියේ දිලීප විජේසුන්දර මහතාව ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක ධූරයට පත්කරනු ලැබීය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top