1150 x 80 px
උදයංග ඩුබායි රජයට දැන දැනම බොරු කියලා!

උදයංග වීරතුංග විසින් අවලංගු කළ ගුවන් ගමන් බලපත්‍රයක් පෙන්වා සිය බිරිඳ සමග ඇමරිකාවට යාමට උත්සාහ කිරීමේ සිද්ධියේදී ආගමන විගමන නිලධාරීන් ඔහුව දිගින් දිගටම ප්‍රශ්න කර තිබේ. එසේ ප්‍රශ්න කරන විට ඔහු කියා තිබෙන්නේ හිටපු රුසියානු සහ යුක්රේන තානාපතිවරයා වන තමන්ගේ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය අවලංගු වී ඇති බවක් තමන් දන්නේ නැති බවයි!

 එය අවලංගු කර ඇති බව බලධාරීන් ඔහුට අවධාරණයෙන් පවසද්දී ඔහු කියා ඇත්තේ, ‘‘එහෙම එකක් මම දන්නෙත් නෑ. මට කියලත් නෑ“ යනුවෙනි. ‘‘මම බබෙක් නෙවෙයිනේ... නැත්නම් මම මේකෙන් යනවද? මට කිසිම දැනුම් දීමක් ඒ ගැන කරල නැහැ..“ යනුවෙනි. එයින් ද නොනැවතී, හැකි නම් එය අවලංගු කර ඇති බව තමන්ට දැනුම් දුන්නේ යැයි ඔප්පු කර පෙන්වන්න යැයි ද ඩුබායි බලධාරීන් වෙත උදයංග අභියෝගයක් ද කර තිබේ.

අප මේ සැරසෙන්නේ ඒ අභියෝගය ට උත්තර දෙන්නට ය. අවස්ථා දෙකකදී උදයංග විසින්ම තමන්ගේ රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් එක අවලංගු කර ඇති බව ලංකාවේ අධිකරණය ට දැනුම් දී තිබේ.

උදයංගට මෑතකාලීන අතීතය යන්තමින් හෝ මතක නම් ඔහුගේ මිග් යානා ගනුදෙනුව පිළිබඳ සිද්ධියට අදාළ නඩුවේ ඔහුගේ නීතීඥවරයා වශයෙන් කටයුතු කළේ ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා ය. අනිල් ද සිල්වා ජනාධිපති නීතීඥවරයා උදයංග වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණයේ කියා සිටියේ තමන්ගේ සේවාදායකයාගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කිරීම ඔහුගේ මානුෂීය අයිතිවාසිකම් කඩ කිරීමක් වන බව ය. එවිට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් එම තර්කය ප්‍රතික්ෂේප කරමින් එම රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කරන ලෙසට ආගමන විගමන පාලක වෙත නියෝග කළාය. ඒ අනුව උදයංගගේ මේ කියන පාස්පෝට් එක කැන්සල් කරන්නට උසාවි නියෝගය ලබාදුන්නේ ඔහුගේම නීතීඥයා ඉදිරිපිට විවෘත අධිකරණයේදී ය. ඒ නිසා ඒ ගැන ‘මං දැනගෙන හිටියෙ නෑ‘ යැයි බබා පාට් එකෙන් කියන්නට උදයංගට කොහෙත්ම පුළුවන්කමක් නැත.

ඉන් අනතුරුව, රවී කරුණානායක හිටපු විදේශ අමාත්‍යවරයාගේ සමයේ ද FCID නිලධාරීන් වෙත ඔහු දැනුම් දී තිබුණේ තමන්ගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය අහෝසි කිරීම නිසා තමන්ගේ ව්‍යාපාරික කටයුතුවලට පිටරට යාමට තමන්ට බාධා සිදු වී ඇති බවයි. ඒ නිසා විකල්පයක් අවශ්‍ය බව ද ඔහු අධිකරණයට දැනුම් දී තිබිණි. මේ කාරණය, FCID නිලධාරීන් හරහා ඔහුගේ නඩු ගොනුවට ද ඇතුළත් කර ඇත.

ඒ අනුව මේ අවස්ථා දෙක පමණක් සලකා බැලුවද ඉතා පැහැදිලිව පෙනී යන්නේ උදයංග වීරතුංග, තමන්ගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය අවලංගු කිරීම පිළිබඳ මනාව දැනුවත් ව සිටි බවයි. ඒ අනුව ‘‘මම දන්නෙත් නෑ, මට කියලත් නෑ‘ යන්න හුදෙක්ම පට්ටපල් බොරුවක් පමණි. හිටපු රුසියානු සහ යුක්රේන තානාපති උදයංග වීරතුංග ඉතා වංචනික ලෙස සහ අසද්භාවයෙන් (mala fide) බොරු කියා ඇති බව මෙහිදී සක් සුදක් සේ පැහැදිලි ය.

මේ අනුව එවේලේ එතැනින් ගැළවී ඇමරිකාවට පැන ගැනීමට බොරු කීම තුළින් උදයංග කර තිබෙන්නේ ඉල්ලාගෙන කෑමකි. එයට හේතුව, අවලංගු කළ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ලබාදෙමින් බලධාරීන් නොමග යැවීමට කටයුතු කිරීම ට මෙන්ම අසද්භාවී සහ වංචනික අදහසින් යුතුව බොරු ප්‍රකාශ ලබාදීම සම්බන්ධයෙන් ද දැන් ඩුබායි බලධාරීන්ට උදයංග ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි නිසා ය. ලංකාවේ නීතියේ ඇසට වැලි ගැසිය හැකි යැයි උදයංග සිතා සිටිනවා වන්නට පුළුවන. නමුත් ඩුබායිහිදී ඒ සෙල්ලම් බොරු වනු ඇත.

තවද ඩුබායි හි ඇප මත මුදා හැර සිටින උදයංග සිය ෆේස්බුක් පිටුව ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා තමන් නිර්දෝෂී බවට ප්‍රචාරණ ව්‍යාපාරයක් ද ගෙන යමින් සිටියි. ඔහු කිසිදු නඩුවක සැකකාරයෙක් නොවන බව ඒවායින් අවධාරණය කෙරේ. මේ සම්බන්ධයෙන් ලංකා නිව්ස් වෙබ් වෙතට අදහස් ප්‍රකාශ කළ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්‍ඨයෙක් හෙළි කර සිටියේ ඔහු දැනටමත් අධිකරණය ඉදිරියේ සැකකරුවෙක් වශයෙන් නම් කර ඇති බවයි. මේ නිසා ඔහු විසින් ගෙන යනු ලබන බොරු ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් එම ජ්‍යේෂ්ඨ නිලධාරියා කියා සිටියේය. උදයංග වීරතුංග ලංකාවට උදර්පණය කරවා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරමින් සිටියි.

මේ අනුව උදයංගගේ ‘ඩුබායි වික්‍රමය‘ එතරම් ලෙහෙසියෙන් යටපත් නොවන බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top