1150 x 80 px
30% ක් ගත්ත රනිල්ට අස් වෙන්න කියනවා නම් 15% ක් ගත්ත ජනාධිපති ඊට පෙර අස්විය යුතුයි. -එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායම එක හඬින් කියති.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩු කළ නොහැකි බව කියමින් මැති ඇමතිවරුන් ගණනාවක්ම පසුගිය දින කිහිපයේ ජනාධිපතිවරයා තනි තනිව මුණ ගැසී රහස් සාකච්ඡා පවත්වා ඇති අතර අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි ද ඇතැමුන් එහිදී යෝජනා කර තිබේ.

රනිල් ව පාවාදුන් ජුදාස්ලා කවුද?

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊයේ (13) එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම හදිසි හමුවක් පැවැත්වීය. එම රැස්විම මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම එක හඬින් කියා ඇත්තේ පළාත් පාලන මැතිවරණයෙන් 30% ක් ලබාගත් රනිල් අස්විය යුතු යැයි කියනවා නම් ඊට පෙර, 15% ක් ගත් ජනාධිපතිවරයා ද ඉල්ලා අස්විය යුතු බව ය.

තවද ජනාධිපතිවරයාගේ පූර්ව මැතිවරණ හැසිරීම ද එ.ජා.ප. පා. කණ්ඩායම විසින් දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කර තිබේ. “අපි මේව ඉවසගෙන හිටියා මිස ජාතික ආණ්ඩුවේ සමගිය වෙනුවෙන් අපි ඒවාට පිළිතුරු දෙන්න ගියෙ නෑ. නමුත් තවදුරටත් මේ තත්වය ඉවසිය යුතු නැහැ.” යැයි එහිදී ඔවුන් පවසා තිබේ. එහිදී වැඩිදුරටත් අවධාරණය කෙරුණු කාරණයක් වූයේ පළාත් පාලන මැතිවරණයට පෙර අවසාන සුමාන දෙකේදී ජනාධිපතිවරයාගේ හැසිරීම ඔහුගේ තනතුරට සහ ගරුත්වයට තරම් නොවන බවයි.

එහිදී රවුෆ් හකීම්, රිෂාද් බදියුදීන්, පලනි දිගම්බරන් සහ විජයකලා යන අමාත්‍යවරුන් සහ අමාත්‍යවරියන් පෙන්වා දුන් තවත් කාරණයක් වූයේ අවසාන සතියේ ජනාධිපතිවරයා විසින් ඉතා නින්දිත ආකාරයට ජාතිවාදය අවුස්සමින් කටයුතු කළ බවයි. ඒ අනුව තමන්ට තම පාක්ෂිකයන් සමග කතා කළ නොහැකි වාතාවරණයක් ඇති වූ බව ද ඔවුහු පෙන්වා දුන්හ.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා එහිදී අවධාරණයෙන් කියා සිටියේ පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රතිශතය අනුව අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි ජනාධිපතිවරයා විසින් යෝජනා කරන්නේ නම් ඒ සමගම ජනාධිපතිවරයා ද ඉල්ලා අස්විය යුතු බවයි. එම අදහසට සෙසු සියලු මන්ත්‍රීවරුන්ගේ ඒකමතික සහයෝගය ලැබිණි.

අවසානයේ ඔවුන්ගේ තීරණය වී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමග එක්ව එක්සත් ජාතික පක්ෂ බහුතර ආණ්ඩුවක් පිහිටවිය යුතු බව ය. ඒ අනුව පොහොට්ටු ලෝලී මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ ස්වාධීනව අසුන් ගන්නට සිදු වේ. මෙම ස්ථාවරය අනුව කටයුතු කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 106 දෙනාම ජනාධිපතිවරයා හමු වී එම තීරණය දැනුම් දීමට සූදානම් වූ විට මලික් සමරවික්‍රම ඇමතිවරයා ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් එවේලේම ගත්තේය. උද්ගතව ඇති තත්වය පිළිබඳවත්, මන්ත්‍රීවරුන් පිරිස ජනාධිපතිවරයා හමුවීමට ඒ අවස්ථාවේදීම පැමිණීමට සූදානම් බවත් ඔහු විසින් දන්වා තිබේ.

මෙවිට ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ “106 දෙනාම එන්න අවශ්‍ය නෑ. මට එච්චර පිරිසකට වාඩි වෙන්න දෙන්න පහසුකම් නැහැ. කැබිනට් ඇමතිවරුන්ට විතරක් එන්න කියන්න” යනුවෙනි.

අද සන්ධ්‍යාවට ප්‍රථම තනි ආණ්ඩුවක් හදා පෙන්වන්න

මේ අනුව ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂ කැබිනට් ඇමතිවරුන් අතර ඊයේ (13) රාත්‍රියේ එම සාකච්ඡාව තිබේ. එහිදී ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමට අභියෝගයක් භාර දී ඇත. එම අභියෝගය වන්නේ අද (14) සවස වන විට තනි ආණ්ඩුවක් පිහිටුවා පෙන්වන ලෙස ය. හෙට  (15) පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයක් වන අතර එක්සත් ජාතික පක්ෂය මෙම අභියෝගයට මුහුණ දුන්නේ කෙසේද යන්න හෙට දැකගත හැකි වනු ඇත.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top