1150 x 80 px
ලසන්ත ඝාතනයට ෆොන්සේකා ඈඳීම රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයක්
අද පැවති කැබිනට් සංශෝධනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර එහෙත් එය තාවකාලිකව සිදුවූවක් බව වාර්තා වේ. ඉදිරි සතිය තුළදී අප වාර්තා කළ පරිදිම සරත් ෆොන්සේකා මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇත.
ෆොන්සේකා මහතා නීතිය හා සාමය අමාත්‍යධූරයට පත්වීමට එරෙහිව රාජපක්ෂ පාර්ශ්වය මෙන්ම ආරක්ෂක අංශවල හිටපු නිළධාරීන් සහ වත්මන් නිළධාරීන් පිරිසක් විසින් ආරම්භ කර ඇති මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඔවුන් උත්සාහ කරන්නේ කෙසේ හෝ අදාල තනතුර ෆොන්සේකා මහතාට හිමිවීම වැලැක්වීමයි. යම් හෙයකින් ඔහු නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස පත්වුවහොත් පැවති පාලන සමයේදී සිදු වූ දූෂණ, වංචා, පැහර ගැනීම්, ඝාතන සම්බන්ධයෙන් මේ වනවිට ඇණහිට ඇති පරීක්ෂණ කටයුතු නැවතත් ආරම්භ වන බව මහින්ද පාර්ශ්වය මෙන්ම එදා රාජපක්ෂලාගේ අනීතික කටයුතුවලට සහයෝගය දැක්වූ ආරක්ෂක අංශ සාමාජිකයන් හොඳින්ම දනී.
 
ත්‍රිවිධ හමුදාවේ මෙන්ම පොලීසියේ ඉහළ නිළධාරීන් පිරිසක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර නීතිය හා සාමය අමාත්‍යංශය ෆොන්සේකා මහතාට ලබාදීමට දැඩි විරෝධය පළකර තිබේ.
 
විශේෂයෙන් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ආරක්ෂක අංශ සාමජිකයන් දැඩි සේ කලබලයට පත්ව ඇති අතර ඔවුන් පවසන්නේ කුමන එකඟතාවයකින් හෝ මෙම පත්වීම නවතා දැමිය යුතු බවයි.
 
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුවන විට මේජර් ජනරාල් අමල් කරුණාසේකර බස්නාහිර මෙහෙයුම් භාර ආඥාපතිවරයා ලෙස කටයුතු කළ අතර ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ඔහුට ද චෝදනා එල්ල වී තිබේ. ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා ද වගකිවයුතු බවට විවිධ පාර්ශ්වයන් ප්‍රකාශ කරන අතර ඔවුන්ගේ තර්කය වන්නේ 'අමල් කරුණාසේකර බස්නාහිර ආඥාපතිවරයා ලෙස පත්කළේ ෆොන්සේකා මහතාය. ලසන්තගේ රුධිරය ඔහුගේ අත්වල ගෑවි තිබේය' යන්නයි.
 
කෙසේ වෙතත් අමල් කරුණාසේකර බස්නාහිර ආඥාපති ලෙස පත්කළ පමණින් ඔහුගේ සියලු ක්‍රියාවන්ට ෆොන්සේකා මහතාට වගකිව නොහැකි. ෆොන්සේකා මහතා එවකට යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළද බස්නාහිර ආඥාපතිවරයා කටයුතු කළේ එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු නියෝග හා විධාන මතයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා එවක ඉතා බලම්පන්න පුද්ගලයෙකු වූ බව රහසක් නොවේ. ඔහු ආරක්ෂක අංශ සාමාජිකයන් තමාට අවශ්‍ය පරිදි මෙහෙයවීම සිදුකළ අතර ඉහළ නිළධාරීන්ගේ දැනුවත්භාවය ඔහු මායිම් නොකළේය.
 
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත මේජර් ජනරාල් කරුණාසේකර එරිත්‍රියාවේ තානාපතිවරයා ලෙස පත්කර යවන අතර එරිත්‍රියාව යනු එල්.ටී.ටී.ඊ. සංවිධානය සමීප සබඳතා පැවැත්වූ රාජ්‍යයකි. එල්.ටී.ටී.ඊ. සංවිධානය සැහැල්ලු ගුවන් යානා මිලදී ගත්තේ ද එරිත්‍රියාවෙනි.
 
ලසන්ත ඝාතනයට අමල් කරුණාසේකරගේ ඇති සබඳතාවය හෙළිවීමෙන් පසු 2012 වසරේදී ඔහු නැවත මෙරටට ගෙන්වන අතර ඒ මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොව ඔවුන්ව බේරාගැනීමේ මෙහෙයුමෙහි කොටසක් වශයෙනි. මෙරටට පැමිණෙන අමල් කරුණාසේකර මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු එවක පොලිස්පති මහින්ද බාලසූරිය මහතාට හෙළිකර තිබේ.
 
ලසන්ත ඝාතනයේ පරීක්ෂණ කටයුතු භාරව සිටියේ, එවක රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති සී.එන්. වාකිෂ්ට මහතායි. ඝාතකයන් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබියදී පවා ඔවුන් ආරක්ෂා කිරීමේ පිළිවෙතත් එවක රජය මෙන්ම පොලීසිය ද අනුගමනය කළේය. ඝාතනය සම්බන්ධයෙන් අධිකරණය ක්‍රියාමාර්ග ආරම්භ වුවද පොලීසිය සාක්ෂි ඉදිරිපත් නොකිරීමට හිතාමතාම කටයුතු නොකිරීම හේතුවෙන් සැකකරුවන් නිදහස් කිරීමට අධිකරණය කටයුතු කළේය. ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි පවා තිබියදී හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට හෝ සැකකරුවන් ඉදිරිපත් නොකළ අතර මෙම ඝාතන පරීක්ෂණ සම්බන්ධයෙන් එවක රජයේ මෙන්ම පොලීසියේද පැවති උනන්දුව එතුළින්ම පැහැදිලි වේ.
 
සැමදාමත් බලයේ සිටීම පිළිබඳ සිහින දුටු රාජපක්ෂලා ලසන්ත ඝාතනය පිළිබඳ පරීක්ෂණ කටයුතු අවසන් වූවා යැයි එදා සැනසුම් සුසුම් හෙළන්නට ඇත.
 
කෙසේ වෙතත් 2016 වසරේදී ලසන්ත ඝාතනයේ ඇසින් දුටු සාක්ෂිකරුවන් විසින් මේ වනවිට අත්අඩංගුවේ පසුවන, යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශ සාමාජික සාජන් මේජර් උදලාගම හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී හඳුනා ගත් අතර මේ වනවිට ඝාතනයට සම්බන්ධ සහ ඝාතනයට අණදුන් ආරක්ෂක අංශ සාමාජිකයන් පමණක් නොව පරීක්ෂණ යටගැසීම සඳහා කටයුතු කළ පුද්ගලයන් ද අනාවරණය වී තිබේ.
 
ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තාවලින් කලබලයට පත්ව ඇත්තේ මෙවැනි පුද්ගලයන්ය.
 
2015 වසරේදී පොලීසිය, අධිකරණය භාර අමාත්‍යවරුන් තමන් බලයට පත්කළ මහජනතාව ගැන සිතා කටයුතු කළේ නම් අද දැඩිසේ කලබලයට පත්ව සිටින බොහෝ දෙනා මේ වනවිට සිටිය යුත්තේ බන්ධනාගාර තුළය. මෙතෙක් කල් ඔවුන් පාලකයන් සමග ඩීල් දමාගෙන සමාජයේ යහතින් වැජඹුනද සරත් ෆොන්සේකා වැන්නෙකු සමග එවැනි ඩීල්වලට ඉඩක් නොමැති බව දූෂිතයන්, වංචනිකයන්, ඝාතකයන් හොඳින්ම දනී. කෙසේ හෝ ෆොන්සේකා මහතාගේ පත්වීම වැලැක්වීමට දත කන්නේ ඒ නිසාය.
 
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට...
මේ පිළිබඳ තවත් තොරතුරු ඉදිරියේදී...

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top